බලන්න

E   |     |  

2026-09-24

පුවත් කාණ්ඩ : පුවත් 

හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (සැප්. 24) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එම්. එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මෙලෙස පත් කර තිබේ.

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මඩකලපුව, ඔට්ටමාවඩි මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇත. එමෙන්ම, ඒ මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කල්කුඩා ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියි.



සම්බන්ධිත පුවත්

2026-09-23

බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

  අද විවාදට ගන්නා ලද අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලි‍මේන්තුවේදී සම්මතයිබලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව අද (සැප්. 23) විවාදයට  ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ   අනුමැතිය හිමි විය. විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබිණි. 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (22) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව ඊට අදාළ කාරක සභාවේ අනුමැතිය හිමි විය. මේ අතර අද විවාදයට ගන්නා ලද අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන රහිතව පාර්ලි‍මේන්තුවේදී සම්මත විය. 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ තව තනතුරු ඇති කිරීම හා පැවැති තනතුරු උත්ශ්‍රේණිගත කිරීමේදී " අධ්‍යක්ෂවරයා" යන තනතුරු නාමය "අධ්‍යක්ෂ ජනරාල්වරයා" ලෙස පදවි නාම ගත වුව ද, 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනතේ පවතින ප්‍රතිපාදන ඊට අදාළව සංශෝධනය වී නොතිබිණි. තවද, ඊට අනුශාංශිකව, සංශෝධනය විය යුතු අනෙකුත් පදවි නාම ද සංශෝධනය වී නොතිබූ අතර මෙම පනත් කෙටුම්පත මගින් එම සංශෝධන හඳුන්වා දී ඇත. එමෙන්ම, උක්ත පනතේ සඳහන් " නිවේදිත කෘෂිකාර්මික භෝග '' ලෙස නම් කර ඇති අපනයන කෘෂි භෝගවල අර්ථ විවරණයන් වර්තමානයේ පවතින නිෂ්පාදන හා වෙළඳ පොළ තත්ත්වයන් සලකා බැලීමේ දී ප්‍රායෝගික නොගැළපීම් පෙන්නුම් කරන බැවින් වර්තමානයේ හා අනාගත අපනයන කෘෂි කර්මාන්තයට උචිත වන පරිදි අදාළ අර්ථ ගැන්වීම, නිර්වචනය කර සංශෝධනය කර ගැනීමේ අවශ්‍යතාවය මතු වී තිබිණි.ඒ අනුව, පනතේ 19 වන වගන්තියේ " අපනයන කෘෂිකර්ම භෝගය " යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට ආහාර භෝග ඛාණ්ඩයට අයත් වන වී, එළවළු, පලතුරු, අල භෝග සහ අතිරේක ආහාර භෝග හැර දේශීය පරිභෝජනයට අමතරව අපනයනය කිරීමේ හැකියාවක් ඇති භෝගයක් වශයෙන් හඳුනාගත් සහ මේ පනතේ 2 වන වගන්තිය යටතේ “නිවේදිත කෘෂිකාර්මික භෝගයක්" ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද යම් භෝගයක් අදහස් වන බව පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත. එසේම වැවිලි භෝගයක් ලෙස හඳුනාගත් යම් භෝගයක් මෙයට ඇතුළත් නොවිය යුතු බවත් එහි වැඩිදුරටත් සදහන් වේ.


2026-09-23

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත්‍ කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ඊයේ (සැප්. 22) සටහන් කළේය.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 09 වැනිදා  පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් වේ.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇත.ඒ අනුව, උක්ත පනත්‍ කෙටුම්පත 2026 අංක  22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වේ. 


2026-09-22

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.09.22

“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 22) පාර්ලිමේන්තුවට  නිවේදනය කළේය.එම නිවේදනය පහත පරිදි වේ;ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.ඒ අනුව,•    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නමැති පනත් කෙටුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවේ.•  "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ සඳහන් ව්‍යතිරේකය තුළ අඩංගු "හැට හතට එලඹෙන දිනය" යන වාක්‍ය ඛණ්ඩය, "හැට හත සම්පූර්ණ කළ දිනය" යන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රතියෝජනය කළ යුතුය.•  "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ දෙවන ව්‍යතිරේකය ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතු ය:    "එසේම, පළමු ව්‍යතිරේකයේ දක්වා ඇති වසර හයක ධුර කාල සීමාව, මෙම පනත ක්‍රියාත්මක වන දිනයේදී අගවිනිසුරු ධුරය දරන කිසිදු තැනැත්තෙකුට අදාළ නොවිය යුතුය." ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ;•  "අධිකරණ සංවිධාන (සංශෝධන)" පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.


2026-09-21

සැප්තැම්බර් 22, 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්. 21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.මේ අනුව, සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී ඇත.සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පවසයි.ඒ අනුව සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග  විවාදයට ගැනීමටත්  අනතුරුව  ප.ව 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.එසේම සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) සහ බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමට තීරණය වී ඇත. විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට  නියමිතය. 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළව තීරණය කර තිබූ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පවසයි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks