01

E   |   த   |  

2024-08-15

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ජනතාව අපහසුතාවට පත්‍ නොවන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමට වහාම ක්‍රියාමාර්ග ගන්න - විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දෙයි

  • නව “ආගමන” පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය…
  • මිනිස් අවහරණය (Human Smuggling) සදහා ප්‍රථම වරට මෙම නව පනත් කෙටුම්පත මගින්  නව නීති...
  • නව ඉලෙක්ට්‍රොනික විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝබර් අගදී...

 

ජනතාව අපහසුතාවට පත්‍ නොවන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට පසුගියදා දැනුම් දෙන ලදී.

නව “ආගමන”  පනත් කෙටුම්පත සලකා බැලීම සදහා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කැඳවා  තිබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ 2023 වසරේ ගමන් බලපත්‍ර දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබුන ද විදේශගතව තිබුනේ ඉන් 23%ක් පමණක් බවත් ඉතිරි 77%  විදෙස් ගමන් බලපත්‍ර භාවිතා කර නොමැති බවත්ය.  එසේම ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) ඉදිරි ඔක්තෝබර් මස අගවන විට හදුන්වාදීමට නියමිත බැවින් ඇතැම් රටවලින් නව ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය ඉල්ලාසිටීමට ඉඩකඩ ඇති බවත් ඒ අනුව අත්‍යවශ්‍ය නොවන පිරිසට ගමන් බලපත්‍ර ලබාගැනීමෙන් වළකින ලෙස  ඉල්ලීමක් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳව හැකිතාක් ජනතාව දැනුවත් කිරීම සිදුකළ යුතු බවයි. එහෙත් මුදල් ගෙවා ගමන් බලපත්‍ර ලබා ගැනීම ජනතාවගේ අයිතියක් බැවින් ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි ඉල්ලුම් කරන  ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එසේ නොවුනහොත් දෙපාර්තමේන්තුව මෙන්ම රජය ද ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකි බව ද කාරක සභා සභාපති ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පෙන්වා දුන්නේය.

එසේම ඉන්දියාවේ සහ නේපාලයේ සංචාරය කරන බැතිමතුන්ට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැවති අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පැවසූහ.

නව “ආගමන”  පනත් කෙටුම්පත සලකා බලමින් කාරක සභාව විසින් ඒ පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 2024 ජූනි 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2017 වසරේදී කෙටුම්පත් කිරීම ආරම්භවූ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය. ආගාමික හා විගාමික හා 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර (විධිමත් කිරීමේ) පිටවීමේ අවසර පත්‍ර පනත්, වත්මන් සමාජ හා තාක්ෂණික තත්ත්වයට ගැළපෙන ලෙස සංශෝධනය කරමින් මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත. එසේම මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වී ඊට අදාළ තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇති බැවින් ඊට  අදාළ සංශෝධන සිදු කිරීම සදහා කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත මෙරට ආගමන විගමන නීතිවල පැවති අඩුලුහුඩුකම් නිවැරදි කිරීම සදහා ප්‍රතිපාදන සපයා ඇති බව ද මෙහිදී අනාවරණය විය. විශේෂයෙන් මෙරට මෙතෙක් නීති නොපැවති  මිනිස් අවහරණය (Human Smuggling)  සදහා ප්‍රථම වරට මෙම නව පනත් කෙටුම්පත මගින්  අවශ්‍ය නෛතික විධිවිධාන සලසා ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.   එසේම දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය සමග ‍ඉදිරියට යාම සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන මෙන්ම මෙරට අනවසරයෙන් රැදී සිටින පුද්ගලයන් සදහා අදාළ වන ප්‍රතිපාදන ඇතුළු නව නීති මෙම නව පනත් කෙටුම්පත මගින් පනවා ඇත. බොහෝ පිරිසකගේ අදහස් යෝජනා සලකා බැලීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සකස් කරන ලද බව ඉළුක්පිටිය මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. බොහෝ කාලයක් පමාවූ මෙම පනත් කෙටුම්පත කාලීන වශයෙන් ඉතාම වැදගත් පනතක් බව ද කාරක සභාවේදී සාකච්ඡා විය.

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. ඊට අදාළ යෝජනා කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ද කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය. පනත් කෙටුම්පතට අනුමතිය ලබා දෙමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේ මෙම පනත වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට කටයුතු කළ යුතු බවයි. ඒ සදහා පවතින බාධා ඉවත් කරගැනීමට අදාළ යෝජනා සති 2ක් තුළ කාරක සභාවට ලබා දෙන ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කාරක සභාව විසින් දැනුම්දෙන ලදී.

එසේම ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ලබන ඔක්තෝබර් අගවන විට ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ලක්ෂ 50 ක් ලැබීමට නියමිත බවත් මෙහිදී ආගමන විගමන පාලක ජනරාල්වරයා සදහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්ත‍මේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම රැස්වීමට එක්ව සිටියහ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජෝන් සෙනෙවිරත්න, ගරු උදයන කිරිදිගොඩ, ගරු ගුණතිලක රාජපක්ෂ, ගරු ජයන්ත වීරසිංහ, ගරු ඉෂාක් රහුමාන්, ගරු සුදත් මන්ජුල, ගරු කුමාරසිරි රත්නායක සහ ගරු මධුර විතානගේ යන කාරක සභාවේ සාමාජික මෙන්ම සාමාජික නොවන මන්ත්‍රීවරුන් පිරිසක්ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

 

1



සම්බන්ධිත පුවත්

2026-11-06

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි.තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමංගා මහත්මිය විසින් සකස් කරන ලද තරුණ ව්‍යවසායකත්වය සහ කර්මාන්ත සංවර්ධනය පිළිබඳ යෝජනාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය විසින් සකස් කරන ලද පළාත් පාලන ආයතන තුළ තරුණයන් සවිබලගැන්වීම පිළිබඳ යෝජනාව සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිකා සාමිවේල් මෙනෙවිය විසින් සකස් කරන ලද වතු හා වගා ක්ෂේත්‍රයේ තරුණයන් සඳහා වන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් විය.එමෙන්ම, බාහිර තරුණ සහභාගීත්ව වැඩසටහන සහ නියමු වැඩමුළු මාලාව සම්බන්ධයෙන් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් විසින් සකස් කරන ලද යෝජනා පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙම යෝජනා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඒවා අවසන් වශයෙන් සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.මේ අවස්ථාවට සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-05

භාර (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

පාර්ලිමේන්තුවේ දී අද දින (නොවැ. 05) දෙවැනිවර කියවීමට නියමිත භාර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.උක්ත කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර කාරක සභාව විසින් අනුමතිය ලබා දෙන ලදී.(87 වන අධිකාරය වන) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 2026 ඔක්තෝබර් 21 වැනි දින පළමුවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.මෙම පනත් කෙටුම්පත මඟින් සිදු කිරීමට අපේක්ෂිත සංශෝධන පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාවට කරුණු පැහැදිලි කළහ. මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-04

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනා ගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නියෝජනය කරන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ගණනාවක සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ  සංසදයේ සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වූහ. දිනකට කාන්තාවන් 17 දෙනෙකු පියයුරු පිළිකා‍වෙන් පෙළෙන බවට හඳුනා ගනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වේ. එසේම වසරකට මරණ 1,000 කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර, එය දිනකට ජීවිත තුනක් පමණ අහිමි වීමට සමානය. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වේ. බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගෙන ඇත.සෑම කාන්තාවක්ම තම පියයුරුවල සාමාන්‍ය ස්වභාවය පිළිබඳව හුරුපුරුදු වීමත්, නිතිපතා ස්වයං පරීක්ෂාව සිදු කිරීමත් කළ යුතුවේ. අසාමාන්‍ය වෙනසක් හඳුනාගතහොත් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. කල්තියා හඳුනා ගැනීමෙන් සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව වැඩි වන අතර රජයේ සෞඛ්‍ය ආයතන මඟින් නොමිලේ පරීක්ෂණ සහ අනෙකුත් අතවශ්‍ය සෞඛ්‍ය සේවා සපයනු ලැබේ. එසේම, සෑම කාන්තාවක්ම සුවනාරී සායනයට (Well Woman Clinic) සහභාගී වී, ගැබ්ගෙල පිළිකාව වැළැක්වීම සඳහා පූර්වමය පිළිකාමය වෙනස්කම් කල්තියා හඳුනා ගැනීමට උපකාරී වන නිර්දේශිත පැප් පරීක්ෂාව වයස අවුරුදු 35 දී සහ 45 දී සිදු කර ගැනීමත් කළ යුතු වේ.


2026-11-03

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී

සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයීය කාරක සභා රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වූහ.අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2026 අප්‍රේල් මාසය වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ජාතික කමිටුවක් පත් කරණු ලැබූ බවත් ඒ යටතේ ඇති ප්‍රධාන අනු කමිටු 5 ක් යටතේ මීට අදාළ උපදේශනය සහ දිශානතිය සපයන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු  අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 2026 වසරේදී 1 ශ්‍රේණිය සඳහාත්, 2027 වසරේදී 6 ශ්‍රේණිය සහ 2 ශ්‍රේණිය සඳහාත් නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල හා ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කිරීම සහ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් නැංවීමේ සැලැස්ම ද ක්‍රියාත්මක වෙමින් පවතී.මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පදනම, ජාතික විෂයමාලා රාමුව, ඇගයීම් ක්‍රමවේද සහ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව දීර්ඝ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.2019 වසරේදී මෙම ක්‍රියාවලිය ආරම්භ වූ බවත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2023 වසරේ අනුමත කරගන්නා ලද නව ප්‍රතිපත්තියට අනුව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ජාතික විෂයමාලා රාමුව පිළියෙල කළ බවත් මෙය ආයතන ගණනාවක සාමූහික ප්‍රයත්නයක් බවත් ඒ මහතා සඳහන් කළේය. ලෝකයේ දියුණුම රටක ක්‍රියාත්මක වන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අනුව අප රටට හඳුන්වා දෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.පොදු අධ්‍යාපනයේ මූලික අරමුණ හුදෙක් වෙළඳපොළට අවශ්‍ය අනාගත ශ්‍රමිකයන් නිෂ්පාදනය කිරීම පමණක් නොවන බවත්, ආචාර ධර්ම, ගුණධර්ම සහ වටිනාකම්වලින් පිරි සාකල්‍යවාදී (holistic) පරිපූර්ණ පුරවැසියන් සහ ජාතිය ගොඩනඟන අනාගත පරපුරක් බිහි කිරීම බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.දැනට පවතින විෂය අන්තර්ගතය (content-based) මත පදනම් වූ ක්‍රමය වෙනුවට ඉගෙනුම් ඵල පාදක (outcome-based) සහ ශිෂ්‍ය කේන්ද්‍රීය (student-centered) අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ. කටපාඩම් කර විභාග ලිවීමේ පීඩනය සහ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන බර අඩු කරමින්, සම්භාර (credit) පාදක මොඩියුල ක්‍රමයක් සහ වසර පුරා සිදුවන අඛණ්ඩ ඇගයීම් (Continuous Assessments) මඟින් සිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීමට නව ඇගයීම් රාමුවක් සකස් කර ඇති බවත් ඒ මහතා පැවසීය. 6 ශ්‍රේණියේ සිටම වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදීමටත්, 12 සහ 13 ශ්‍රේණිවල දී NVQ Level 4 දක්වා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට හෝ උසස් අධ්‍යාපනය වෙත යොමු වීමටත් හැකි වන පරිදි නම්‍යශීලී විකල්ප අධ්‍යාපන මාර්ග (Vocational Pathways) සකසා තිබේ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා "RIES" වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර, අදියර කිහිපයක් යටතේ දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ දරුවන් හුදෙක් අනාගත ශ්‍රමිකයන් බවට පත්කිරීම පමණක් නොව, ඔවුන් පරිපූර්ණ මිනිසුන් සහ වගකීම්සහගත ජාතිය ගොඩනඟන්නන් ලෙස නිර්මාණය කිරීම බව මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී පැනනඟින ගැටලු පිළිබඳව පුද්ගලික මනෝභාවයන් හෝ අදහස් මත පමණක් පදනම් නොවී, විද්‍යාත්මක පර්යේෂණාත්මක සාක්ෂි (evidence) නිරීක්ෂණය කර තීරණ ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නාය. සාකච්ඡාවට එක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු විමසමින් සිය අදහස් යෝජනා ඉදිරිපත් කළහ.‍මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි. ගරු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks