01

E   |     |  

2023-12-12

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන්න - ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නියෝග

  • බිලියන 173 ක එකතු කළ හැකි බදු (Collectable Taxes) අය කර ගැනීමට නියෝග
  • තිරිඟු පිටි සහ සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශවයන්ගෙන් නියමිත බද්ද අය කර ගැනීමට කඩිනම් පියවර ගන්න - ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නියෝග කෙරේ

 

හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදී.

තවද, 2023 ජූනි 30 වන දිනට රු. මිලියන 100 ක් හෝ ඊට වැඩි හිඟ බදු පවතින බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවක් ලබා දෙන ලෙස 2023.07.24 දින කාරක සභාවාරයේ දී කරන ලද නියෝගය ප්‍රකාරව අදාළ වාර්තාව කාරක සභා රැස්වීම් වාර දෙකක දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති නමුත් මේ දක්වා එය ලබා නොදුන්නේ මන්දැයි  ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් විමසා සිටින ලදී. ඒ සම්බන්ධයෙන් නීතිපති මතය විමසා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළ අතර දෙසැම්බර් 31 දිනට පෙර එම ලැයිස්තුව කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට නියෝග කරන ලදී.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ ව ලබා දී ඇති නිර්දේශ අතුරින් සමහර නි‍ර්දේශ සම්බන්ධ වාර්තා ලබා නොදීම, කාලය ඉල්ලා සිටීම, නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාව මෙහිදී සිය අසතුට පළ කර සිටියහ.

මේ පිළිබඳව සාකච්ඡා  කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) රැස් වූ අවස්ථාවේදී ය.

තිරිඟු ආනයනය කරන ප්‍රධාන සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් හැර වෙනත් සමාගම් සඳහා තිරිඟු පිටි ආනයනය කිරීම රජය විසින් තහනම් කර තිබූ අතර, එම තහනම් කාලය තුළ මෙම සමාගම් දෙක විශාල වශයෙන් පිටි තොග රැස් කර ගෙන තිබූ බවත්, තහනම ඉවත් කිරීමෙන් පසු තිරිඟු පිටි කිලෝවකට රු. 16/- බැගින් වූ බද්දක් පැනවීමෙන් මෙම සමාගම් ඉන් සැළකිය යුතු ලාභයක් උපයා ගෙන ඇති බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

තවද, සීනි සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 සිට රු. 50ට වැඩි කිරීම මගින්  සීනි ආනයනකරුවන් විසින් ආනයනය කර  ගබඩා කර තිබූ සීනි ටොන් 8500කට ආසන්න තොග  ප්‍රමාණයක් වෙළඳපොලට මුදාහැරීමෙන් සැළකිය යුතු අයුතු ලාභයක් අදාළ සමාගම් විසින් උපයා ‍ගෙන ඇති බවත්, එබැවින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ඉහත අවස්ථා 3දී එසේ උපයාගත් අනිසි ලාභයට අදාළ නියමිත බද්ද අදාළ පාර්ශවයන්ගෙන් අය කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්  කාරක සභාව විසින් නැවත නියෝගයක් නිකුත් කරන ලදී.

බදු මග හරිමින්, පැහැර හරිමින්, කට්ටි පනිමින් සිටින බදු ගෙවන්නන්ගේ හිඟ බදු අය කර ගැනීමට කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව එකතු කර ගත හැකි මට්ටමේ පවතින හිඟ බදු (Collectable Taxes) බිලියන 173 ක ප්‍රමාණය නැවත අය කර ගැනීම සඳහා බදු අය කර ගැනීමේ සැළැස්මක් සකස් කර දෙසැම්බර් 31 දිනට පෙර  එය ක්‍රියාවට නංවන ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය.

සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සිදු කර ඇති නියෝග 39 ක් අතරින්, මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව අවමය මිලියන 10 දක්වා වැඩි කිරීමේ කාරක සභා නිර්දේශය හා දිස්ත්‍රික්කයක් තුළ එක් මත්පැන් බලපත්‍රයකට වඩා සන්තකයේ පවතින පුද්ගලයන් හා සමාගම් ලැයිස්තුවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාව විසින් නියෝග කර තිබුණද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත්තේ මන්ද යන්න කාරක සභාව විසින් ප්‍රශ්න කරන ලදි. දිස්ත්‍රික්කයක් තුළ එක් මත්පැන් බලපත්‍රයකට වඩා සන්තකයේ පවතින පුද්ගලයන් හා සමාගම් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව පෙන්වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළ අතර ඒ බව කාරක සභාව වෙත ලිඛිතව දන්වා එවන ලෙස කාරක සභාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කරන ලදී.

තවද, රා නිෂ්පාදනාගාර 46 ක් දැනට පවතින බවත්, එම නිෂ්පාදනාගාර 46 දෛනිකව අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීම හා ඒවායේ දෛනික නිෂ්පාදනය ගණනය කිරීම සඳහා කාරක සභාව විසින් කරන ලද නියෝගය ප්‍රකාරව ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) දැනට සකස් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර, එම යෙදවුම කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය.

රේගු තාක්ෂණික පද්ධතියේ ස්කෑනර් යන්ත්‍ර සඳහා කෘතිම බුද්ධිය (AI) එක් කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය හා එක්ව තොරතුරු තාක්ෂණ උපදේශකයන්ගේ මාර්ගෝපදේශය යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතියක් යටතේ මේ සඳහා යෝජනාවක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ආපදා කළමනාකරණය, අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නාගරික යාචකයන් සම්බන්ධ වන සමීක්ෂණය සම්බන්ධ පසු විපරමක් ද, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවාරයේදී සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම කාරක සභාව සඳහා මුදල් අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය යන අමාත්‍යාංශ නිලධාරීන් ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද කැඳවා තිබූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, සංජීව එදිරිමාන්න, ඉෂාක් රහුමාන් හා සුදත් මංජුල යන මහත්වරුන් ද එක්ව සිටියහ.

 

1 2



සම්බන්ධිත පුවත්

2026-01-09

පුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ කෝපා කමිටුව අවධාරණය කරයි

තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) බඳවාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ අවධානයපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයපුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අවධානය යොමු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021, 2022 හා 2023 යන වර්ෂයන්වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2026.01.06 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කාරක සභාව 2023 ඔක්තෝම්බර් 03 දින රැස් වූ අවස්ථාවේදී, රටතුළ සියලු පුරාවිද්‍යා කැණීම් සිදු කරන ලද  ස්ථාන, එම කැණීම් මගින් සිදු කරන ලද සොයාගැනීම් සහ ඒවායේ සාර්ථක අසාර්ථක බව, එම කැණීම් තවදුරටත් ඉදිරියට කරගෙන යා යුතුද, නැද්ද යන්න, කැණීම් සිදු කළ යුතු වෙනත් ස්ථාන මොනවාද යන‍ාදී තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර පවත්වාගෙන යන ලෙස නිර්දේශ කර ඇති බවයි. කාරක සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය විමසීමේදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විටත් සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නොමැති බවත් කැණීම් බලපත්‍රවලට පමණක් අදාළව දත්ත පද්ධතිය පවත්වාගෙන යන බවත්ය.මේ අනුව, කාරක සභාව පෙන්වා දුන්නේ මෙම දත්ත පද්ධතිය සකස්කර යාවත්කාලීනව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් මේ වෙනුවෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් සහයක් අවශ්‍ය නම් එය ලබාදීමට කාරක සභාව සූදානම් බවත්ය. එසේම තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) වැඩි ප්‍රමාණයක් මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කිරීමේ වැදගත්කමද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදි. මේ සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) 12 දෙනෙකු බඳවාගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී තිබුණද දැනට සිටින්නේ එක් නිලධාරියෙකු පමණක් බවත්, ඔහුද ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය නොකරන බවයි. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ පවතින පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු ඉක්මනින් කරන ලෙසයි.එසේම පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු යාවත්කාලීන තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතිය සම්බන්ධ යෝජනාවලියක් මාස 3ක් ඇතුළත කාරක සභාව වෙත ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය. විශේෂයෙන්ම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ඉතාම වැදගත් බවයි. මේ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඉක්මනින් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදි.එසේම දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් 31 දිනට හඳුනාගත් සමස්ත පුරාවිද්‍යා ස්ථාන වලින් 48% ගැසට් නොකිරීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද සහ නොකරන ලද සියලු දත්ත පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.මීට අමතරව ලෝක උරුමයන් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානයට යෝජනා කිරීමට තීරණය කරන ලද ස්ථාන සහ අදාළ කෙටුම්පත පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් සුගත් තිලකරත්න, අරවින්ද සෙනරත්, නලීන් හේවගේ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, (නීතීඥ) සාගරිකා අතාවුද, (නීතීඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා,  ලාල් ප්‍රේමනාත්, මංජුල සුරවීර ආරච්චි, රුවන්තිලක ජයකොඩි සහ  සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2026-01-08

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි...

දිත්වා හේතුවෙන් ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක් මෙන්ම  5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් - මුදල් අමාත්‍යාංශයේ ලේකම්මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඊයේ (ජන. 07) ගරු. ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය. කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ  මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී විය.දිත්වා සුළි කුණාටුව හේතුවෙන්  ආපදාවට ලක්වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම හඳුන්වා දී තිබෙන බවටද මෙහිදී සඳහන් විය. ඒ අනුව රුපියල් මිලියන  25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසී ය.තවද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති  බවත්, එකී මුදල්  නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. අමතර මුදල් ලබා දීම සලකා බැලීමට  ප්‍රථමයෙන්  දැනට වෙන් කොට, ලබා දී තිබෙන මුදල් නිසි ලෙස යෙදවීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස මුදල් , ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා මාත්‍යාංශයට  උපදෙස් ලබා දෙන ලදී.තවද, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කමඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට බඳුන් විය.ඒ අනුව, පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට සහන සැලසීම පිළිබඳව ද රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා  සඳහන් කළේය.එමෙන්ම, ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පැවසීය.නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය හේමාලි වීරසේකර මහත්මිය, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්  ඇතුළු  එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා)  සහ  (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන  එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-01-08

සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

පාර්ලිමේන්තුවේ හෙට (ජන. 9) විවාදයට ගැනීමට නියමිත (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගයට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. එම කාරක සභාව, කම්කරු අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ සභාපතීත්වයෙන් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් 2026.01.06 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය. කම්කරු අමාත්‍යවරයා විසින් 2025.12.12 දින සාදන ලද මෙම නියෝගය 2025.12.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. “කිසියම් නේවාසික හෝටලයක අමුත්තන් පිළිගන්නියක්, කාන්තා ඇඳුම් කාමර සේවිකාවක්, කාන්තා රෙදිපිළි ගබඩා සේවිකාවක් හෝ කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් වශයෙන් අවුරුදු දහඅටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුව ද පෙ.ව 6.00 ට පෙර හෝ ප.ව 6.00න් පසුව සේවයේ යෙදවිය හැකිය” යනුවෙන් දැනට පවතින නෛතික ප්‍රතිපාදනය මෙම නියෝගය මගින් සංශෝධනය කෙරේ. ඒ අනුව එම නියෝගය මගින් අවසර ලබා දී ඇති නියමිත සේවාවන්ට අමතරව නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින  ආහාර පාන පිළිගන්වන කාර්යයෙහි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ද  (Food and Beverage Stewardess) පස්වරු 6.00ට පසු හෝ පසුදා  පෙරවරු 6.00ට පෙර, සේවයේ  යොදවා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය  නෛතික සංශෝධන මෙම නියෝගය මගින් හදුන්වා දී ඇත. එසේවුවද මෙම නියෝගය යටතේ සේවයේ නියුක්ත කරවන ලද යම් ස්ත්‍රියකගේ සේවා මුරය පස්වරු හයත් පසුදා පෙරවරු හයත් අතර වේලාවකදී අවසන් වන අවස්ථාවකදී , එකී සේවා මුරය අවසන් වූ  අවස්ථාවේ සිට පෙරවරු හය දක්වා එම ස්ත්‍රීයට සුදුසු නවාතැනක් සැපයීම හෝ එම ස්ත්‍රීයගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළුව එම ස්ත්‍රීයගේ සෞඛ්‍යාරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිව යුතු බවටත් නෛතික ප්‍රතිපාදන සහිත බව නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැනුම් දුන්හ. මෙරට වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතය 51%ක් පමණ වන නමුත් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 34%ක් පමණ වේ. එසේම වර්තමානයේ ශීඝ්‍රයෙන් දියුණුවන සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සැපයීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වයට වැඩි කිරීමට අවස්ථාවක් සලසා දීමේ අරමුණින් පවතින නීතිමය සීමාවන් ලිහිල් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් මෙහිදී සාකච්ඡා විය. එසේම කාන්තා ශ්‍රමිකයන් ඇතුළු සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ යෝජනා රැසක් මෙන්ම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරී‍මට අදාළ තත්ත්වයන් පිළිබඳ කරුණු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් අපේක්ෂා කරන බව ගරු කම්කරු අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කම්කරු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 


2026-01-08

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

2025.01.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 06) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව  (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ  අංක  2452/40 දරන අති  විශේෂ  ගැසට්   පත්‍රයේ පල කරන ලද  නියෝග මගින්  කිසියම් මාර්ගයක මෝටර් වාහනයක්, පදවනු ලබන, ක්‍රියාත්මක කරනු ලබන හෝ සත්‍ය වශයෙන් යම් මෝටර් වාහනයක් කායිකව පාලනය කරනු ලබන යම් තැනැත්තකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් නිලධරයකු විසින් සාධාරණව සැක කරනු ලබන අවස්ථාවක දී ඒ පොලිස් නිලධරයා විසින් ඒ තැනැත්තා රජයේ වෛද්‍ය නිලධරයකු හෝ රෝහල විසින් තත්කාර්ය සඳහා බලය දෙන ලද යම් නිලධරයකු වෙත වැඩිදුර පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළ යුතු බව දක්වා ඇත. එමෙන්ම  (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ   අංක  2455/29 දරන අති විශේෂ  ගැසට්  පත්‍රයේ පල කරන ලද  නියෝගය මගින් අධිවේගී මහා මාර්ගයක  රථවාහන වල ගමන් කිරීමේදී සෑම පුද්ගලයෙකුම ,පුද්ගල ආරක්ෂක ආසන පටියක් පැළඳ සිටිනු ලැබිය යුතු  බව දක්වා ඇත. ඒ අනුව මෙම නියෝග සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. තවද මෙම රැස්වීමේදී දිවයින තුළ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය  හේතුවෙන්  සිදුවූ හානිය  සහ ඒවා  යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු  කාරක සභාව දැනුවත් කළහ.  ඒ අනුව කිලෝමීටර 1481 පමණ දුරකින් යුත්, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කොටස්  287ක් කැඩී ගොස් ඇති බව එම අධිකාරියේ නිලධාරීහු පැවසූහ. ඒවා  නැවත ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු ගතමුදල  රුපියල් බිලියන 86ක් පමණ වන  බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 300ක පමණ අලාභයක් සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ. තවද ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රුපියල් මිලියන 63ක පමණ පාඩුවක්  ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුව තිබෙන බවත් එම නිලධාරීහු පැවසූහ. එමෙන්ම ලංකාවේ මාර්ග පද්ධතියට ඒ ඒ ප්‍රදේශවල සිදුව ඇති හානි පිළිබඳව, මහජනතාවට  අදාළ බලධාරීන් දැනුවත් කිරීම උදෙසා වෙබ් පිටුවක් සකස් කර ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව https://road-lk.org/ යන වෙබ් පිටුවට පිවිස අදාළ හානි පිළිබඳව දැනුවත් කිරීමේ අවස්ථාව මහජනතාවට පවතින බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග  ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, අනෙකුත් ගරු  නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks