පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-12-19
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දෙසැම්බර් මස 13 වැනිදා පෙරවරුවේ එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සංගම්වල නියෝජිතයන් ද කැඳවා තිබිණ.
අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම කටයුත්ත, ග්‍රාම නිලධාරීන් වෙත පැවරුණු අතර ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාව සහ දීමනාව සම්බන්ධ ගැටළු හේතුවෙන් ඒ සඳහා ග්‍රාම නිලධාරීන්ගේ දායකත්වය ද ලබා ගැනීමට නොහැකි වූ බවත්, එම ක්‍රියාවලිය ආධුනික නිලධාරීන් ලවා කරවා ගැනීමට සිදුවීම නිසා ප්‍රායෝගික ගැටළු රාශියක් පැන නැගුණු බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය. අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී ගම් මට්ටමින් සමාජ සුබසාධන කටයුතු ඉටු කිරීම වෙනුවෙන්ම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුද්දක් ඇති සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ම එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය.
ඒ සඳහා නීතිමය බාධාවක් නොවන බව අනාවරණය වූ නිසා ප්‍රතිලාභීන් සෙවීමේ කටයුත්ත අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්ෂේත්‍රවලට කරන බර තැබීම අඩු කොට දුප්පත්කම යන කරුණට වැඩි බර තැබීමක් සිදු කරමින් ආරම්භ කරන ලෙස උපදෙස් දුන් සභාපතිවරයා විදුලිය බිල යන පරාමිතිය මත දිළිඳුකම මැනීමේ වැදගත්කම තමන් මුල සිට අවධාරණය කළා සේම එම පරාමිතිය සැලකිල්ලට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එමගින් ප්‍රතික්ෂේප කළ නොහැකි, අභියෝග කළ නොහැකි ශක්තිමත් පරාමිතියක් අනුව ක්‍රියාවලිය සම්පූර්ණ කළ හැකි බව ද, පෙන්වා දුන්නේ ය.
දුප්පතුන්ගේ රෙජිස්ටරය සකස් කිරීමේ ජාතික කර්තව්‍යයට සම්බන්ධ වීමට සූදානම් ද යන්න ඔහු මෙහිදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් විමසා සිටියේ ය. එහිදී සමෘද්ධි නිලධාරීන් පෙන්වා දුන්නේ අස්වැසුම ක්‍රියාවලියේ දෙවෙනි අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සම්බන්ධ වන නමුත්, 2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ 21 සහ 22 වගන්ති ප්‍රකාරව රාජකාරි ඉටු කිරීමේදී අසත්‍ය තොරතුරක් මත ක්‍රියා කිරීම හේතුවෙන් වැරදිකරු වීම, දඬුවමට යටත් වීම හා වැරදි ගෙවීම්වලදී ආපසු අය කර ගැනීම යන ප්‍රතිපාදන හේතුවෙන් තමන්ට සිදුවන නීතිමය අසීරුතාව ඉවත් කර දෙන ලෙස ඉල්ලා සිටින බව ය. එහිදී සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ මෙතෙක් එම වගන්ති මගින් නිලධාරීන් වෙත කිසිදු අපහසුතාවක් සිදු වී නොමැති බව ය.
අදාළ පනත සංශෝධනය කිරීම, පාර්ශවයන් අතර යම්කිසි එකඟතාවකට ලිඛිතව එළඹීම සහ විශ්වාසය හා රටේ අවශ්‍යතාව මත පදනම් ව සුහදශීලී එකඟතාවකින් වගකීම ඉටු කිරීම යන විකල්පයන් අතරින් එකක් තෝරා ගත යුතු බවත්, ඉන් වඩාත් සිදු කළ හැකි සහ දුප්පතාගේ වටපිටාව ගැන සිතා සහකම්පනයෙන් සිදු කළ යුතු කාර්යය වන විශ්වාසය මත රාජකාරියට එළඹීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.
කෙසේවෙතත්, සමෘද්ධි නිලධාරීන්ගේ පාර්ශවයෙන් වාචික එකඟතාවකට වඩා නීතිමය පදනමකින් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ. ඒ අනුව 2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ 21 සහ 22 වගන්ති සංශෝධනය කිරීම සඳහා මීට පෙරද මුදල් අමාත්‍යාංශය වෙත කාරක සභාව විසින් නිර්දේශයක් කර ඇති බවත්, එම නිර්දේශය නැවත මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, එස්.එම්.එම්. මුෂාරෆ්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ද, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද එක්ව සිටියහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

