logo

E   |     |  

2023-10-26

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ පරිපාලන දුර්වලතා මඟහරවා නව මුහුණුවරකින් තරගකාරී බැංකුවක් ලෙස පවත්වාගෙන යාමට ‘කෝප්’ කමිටුවෙන් නිර්දේශ

  • සාවද්‍ය ලේඛන ඉදිරිපත්කොට රු මිලියන 68ක් ණය ලබාගැනීමෙන් බැංකුවට සිදුවූ අලාභය පියවීම සහ නෛතික ක්‍රියාමාර්ග පිළිබදවත් වාර්තාවක් කැදවයි
  • සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිතකිරීම කඩිනම් කිරීමටත් නියෝග
  • ප්‍රමාද වූ 2021/2022 වාර්ෂික වාර්තා ලබන ජනවාරිය අවසන් වීමට පෙර ඉදිරිපත් කරන ලෙසටත් නි‍ර්දේශ

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.10.19 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව කැඳවා තිබිණි.

මෙහිදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2020,2021 වර්ෂවල විගණන වාර්තා පරීක්ෂා කිරීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබදව විමර්ශනය කිරීම සිදුවිය. මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් ද රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට කැදවා තිබිණි.  මෙහිදී පහත සදහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

 

සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රමාදය

මීට පෙර පැවති කෝප් කමිටුවේදී ලබා දුන් නිර්දේශ අනුව සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිත කිරීම ප්‍රමාදය පිළිබදව අවධානය යොමු විය. දැනටමත් මෙම කටයුතු ආරම්භ කර ඇති බවත් 2024 ජූලි වන විට සම්පූර්ණයෙන්ම එම කටයුතු අවසන් කරන බවටත් නිලධාරීහු සහතික වූහ.

 

තරගකාරී බැංකුවක් ලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාව

බැංකුවේ වත්කම් ප්‍රමාණය වැඩිකරගෙන දියුණු තලයකට පැමිණීම සදහා වානිජ මට්ටමේ මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී. බැංකුවේ මූලික පරමාර්ථවලින් සම්පූර්ණයෙන්ම බැහැර නොවී තරගකාරී බැංකුවක් ලෙස මහජනතාවට සමීප වීමේ වැදගත්කම කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.  ඒ අනුව නව්‍ය බවකින් යුතුව සහ ආකර්ශනීය ලෙස බැංකුවේ සන්නාමය මහජනයා අතර ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව (Rebranding) අවධාරණය කෙරිණි.

 

සාවද්‍ය ලේඛන ඉදිරිපත්කර රු මිලියන 68ක් ණය ලබා ගැනීමෙන් සිදුවූ අලාභය

2017 වසරේදී සාවද්‍ය ලේඛන ඉදිරිපත් කරමින් යම් පිරිසක් ණය ලබා ගැනීම නිසා බැංකුවට අලාභ වූ රු මිලියන 68 ක මුදලක් පියවා ගැනීමට අදාළ කටයුතු පිළිබද අවධානය යොමු විය. ණය අයදුම්කරුවන් 49 ක් සදහා බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ඇතිව අදාළ ණය මුදල ලබාදීමෙන් මෙම වංචාව සිදුව ඇති බවද හෙළිවිය. දැනටමත් නෛතික කටයුතු අනුව රු. මිලියන 8 ක් ලැබී ඇති බවත් ඉතිරි මුදල ලබා ගැනීම සදහා   නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නිලධාරීහු පැවසූහ. මෙම සිදුවීම සිදුවී වසර 6ක් ගතවුවද නිලධාරීන්ට  දඩුවමක් ලබා දී මෙම මුදල් අයකරගැනීම පමාවීම පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මේ අනුව මේ පිළිබද සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය.

 

බැංකුවේ සක්‍රීය නොවන ණය අනුපාතය ඉහළ අගයක පැවතීම

බැංකුවේ  සක්‍රීය නොවන ණය අනුපාතයේ (Non-Performing Loans Rate) සාමාන්‍ය අගය ඉක්මවා, ශාඛා 10 ක පමණ ඉහළ සක්‍රීය නොවන ණය අනුපාතයක් වාර්තා කර තිබීම පිළිබදව අවධානය යොමු විය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම බැංකුවේ පාරිභෝගිකයන් බහුතරය මධ්‍යම හා අඩු ආදායම්ලාභීන් බැවින් පැවති ආර්ථික තත්ත්වය හමුවේ ණය ගෙවීම සදහා ඔවුනට සහන කාලයන් ලබා දීමට සිදුවූ බවයි. මේ පිළිබද විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දීම සිදු විය.

 

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු සංජීව එදිරිමාන්න, ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය, ගරු මධුර විතානගේ සහ ගරු මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වී සිටියහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2026-06-18

රාජ්‍ය අයවැයට ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රවේශයක් එක් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම  රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද  සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද  සංසදය විසින්  මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.


2026-06-17

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු  රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-17

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09)  පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks