2024-02-07
පුවත් කාණ්ඩ : පුවත්
අතීතයේ සිට මේ දක්වාම ලෝකය විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා. රටවල් අර්බුදයන්ට මුහුණ දුන්නා. පුද්ගලික ජීවිත අර්බුදයන්ට මුහුණ දුන්නා.
සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වුණා. තවත් සමහර අවස්ථාවන්වලදී අර්බුදයෙන් ගොඩ එන්න බැරි වුණා. අර්බුදයකින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ අර්බුදයකට සාප කර කර සිටීමෙන් නොවෙයි. අර්බුදයට හේතු කියමින් ඒවා විවේචනය කිරීමෙන් නොවෙයි.
ලෝකයේත්, රටවලත්, පුද්ගලික ජීවිතවලත් අර්බුද විසඳා ගත්තේ අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමෙන්.
අර්බුද කළමනාකරණයේ මූලික පියවර විය යුත්තේ කුමක්ද?
බුදුන් වහන්සේගේ දේශනාවක් මම මෙතැනදී උපුටා දක්වන්නට කැමතියි.
“අත්තදීපා - විහරථ”
තමා තමාටම පහනක් කොට ජීවත් වෙන්න.
අර්බුද ජය ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි. අනුන් විවේචනය කර කර සිටීමෙන් අර්බුද ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසි තැනක නෑ.
අප අපටම පහනක් වුණේ නැත්නම්, අපේ සිතිවිලි, අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නෑ. රටට යහපතකුත් නෑ. අර්බුදයට විසඳුමකුත් නෑ.
ක්‍රම වෙනසක් නැතිනම්, සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටෙක ක්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වෙන්නේ නෑ.
ඒ බවත් අවධාරණය කරමින් මම අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කරුණු ගණනාවක් මේ සභාව ඉදිරියේ ගෙනහැර දක්වන්නට කැමතියි.
2022 පෙබරවාරියේ මේ රට වැටී තිබුණ තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයකට මේ රට ගෙන එන්න අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දී ගිය අවුරුද්දේ පෙබරවාරියට වඩා යහපත් මට්ටමකට අපේ රට ගොඩ නැංවී තිබෙනවා.
ගිය වසරේ පෙබරවාරියේ සහ මේ දක්වා අපේ ආර්ථික දර්ශක කිහිපයක් මම පෙන්වා දෙන්නම්.
ගිය වසරේ උද්ධමනය සියයට 50.6යි. අද එය සියයට 6ග4 දක්වා පහළ වැටිලා.
ආහාර උද්ධමනය සියයට 54.4ක්. අද එය සියයට 3.3යි
එදා ඩොලරයක අගය රුපියල් 362ක්. අද රුපියල් 314යි.
2022 අවසාන වෙද්දී අයවැය ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.7ක්. නමුත් 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගන්නට අප සමත් වුණා. නිදහසින් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණු 6 වැනි අවස්ථාව මෙයයි.
2022 අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9ක්. 2023 වසරේ අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගැනීමට අපට පුළුවන් වුණා. 1977න් පසු ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගත් මුල්ම අවස්ථාව මෙයයි.
2023 දී සියයට 28ක් වූ පොලී අනුපාතය දැන් සියයට 12යි.
2022 අවසාන වෙද්දී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් රුපියල් බිලියන 745ක පාඩුවක් ලැබුවා. 2023 සැප්තැම්බරය වෙද්දී මේ රාජ්‍ය ව්‍යවසාය 52 රුපියල් බිලියන 313ක ලාභයක් ලබා තිබෙනවා. හැබැයි මේ ආයතනවල ණය බර උසුලන්නට බැරි තරම් අගයක පවතින බවත් සඳහන් කළ යුතුයි.
තෝරාගත් ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදා. ඒ වෙද්දි අපේ ද්‍රවශීල විදේශ විනිමය සංචිත බින්දුවටම වගේ වැටිලා තිබුණා. දැන් ඒ තත්ත්වය වෙනස්.
2023 දෙසැම්බර් වෙද්දී අපේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්.
ගෙවුණු කෙටි කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් අප කැපී පෙනෙන ප්‍රගතියක් ලැබුවා. 2022 අපේ රටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 194,495ක්. 2023 වසරේ ඒ සංඛ්‍යාව 1,487,303ක් දක්වා ඉහළ නංවා ගන්න අපට පුළුවන් වුණා. මේ වසරේ ජනවාරියේදී 200,000කට අධික සංචාරකයන් පිරිසක් පැමිණියා.
ඒ වගේම 2023 වසර තුළ සාධනීය පියවර රැසක් අප ගත්තා. QR කේතය ඔස්සේ සිදු කළ ඉන්ධන සීමාව ඉවත් කළා. දැන් විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා. ගෑස් හිඟයක් නැහැ. කෘෂි කර්මාන්තය වෙනුවෙන් හිඟයකින් තොරව පොහොර ලබා ගන්න පුළුවන්. ධීවර ජනතාවට ඉන්ධන හිඟයක් නෑ. රථ වාහන හැරෙන්න අනෙකුත් සියලු භාණ්ඩ සඳහා ආනයන සීමාවන් දැන් ඉවත් කරලා. අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් රටට ගෙන්වා ගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත සඳහා ද අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම් ජාලයට දැන් කිසිදු අවහිරයක් නෑ.
දළ දේශීය නිෂ්පාදිතය 2022 දී සියයට 7.8කින් හැකිළුණා. 2022 සිට එක දිගට කාර්තු 6ක් සෘණ වර්ධනයක් තිබුණේ. නමුත් 2023 තුන්වන කාර්තුවේදී සියයට 1.6ක වර්ධනයක් අප අත්පත් කර ගත්තා.
අපේ ආර්ථිකය කඩා වැටුණේ උල්කාපාත වේගයකින්. නමුත් දැන් අපිට එය ආපිට හරවන්න පුළුවන් වෙලා තිබෙනවා. එය රොකට් වේගයෙන් යළි ඔසවන්නට අප සමත් වුණා. වී (V) ෂේප් රිකවරි නැත්නම් වී (V) හැඩයේ ප්‍රතිසාධනයක් අප ලබමින් ඉන්නේ.
එය අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කඩා වැටුණු රටවල ආර්ථික ප්‍රතිසාධනය ඉතා දුෂ්කර හා වේදනාකාරී එකක් වුණා. නමුත් වෙනත් රටවල් වගේ දීර්ඝ කාලීන දුෂ්කරතා සහ වේදනාවන්ගෙන් තොරව අපේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගැනීමට අපට පුළුවන් වුණා.
මම එක් උදාහරණයක් ගෙනහැර දක්වන්නම්.
ග්‍රීසිය තමන්ට ණය ගෙවාගන්න බැරි තරමේ ආර්ථික කඩා වැටීමක් සිදුව ඇති බව 2009දී ප්‍රකාශයට පත් කළා. ඉන්පසු මුළු රටම වේදනා විඳිමින් යළි තමන්ගේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගැනීමට වෙහෙසුණා. ඒ කාලය තුළ අනේක දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. යළිත් ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමට ඔවුනට අවුරුදු 10කට වැඩි කාලයක් ගත වුණා.
නමුත් අපේ රටට කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවීම ඇත්තෙන්ම ලෝක වාර්තාවක්. අපට ඒ ආකාරයේ වාර්තාගත පෙරළියක් කරන්න පුළුවන් වුණේ ඇයි?
2022 වසර පුරාම ආර්ථිකය කඩා වැටුණා. 2022ට වඩා 2023 වසරේ කිසියම් වාර්තාගත ආර්ථික ප්‍රගතියක් අපේ රටට ලබා ගන්න පුළුවන් වුණේ අහම්බයකින් නෙවෙයි. ඉතා පරිස්සමින් හා දුරදිග බලා සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම නිසයි.
ඒ වගේම අප සකස් කරන ප්‍රතිපත්ති, අනුගමනය කරන ක්‍රියාමාර්ග හා සැලසුම් සියල්ලම වරින් වර, අවස්ථානුකූලව මම මේ පාර්ලිමේන්තුව ඉදිරියේත්, ජනතාව ඉදිරියේත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒවා ගැන සාකච්ඡා කරන්න, විවාද කරන්න අවස්ථාවන් පාර්ලිමේන්තුව තුළදීත්, ඉන් පිටතදීත් ලබා දුන්නා. ඒ ප්‍රතිපත්ති කිසි විටෙකත් සඟවා තැබුවේ නෑ. හැම පියවරක්ම අප සිදු කළේ පාරදෘශ්‍යභාවයෙන් යුතුවයි.
මම කිසි විටෙක දේශපාලන වාසිය තකා තීරණ ගත්තේ නෑ. මම හැම තීරණයක්ම ගත්තේ රටේ වාසිය ගැන හිතලයි. අපට අවාසි වුණත් රටට හිතකර තීන්දු තීරණ ගැනීමට අප පසුබට වුණේ නෑ. අප පුද්ගලික අභිලාෂ පසෙක ලා රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා.
පාර්ලිමේන්තුවේ සමහර කණ්ඩායම් ඒ තීන්දු තීරණවලට විරුද්ධ වුණා. නමුත් බහුතරය තම තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි සහ ඉලක්ක නොතකා, රට වෙනුවෙන් ඒ තීන්දු තීරණ වෙනුවෙන් අත් ඉස්සුවා. මතු යම් දවසක ඒ අයට ජාතියේ කෘතවේදීත්වය හිමිවන බව මට විශ්වාසයි.
අප මේ ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. 2022 වසරේ ඉදිරිපත් කළ අතුරු අයවැය මඟින්, රටේ එවකට තිබුණු සැබෑ තත්ත්වය මම පෙන්වා දුන්නා. ආර්ථිකයේ කඩා වැටීම වළකාලීම ඒ අතුරු අයවැය ලේඛනයේ අරමුණ වුණා. 2023 වසරේ අයවැය ඔස්සේ ආර්ථිකය කිසියම් ස්ථාවර මාවතකට යොමු කරලීමේ යෝජනා කිහිපයක් මම ඉදිරිපත් කළා. 2024 අයවැය යෝජනා ඉදිරිපත් කළේ ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම උදෙසා අවශ්‍ය ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවරක් ලෙසයි.
අසීරුවෙන් වුණත්, සමහර අවස්ථාවල අකැමැත්තෙන් වුණත් අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමේ ගමන් මාර්ගයට දැන් අප අවතීර්ණ වෙලා ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ඉලක්කගත ගමන ගැන ප්‍රසාදය පළ කරනවා.
අඳුරු ආර්ථික බිම් ගෙයක සිරවී සිටි අපි දැන් බිම් ගෙය කෙළවර ආලෝකය දකිනවා. දැඩි සත්කාර ඒකකයේ පණ අදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදවාගෙන තිබෙනවා.
ගෙවුණු කාලයේ පැවති දැඩි ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගෙන් බොහෝ දෙනකුට නොසිතූ විරූ දුක්ගැහැටවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරුන්ට රැකියා නැති වුණා. තවත් සමහරුන්ට ආදායම් මාර්ග නැති වුණා. තවත් සමහරුන්ට ව්‍යාපාර අවස්ථා අහිමි වුණා. තවත් සමහරුන්ට අයිතිය අහිමි වුණා. මේ බොහොමයක් දුක් කරදර උරුම වුණේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි.
වර්තමානයේ අප උත්සාහ කරන්නේ මේ අහිමි වූ අවස්ථා ටිකෙන් ටික හෝ යළිත් ජනතාවට ලබා දීමටයි. ජනතාවට අහිමි වූ අයිතීන් යළි ලබා දීමේ වැඩපිළිවෙළ උරුමය නමින් පෙරේදා අප ආරම්භ කළා. උරුමය වැඩසටහන ඔස්සේ අප මූලික කරුණු දෙකක් ගැන අවධානය යොමු කරනවා. එකක් ඉඩම්. අනෙක නිවාස.
මෙතැනදී ඉඩම් අයිතිය මූලික ස්ථානයක් ගන්නවා. 1897 මුඩුබිම් පනත මඟින් ජනතාවගේ ඉඩම් අයිතිය බ්‍රිතාන්‍ය යටත්විජිත රජය ලබා ගත්තා. නිදහසින් පසුව බලයට ආ කිසිදු ආණ්ඩුවක් මේ පැහැර ගත් ඉඩම් අයිතිය යළිත් ජනතාවට ලබා දීමට කවරාකාරයේ හෝ පියවරක් ගත්තේ නෑ. අප ඒ ඉඩම් අයිතිය යළි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කළා. එමඟින් මිලියන දෙකකට අධික ජනතාවකට යළි ඉඩම් අයිතිය ලබා දෙනවා. ඉඩම් හිමියන් මිලියන දෙකක් අපේ සමාජයට එක් කරනවා. මෙය ඓතිහාසික මෙන්ම විප්ලවකාරී පියවරක්. ඒ වගේම සහලින් ස්වයංපෝෂණය ලබා දීම පිණිස දශක ගණනාවක් තිස්සේ ගොවි ජනතාව විඳි දුක් මහන්සිය වෙනුවෙන් කෙරෙන උපහාරයක්.
ඒ වගේම මේ රටේ ජනතාවගෙන් තුනෙන් එකකට පමණ හරිහමන් ආදායමක් නෑ. සුදුසු නිවසක් නෑ. මේ ජනතාවට ආදායම් මාර්ග සහ නිවාස උරුමය ලබා දීමට අප ඉදිරියේදී පියවර ගන්නවා. නාගරික අඩු ආදායම්ලාභී නිවාස 50000කට වැඩි ප්‍රමාණයක පූර්ණ අයිතිය ඒවායේ ජීවත් වන ජනතාවට ලබා දෙනවා.
සාර්ථක ආර්ථික සංවර්ධන මාවතකට පිවිසෙද්දී රටේ සියලු කොටස් වෙත විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම දිළිඳු හා අසරණ ජනතාව වෙත. බරපතළ ආර්ථික අර්බුද මැද්දේ වුණත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් අප පියවර ගත්තා.
මේ වසරේදී අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා. මෙමඟින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපට හැකි වෙනවා. මේ සා විශාල ප්‍රමාණයක මුදල් සහනාධාරයක් අපේ රටේ ඉතිහාසයේ කිසි කලෙක ලබා දී නෑ.
අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළැඹෙන උත්සව සමයේ ලබා දෙනවා.
2022 අගෝස්තු මස වෙද්දී ජනාධිපති අරමුදල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබුණා. වෛද්‍යාධාර ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත් 9000කට අධික ප්‍රමාණයක් ගෙවීමකින් තොරව ගොඩ ගැසී තිබුණා. අගෝස්තු සිට දෙසැම්බර් දක්වා තවත් අයදුම්පත් 4000ක් පමණ ලැබුණා. අප ඒ සියල්ල සඳහා ගෙවීම් කළා. 2023 වසර පුරා රෝගීන් 4917 දෙනකු සඳහා රුපියල් මිලියන 915ක් ලබා දුන්නා. ඒ වගේම දැන් ගෙවීම් අපේක්ෂාවෙන් මාස ගණන් ළතැවෙන්නට අවශ්‍ය නෑ. රාජකාරි දින තුනත්, පහත් දක්වා කාලය තුළ ගෙවීම් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මේ වසරේ සිට සියලු වෛද්‍යාධාර සියයට 50 සිට 100 දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නවා. මේ වෛද්‍යාධාරවලට අමතරව පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළක් ද ජනාධිපති අරමුදල හරහා ක්‍රියාවට නංවා තිබෙනවා.
අපි රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දුන්නා. විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කළා. 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවක් තිබෙනවා. ඒ ගැටලුවට නොබෝ කාලයකින් විසඳුම් ලබා දීමට අප පියවර ගන්නවා.
රජයේ ආදායම් තහවුරු වෙද්දී ඊට අනුකූලව වැඩි වැඩියෙන් සහන ලබා දීමට අප පියවර ගන්නවා.
අප ලබමින් සිටින වර්ධනය සමාජයේ කතා බහ කරන මාතෘකාවලින්ම පිළිබිඹු වෙනවා. කලෙකට කලින් කතා කළේ විදුලිබල කප්පාදුව නිසා විඳින්නට වෙන කරදර ගැන. එදා ඉල්ලා සිටියේ කීය වුණත් කමක් නෑ අඛණ්ඩව විදුලි බලය ලබා දෙන්න කියලා. අද කතා කරන්නේ විදුලි බිල ගැන. කලෙකට කලින් කතා කළේ කළු කඩයේ පෙට්රල් ලීටරයක් රුපියල් 3000ක් වීම ගැන. තෙල් පෝලිම්වල දවස් තුන හතර රස්තියාදු වීම ගැන. අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අලුතෙන් ආයෝජනය කරන තෙල් සමාගම් ගැන. එදා කතා කළේ එළවළුවක් ගන්න විදිහක් නැති එක ගැන. අද කතා කරන්නේ කැරට් අලයක මිල ගැන. එදා කතා කළේ පොතක් පතක් මුද්‍රණය කරගන්න කඩදාසි නැති එක ගැන. අද කතා කරන්නේ වැට් බද්ද ගැන.
ඔව්. වැට් බද්ද බොහෝ අයට බරක්. අප ඒ ගැන නොදන්නවා නෙවෙයි. ඒ ප්‍රශ්නය අපට නොදැනෙනවා නෙවෙයි. අප ඒ ගැටලුවටත් පියවරෙන් පියවර විසඳුම් ලබා දෙමින් ඉන්නෙ. 2022 වසරේ ලියාපදිංච් සංඛ්‍යාව 437,547යි. 2023 අවසන් වෙද්දී එම සංඛ්‍යාව 1,000,029ක් දක්වා ඉහළ නැංවුණා. සියයට 130ක වැඩි වීමක්. බදු ජාලය පුළුල් වෙන්න වෙන්න තනි පුද්ගලයකුට හෝ තනි ආයතනයකට දරන්න වෙන බදු බර අඩු වෙනවා.
ඒ වගේම අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යද්දී ආර්ථිකය තව තව ස්ථාවර වෙද්දී අප බදු බර අඩු කරනවා. ඒ සමඟම වැට් බදු ප්‍රතිශතය සංශෝධනය කරන්නත් අවකාශ සැලසෙනවා.
අපි මේ සියල්ලම කරන්නේ ණය කන්දක බර දරමින්. පසුගිය කාලය පුරාම අප දැඩි ලෙස වෙහෙසුණේ මේ ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රති සැලැස්මක් සකස් කර ගැනීම සඳහායි. පළමු පියවර ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම නිම කළා. දෙවන පියවර ලෙස ද්වීීපාර්ශවීය විදේශ ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹුණා. තුන්වැනි පියවර ලෙස පුද්ගලික ණය හිමියන් සමඟ දැනට සාකච්ඡා කරගෙන යනවා.
මේ වසරේ මුල් මාස හය තුළ මේ සංකීර්ණ ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අප අපේක්ෂා කරනවා. මෙය අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ මූලික පදනම බවට පත්වේවි. ඒ වගේම ණය පීඩනයෙන් මිදීමේ මාර්ගයේ සංධිස්ථානයක් බවට පත්වේවි.
මේ වසරේදී සියයට 2ක, සියයට 3ක ධන ආර්ථික වර්ධනයක් අපට අත්පත් කරගන්න පුළුවන් බව IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා. 2025 වසරේ එය සියයට 5 දක්වා ඉහළ නංවා ගැනීමට අප ක්‍රියා කරනවා.
2022 වසරේ ගින්දරකට වැටී තිබුණු රට ඉන් මුදවා ගැනීමේ මෙහෙයුම් අප ආරම්භ කළා. 2022ට වඩා 2023 යම් යම් කාරණාවලින් යහපත් කරගත්තා. 2024 ඊටත් වඩා යහපත් වන බවට පුරෝකථනය කර තිබෙනවා. මේ මාර්ගයේම ඉදිරියට ගියොත් 2025 ඊටත් වඩා යහපත් වෙනවා.
නමුත් ඒ පමණින් අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
අප තවමත් ද්වීීපාර්ශවීය හා බාහිර වාණිජ පදනමෙන් ලබාගත් කිසිදු ණයක් ගෙවන්නේ නෑ. නමුත් ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු අප ණය ගෙවීම් ආරම්භ කළ යුතුයි. ණය ගෙවන්න රුපියල් වගේම ඩොලර් අප සතු විය යුතුයි.
2023 සැප්තැම්බරය වෙද්දී අපේ මුළු ණය බර ඩොලර් බිලියන 91ක් පමණ වෙනවා. මේ ණය ගෙවා අවසන් කරන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. ණය ගෙවීමට මුදල් අප දේශීය වශයෙන් උපයා ගත යුතුයි. නැතිනම් වෙන්නේ නැවතත් අප ණය උගුලේ සිරවීම පමණයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා අපට වසරකට ගෙවිය යුතු ණය මුදල අඩු කර ගන්න හැකි වෙනවා. ඒ යටතේත් අප වසරකට ඩොලර් බිලියන 3ක පමණ ප්‍රමාණයක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් හැමදාමත් ණය ගෙව ගෙවා ඉන්නට බැහැ. දිගින් දිගටම ණය වෙන්නත් බැහැ.
ඒ වගේම අපේ ආදායම සහ වියදම අතර සමබරතාවක් ඇති කර ගැනීමට අප කඩිනම් පියවර ගත යුතුයි. අපේ අයවැය හිඟය බරපතළයි. මේ වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 4127ක්. වියදම රුපියල් බිලියන 6978ක්. මෙයින් රුපියල් බිලියන 2651ක් වියදම් වෙන්නේ පොලී ගෙවීම සඳහායි. අපේ ණය කන්දරාවේ බර එයින් පිළිබිඹු වෙනවා.
එක්දහස් නවසිය පනස් ගණන්වලින් පස්සෙ අපි කළේ ණය වෙන එක. හැමදේටම ණය ගන්න එක. පාලකයනුත් ණය ගන්න පුරුදු වුණා. ජනතාවත් මේ ණය ආර්ථිකයටම හැඩ ගැහුණා. හාල් නිකම් දෙනවා. විදුලි බිලට සහන දෙනවා. පඩි වැඩි කරනවා. රජයේ රැකියා ලක්ෂ ගණන් දෙනවා. ඔන්න ඔය වගේ මැතිවරණ පොරොන්දු දීලා බලයට පත් වුණාම ඒවා ඉෂ්ට කළේ ණය වෙලා.
මෙන්න මේ ණය මානසිකත්වයෙන් අප අත් මිදෙන්න ඕනෑ. ණය ආර්ථිකයෙන් ගැලවුණේ නැත්නම් මේ රටට අනාගතයක් නෑ. හෙට දවසක් නෑ.
එහෙනම් අප ණය ආර්ථිකයෙන් මිදී, අපටම කියා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනංවා ගැනීමට වෙහෙසිය යුතුයි.
අපනයන ආදායම් සහ විදේශ ආයෝජන කඩිනමින් ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්න මේ කරුණු සාක්ෂාත් කර ගැනීමටයි.
ඒ සඳහා අවශ්‍ය පදනම සකසමින්, ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් දැන් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. එහි අවසාන ප්‍රතිඵලය තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමයි. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමයි. හරිත ආර්ථිකයක් සකස් කර ගැනීමයි. මේ ක්‍රියාවලියේ මූලික ගුණාංග වෙන්නේ දූෂණය තුරන් කිරීම සහ සමාජ නවීකරණයයි.
දූෂණය මෙරටට පිළිලයක් වී ඇති බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඒත් දූෂණය තුරන් කළ හැක්කේ ක්‍රමවත් හා විධිමත් නීතිරීති මාලාවකින් පමණක් බව හුඟ දෙනෙක් අවබෝධ කරගෙන නැහැ. හොරු අල්ලනවා, හොරු අල්ලනවා කියා කෑ ගැසුවාට හොරු අල්ලන්න බෑ. හොරු අල්ලන්න නම් ඒ සඳහා පදනම් කර ගත හැකි ශක්තිමත් නීති රීති පද්ධතියක් වගේම, විද්‍යාත්මක ක්‍රමවේදයක් ද අවශ්‍ය වෙනවා. ඒවා ක්‍රියාත්මක කළ හැකි පුහුණු නිලධාරීන් ද අවශ්‍ය වෙනවා.
බොහෝ අය හිතාගෙන ඉන්නේ දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීමෙන් ප්‍රශ්නය අවසන් කියායි. එය මිථ්‍යාවක්. දූෂණයක් සිදුවීම වැළැක්වීම සඳහා ද තදබල නීති රීති සකස් කළ යුතුයි. ඒ වගේම දූෂිතයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. දූෂණ මැඬ පැවැත්වීමට මේ කරුණු දෙකම එකට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුයි.
ඒ සඳහා අප දූෂණ විරෝධී පනත සම්මත කරගත්තා. දැන් ඒ පනත ක්‍රියාත්මකයි. එවැනි පනත් ක්‍රියාවට නැංවීමේදී අප කිසිවිට දේශපාලන හෝ වෙනත් බලපෑම් කරන්නේ නෑ. ඒ බව දැන් මුළු රට ඉදිරියේ සනාථ වී තිබෙනවා.
ආර්ථික හා සමාජ නවීකරණයේදී අප අවධානය යොමු කරන ප්‍රධාන කරුණු කිහිපයක් ගැනත් මම මේ ගරු සභාවට අවධාරණය කරන්නට කැමතියි.
සංචාරක ව්‍යාපාරය අපට පහසුවෙන් දියුණු කරගත හැකි ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අවශ්‍ය මිනිස් සහ භෞතික සම්පත් දියුණු කරලීමටත්, රටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවාලීමටත් අප පියවර ගනිමින් ඉන්නවා. වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේ අපේක්ෂාවයි.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් අපේ රට පොහොසත්. ඒ අවස්ථාවෙන් අප උපරිම පල නෙළා ගත යුතුයි. ජාත්‍යන්තර තාක්ෂණය මෙරටට ලබාගෙන අපේ රටේ පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය කළොත් බලශක්ති අපනයනය කරන රටක් ලෙස විදේශ විනිමය ඉපැයීමට අපට පුළුවන්.
හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා නිෂ්පාදනයෙන් ඉහළ තලයකට පත් වෙන්න අපට අවස්ථාව තිබෙනවා. මේ අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට දැනටමත් මූලික සැලසුම් සකස් කර හමාරයි.
දේශගුණික විපර්යාස සඳහා දැනටමත් අප දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ පිළිබඳ පර්යේෂණ කාර්යයන් ඉටු කරලීම උදෙසා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටු වීමේ මූලික පියවර දැනටමත් ගෙන අවසන්.
අතීතයේ සිට මේ දක්වාම අපි කෘෂිකර්මාන්තයේ යෙදෙනවා. වගා කරනවා. නමුත් තවමත් අප අනුගමනය කරන්නේ යල් පැන ගිය ක්‍රමවේදයන්ග දශක ගණනාවක් තිස්සේ කෘෂි නවීකරණ කාර්යයන් කිසිවක් අප සිදු කර නැහැ.
වියළි කලාපයේ කෘෂි ඉඩම්වල ඵලදායීතාව ඉදිරි කන්න තුන හතර තුළ දෙගුණ තෙගුණ කරලීමේ සැලසුම අප ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ ප්‍රතිපත්ති තීරණ අප තීන්දු කර අවසන්. මේ මාසයේ සිට දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බැගින් තෝරා ගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කරනවා. මේ අයුරින් වියළි කලාපයේ කෘෂි භෝග ඵලදායීතාව වැඩි කර ගැනීමත් සමඟ තෙත් කලාපයේ ඉඩම් වෙනත් වාණිජ වගාවන්ට යොදා ගන්න අවස්ථාව ලැබෙනවා.
හැත්තෑ ගණන්වලදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවරා ගත් ඵලදායී ඉඩම් අක්කර ලක්ෂ ගණනාවක් මේ වෙද්දී නාස්තියට ගොස් තිබෙනවා. සමහර ඉඩම්වලින් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. සමහර ඉඩම් කිසිදු ව
2026-08-28
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ. මෙම වැඩසටහන සාර්ථක කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.
2026-08-21
• ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.
2026-08-20
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ. අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.