logo

02

E   |     |  

2023-12-12

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන්න - ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නියෝග

  • බිලියන 173 ක එකතු කළ හැකි බදු (Collectable Taxes) අය කර ගැනීමට නියෝග
  • තිරිඟු පිටි සහ සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශවයන්ගෙන් නියමිත බද්ද අය කර ගැනීමට කඩිනම් පියවර ගන්න - ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නියෝග කෙරේ

 

හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදී.

තවද, 2023 ජූනි 30 වන දිනට රු. මිලියන 100 ක් හෝ ඊට වැඩි හිඟ බදු පවතින බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවක් ලබා දෙන ලෙස 2023.07.24 දින කාරක සභාවාරයේ දී කරන ලද නියෝගය ප්‍රකාරව අදාළ වාර්තාව කාරක සභා රැස්වීම් වාර දෙකක දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති නමුත් මේ දක්වා එය ලබා නොදුන්නේ මන්දැයි  ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් විමසා සිටින ලදී. ඒ සම්බන්ධයෙන් නීතිපති මතය විමසා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළ අතර දෙසැම්බර් 31 දිනට පෙර එම ලැයිස්තුව කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට නියෝග කරන ලදී.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ ව ලබා දී ඇති නිර්දේශ අතුරින් සමහර නි‍ර්දේශ සම්බන්ධ වාර්තා ලබා නොදීම, කාලය ඉල්ලා සිටීම, නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාව මෙහිදී සිය අසතුට පළ කර සිටියහ.

මේ පිළිබඳව සාකච්ඡා  කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) රැස් වූ අවස්ථාවේදී ය.

තිරිඟු ආනයනය කරන ප්‍රධාන සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් හැර වෙනත් සමාගම් සඳහා තිරිඟු පිටි ආනයනය කිරීම රජය විසින් තහනම් කර තිබූ අතර, එම තහනම් කාලය තුළ මෙම සමාගම් දෙක විශාල වශයෙන් පිටි තොග රැස් කර ගෙන තිබූ බවත්, තහනම ඉවත් කිරීමෙන් පසු තිරිඟු පිටි කිලෝවකට රු. 16/- බැගින් වූ බද්දක් පැනවීමෙන් මෙම සමාගම් ඉන් සැළකිය යුතු ලාභයක් උපයා ගෙන ඇති බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

තවද, සීනි සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 සිට රු. 50ට වැඩි කිරීම මගින්  සීනි ආනයනකරුවන් විසින් ආනයනය කර  ගබඩා කර තිබූ සීනි ටොන් 8500කට ආසන්න තොග  ප්‍රමාණයක් වෙළඳපොලට මුදාහැරීමෙන් සැළකිය යුතු අයුතු ලාභයක් අදාළ සමාගම් විසින් උපයා ‍ගෙන ඇති බවත්, එබැවින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ඉහත අවස්ථා 3දී එසේ උපයාගත් අනිසි ලාභයට අදාළ නියමිත බද්ද අදාළ පාර්ශවයන්ගෙන් අය කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්  කාරක සභාව විසින් නැවත නියෝගයක් නිකුත් කරන ලදී.

බදු මග හරිමින්, පැහැර හරිමින්, කට්ටි පනිමින් සිටින බදු ගෙවන්නන්ගේ හිඟ බදු අය කර ගැනීමට කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව එකතු කර ගත හැකි මට්ටමේ පවතින හිඟ බදු (Collectable Taxes) බිලියන 173 ක ප්‍රමාණය නැවත අය කර ගැනීම සඳහා බදු අය කර ගැනීමේ සැළැස්මක් සකස් කර දෙසැම්බර් 31 දිනට පෙර  එය ක්‍රියාවට නංවන ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය.

සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සිදු කර ඇති නියෝග 39 ක් අතරින්, මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව අවමය මිලියන 10 දක්වා වැඩි කිරීමේ කාරක සභා නිර්දේශය හා දිස්ත්‍රික්කයක් තුළ එක් මත්පැන් බලපත්‍රයකට වඩා සන්තකයේ පවතින පුද්ගලයන් හා සමාගම් ලැයිස්තුවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාව විසින් නියෝග කර තිබුණද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත්තේ මන්ද යන්න කාරක සභාව විසින් ප්‍රශ්න කරන ලදි. දිස්ත්‍රික්කයක් තුළ එක් මත්පැන් බලපත්‍රයකට වඩා සන්තකයේ පවතින පුද්ගලයන් හා සමාගම් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව පෙන්වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළ අතර ඒ බව කාරක සභාව වෙත ලිඛිතව දන්වා එවන ලෙස කාරක සභාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කරන ලදී.

තවද, රා නිෂ්පාදනාගාර 46 ක් දැනට පවතින බවත්, එම නිෂ්පාදනාගාර 46 දෛනිකව අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීම හා ඒවායේ දෛනික නිෂ්පාදනය ගණනය කිරීම සඳහා කාරක සභාව විසින් කරන ලද නියෝගය ප්‍රකාරව ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) දැනට සකස් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර, එම යෙදවුම කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය.

රේගු තාක්ෂණික පද්ධතියේ ස්කෑනර් යන්ත්‍ර සඳහා කෘතිම බුද්ධිය (AI) එක් කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය හා එක්ව තොරතුරු තාක්ෂණ උපදේශකයන්ගේ මාර්ගෝපදේශය යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතියක් යටතේ මේ සඳහා යෝජනාවක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ආපදා කළමනාකරණය, අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නාගරික යාචකයන් සම්බන්ධ වන සමීක්ෂණය සම්බන්ධ පසු විපරමක් ද, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවාරයේදී සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම කාරක සභාව සඳහා මුදල් අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය යන අමාත්‍යාංශ නිලධාරීන් ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද කැඳවා තිබූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, සංජීව එදිරිමාන්න, ඉෂාක් රහුමාන් හා සුදත් මංජුල යන මහත්වරුන් ද එක්ව සිටියහ.

 

1 2



සම්බන්ධිත පුවත්

2026-07-23

ඩොලර් මිලියන 700කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer - TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය.ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි  සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (ජූලි 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම විමර්ශනය යටතේ සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා සිදුකර ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. TT ක්‍රමය මගින් මුදල් යවා තිබුණද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථාද විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව සඳහන් විය.අනීතික විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින බාධා, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවේ පවතින අඩුපාඩු සහ බැංකුවල පාරිභෝගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Know Your Customer - KYC) ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක ව්‍යවසායකයන්ට අනවශ්‍ය අපහසුතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.  නව රෙගුලාසි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය වන ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කළේය.අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි පිළිබඳව කාරක සභාව්වේදී සලකා අනුමත කෙරුණු, භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම, ආනයන ගනුදෙනු අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය අවභාවිතයන් පාලනය කිරීම එහි අරමුණ බව සඳහන් විය.නව රෙගුලාසි අනුව පෙර ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ "සුදුසුකම් ලත් ආනයනකරුවන්" ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු මගින් Unique Identification Number (UIN) ලබාදී එම තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තා කළ යුතු වේ.එමෙන්ම අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසිද කාරක සභාවේදී අනුමත කෙරිණි.ඒ අනුව, ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයනය සඳහා පාලන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර HS කේත 55ක් නව පාලන ක්‍රමවේදයට ඇතුළත් කර තිබේ. නීතිවිරෝධී ලෝහ අපනයනය වැළැක්වීම සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම මෙම පියවරේ අරමුණ බව සඳහන් විය.


2026-07-22

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ යොමුකිරීමේ අනුදේශ කෙටුම්පත සම්මත කෙරේ

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය වෙනුවෙන් සකස් කර ඇති යොමු කිරීමේ අනුදේශ (Terms of Reference) කෙටුම්පත  පාර්ලිමේන්තු සංවර්ධන හවුල්කාර ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණි.ඒ එම සංසදය එහි සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදීය.සංසදය විසින් මෑතකදී සංවිධානය කරන ලද වැඩමුළුවකදී යොමුකිරීමේ අනුදේශය සකස් කිරීම සඳහා යෝජනා සහ අදහස් ලබාගෙන තිබූ අතර, එම යෝජනා පදනම් කර ගනිමින් මෙම අවසන්  කෙටුම්පත සකස් කර ඇත. එසේම, යොමුකිරීමේ අනුදේශය සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර, සංසදය නියෝජනය කරමින් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙහිදී එකඟතාව පළ විය. 


2026-07-22

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්‍රමවේදය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි.ඒ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී පර්යේෂණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ආයතනික මෙහෙයුම් කමිටුව (Institutional Operations Committee) සහ සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත සම්බන්ධීකරණ කණ්ඩායම (Six-member Coordination Team) පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම පර්යේෂණය සඳහා යොදා ගැනීමට නියමිත මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය (Mixed-Methods Design), ප්‍රශ්නාවලි (Questionnaires) සකස් කිරීම සහ දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස අවධානය යොමු විය.තවද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුකාරක සභාව වෙත මහජන අදහස් ලබාගැනීමේ ප්‍රගතියද මෙහිදී සාකච්ඡා කෙරුණි.පර්යේෂණයට අදාළ මානව සම්පත් සහ කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) අංශවල දායකත්වය ලබාගැනීම, පර්යේෂණයේ ක්‍රියාකාරී කාලසටහන (Gantt Chart) සකස් කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද මෙහිදී කරුණු සලකා බැලීය.එසේම, වාණිජ මණ්ඩල, කර්මාන්ත සංගම් සහ වෘත්තීය ආයතන ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ සහ රටපුරා පිහිටි තෝරාගත් SLIATE ආයතනවල ක්ෂේත්‍ර නිරීක්ෂණ (Field Visits) සිදුකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.පර්යේෂණයේ ඉදිරි ක්‍රියාමාර්ග නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කරමින් මීළඟ රැස්වීමට අවශ්‍ය ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට ද අනුකාරක සභාවේදී තීරණය කෙරිණි.මෙම අනුකාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ද එක්විය.


2026-07-22

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් අවභාවිතයන් සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් CID සහ අල්ලස් කොමිසමට කරුණු යොමු කිරීමට "කෝප්" කමිටුවේ අවධානය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ඉඩම් අවභාවිතයන්, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE/කෝප්) අවධානය යොමු විය.ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමර්ශනයේ ඉතිරි කරුණු සලකා බැලීම සඳහා කෝප් කමිටුව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී මාලිගාවත්ත, ඇල්විටිගල මාවත සහ දඹුල්ල රංගිරිගම ප්‍රදේශවල පිහිටි අධිකාරිය සතු වටිනා ඉඩම්, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සහ ඉතා අඩු නාමික වටිනාකම් යටතේ බාහිර පාර්ශ්ව වෙත බදු දීම, ගිවිසුම්වල සඳහන් පරමාර්ථයන්ට පටහැනි ලෙස එම ඉඩම් භාවිත කිරීම සහ අධිකාරිය සතු දේපළ නිසි ලෙස ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙම ගනුදෙනු බොහොමයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරමාර්ථයන්ට සහ නීතිමය ප්‍රතිපාදනවලට පටහැනිව සිදුවී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කළ අතර, අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළේය.තවද, මෙම සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම අනාගතයේදී මෙවැනි අක්‍රමිකතා නැවත සිදු නොවන පරිදි දේපළ කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාරක සභාව නිර්දේශ කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතීඥ සුජීව සේනසිංහ, මුජිබුර් රහුමාන්, චමින්ද විජේසිරි, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, සුනිල් රාජපක්ෂ, තිලිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, රුවන් මාපලගම, ජගත් මනුවර්ණ සහ දිනේෂ් හේමන්ත, එම්.කේ.එම්. අස්ලම්, සුදත් බලගල්ල යන මහත්වරු සහභාගි වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks