E   |     |  

2023-09-07

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් ‘කෝප්’ කමිටුවේදී හෙළි වෙයි

  • ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායම් ඉහළ නැංවීම සම්බන්ධයෙන්, පිරිවැය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත යෝජනාවලියක් කෝප් කමිටුවට ලබාදීමට නිර්දේශ
  • ඒකාබද්ද අරමුදලට බැර කළ යුතු මුදල් 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා නොගෙවීම පිළිබඳ අවධානය
  •  නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව උපරිම කිරීමට විශාල ප්‍රමාණයේ දොඹකර 12 ක් සහ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40 මිලදීගැනීමට කොන්ත්‍රාත්කරු සමග එළඹි ඇ.ඩො. මිලියන 282.56 ක ගිවිසුම සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් අවධානය.
  • කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහාලුම් හැසිරවීමේ ධාරිතාවය 2001 වර්ෂයේ සිට 2022 වන විට 81% සිය 28% දක්වා අඩු වීම පිළිබඳ අවධානය
  • 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායන් වෙත නාවික යාත්‍රා පැමිණීම අඩු වීම පිළිබඳ සාකච්ඡා වේ
  • ගාල්ල වරායේ බහු කාර්ය පර්යන්තයක් ඉදිකිරීමට  සැලසුම් කොට ඒ සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමතිය ලබා ගැනීම වසර 3ක් ප්‍රමාද වීම නිසා එම ව්‍යාපෘතිය අත්හිටුවීමට සිදු වීම සම්බන්ධයෙන් අවධානය
  • වරාය අධිකාරියේ අතිරික්ත සේවක සංඛ්‍යාව 914 ක් සිටියදී ඇතැම් සේවකයින්ට අතිකාල දීමනාද ලබාදීම සම්බන්ධයෙන් අවධානය
  • අධිකාරියේ සියලු ගේට්ටු සහ බන්ධිත ගුදම් ආවරණය වන ආකාරයෙන් CCTV කැමරා සවි කිරීමේ කටයුතු සිදු නොකිරීම පිළිබඳ විමසා බැලේ
  • ත්‍රිකුණාමලය වරායේ ඇති Night Navigation පද්ධතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ අවධානය
  • 2022 වර්ෂය වෙනුවෙන් ආහාර සඳහා 2022 වර්ෂයේ රුපියල් බිලියන 1.2 ක වියදමක්
  • ශ්‍රි ලංකා වරාය අධිකාරිය 2023.12. 08 නැවතත් කෝප් කමිටුව හමුවට
  • නැවත කැදවන දිනට පෙර පවතින පරිපාලන දුර්වලතා විසඳා ගැනීමට කමිටුවෙන් නියෝග

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.09.05  දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා වරාය අධිකාරිය කැඳවා තිබිණි.

මෙහිදී 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදුවූ අතර වරාය නාවික හා ගුවන් සේවා අමාත්යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්  ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි. එසේම 2022 ජුනි 22 දින ශ්‍රී ලංකා වරාය අධිකාරිය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බැලීම සිදු විය.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබද අවධානය යොමුවිය.

 

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් මාස 3ක් ඇතුළත විශේෂ යෝජනාවලි 3ක් කෝප් කමිටුවට ලබාදීමට නිර්දේශ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායම් ඉහළ නැංවීම සම්බන්ධයෙන්, පිරිවැය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් යෝජනාවලි 3ක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කමිටු සභාපත් ගරු මහාචාර්ය රංජිත් බණ්ඩා මහතා නිර්දේශ කළේය. මෙහිදී එළඹෙන දෙසැම්බර් මස 08 වැනි දින වරාය අධිකාරිය කෝප් කමිටුවට කැඳවන බවත් ඉන් පෙර මෙම වාර්තා 3 කෝප් කමිටුවට ලබා දිය යුතු බවත් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය. මේ අනුව එම යෝජනාවලි 3 ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට පැමිණි නිලධාරීන් එකඟ විය.

 

ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු මුදල් 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා නොගෙවීම

මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පසිගිය වර්ෂ කිහිපයක මූල්‍ය ප්‍රතිඵල පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර එහිදී 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය උපයාගෙන තිබූ ලාබයෙන් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු රුපියල් මිලියන 4.975 ක් නොගෙවීම පිළිබඳ කෝප් කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටියේය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ මාස දෙකක් ඇතුළත මෙම මුදල ගෙවීමට කටයුතු කරන බවයි.

 

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව උපරිම කිරීමට විශාල ප්‍රමාණයේ දොඹකර 12 ක් සහ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40 මිලදීගැනීමට එළඹි ගිවිසුම

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව උපරිම කිරීමට විශාල ප්‍රමාණයේ දොඹකර 12 ක් සහ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40 මිලදීගැනීමට කොන්ත්‍රාත්කරු සමග එළඹි ඇ.ඩො. මිලියන 282.56 ක ගිවිසුම සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව පැමිණි නිලධාරීන්ගෙන් විමසීම මෙහිදී සිදි විය. පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 ජූනි 22 කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදීද  මේ පිළිබඳව සාකච්ඡා කළ බවත්ය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ 2021 වර්ෂයේ මේ පිළිබඳ ගිවිසුම්වලට එළඹුන බවත් ලංකා බැංකුවෙන් ණය වර (LC) නිකුත් කළද රටේ පැවති තත්ත්වය නිසා මෙම ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ බවයි. මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ මෙම ගිවිසුම සංශෝධනය නොකිරීම නිසා ඉදිරියේදී නීතිමය ගැටලු මතු විය හැකි බවයි. එසේම මේ සඳහා මෙහෙයුම් පිරිවැයක්ද වැයවී ඇති බවයි. මේ නිසා මේ පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදීමට කෝප් කමිටුව නිර්දේශ කරන ලදි.

 

කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහාලුම් හැසිරවීමේ ධාරිතාවය 2001 වර්ෂයේ සිට 2022 වන විට 81% සිය 28% දක්වා අඩු වීම

කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහාලුම් හැසිරවීමේ ධාරිතාවය 2001 වර්ෂයේ සිට 2022 වන විට 81% සිය 28% දක්වා අඩු වී ඇති බව විගණකාධිපති වාර්තා අනුව නිරීක්ෂණය වන බව මෙහිදී කෝප් කමිටුව පෙන්වා දන්නේය. එසේම බටහිර පර්යන්තය පෞද්ගලික ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ආදායම වැඩිකරගැනීමට කටයුතු කොට ඇති බවත් පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දන්හ. මේ නිසා පෞද්ගලික අංශය සමග තරඟකාරීව කයුතු කිරීමේ හැකියාවද ඇති කරගත යුතු බව කෝප් කමිටුව පෙන්වා දෙන ලදි. එසේම ඉදිරි වසර 5 වෙනුවෙන් සංයුත සැලැස්ම සකස් කිරීම පිළිබඳවද මෙහිදී කමිටුව විමසන ලදි.  මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට ඉදිරි වසර 5 වෙනුවෙන් සකස් කරන සංයුත සැලැස්මේන් 50% පමණ අවසන් බවයි. මෙහිදී නැවත මෙම අධිකාරිය කෝප් කමිටුවට කැඳවන විට මෙම සැලැස්ම කමිටුවට ඉදිරිපත් කරීමටද නිලධාරීන් එකඟ විය.

 

2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායන් වෙත නාවික යාත්‍රා පැමිණීම අඩු වීම පිළිබඳ අවධානය

2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායන් වෙත නාවික යාත්‍රා පැමිණීම අඩු වීම පිළිබඳවද මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී 2020 වර්ෂයේ සිට කන්කසන්තුරේ වරායට එක් නැවක් හෝ නොපැමිණීම පිළිබඳවද කෝප් කමිටුව ප්‍රශ්න කළේය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2022 වර්ෂයේදී අඩුවක් පැවති බවත් මේ වන විට එය යහපත් තත්ත්වයට පත්වෙමින් පවතින බවත්ය. විශේෂයෙන්ම මෙහිදී නිලධාරීන් සඳහන් කළේ කොළඔ වරාය හැර අනෙකුත් වරායන් සිමෙන්ති වැනි අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා යොදාගත් බවත් පසුගිය කාලසීමාව තුළ මෙම අමුද්‍රව්‍ය ගෙන්වීම අවම වීමත් මේ සඳහා හේතුවක් වූ බවත්ය. මේ අනුව පළාත් මට්ටමෙන් පවතින වරායන් තවත් සක්‍රීය කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබාදුන්නේය.

 

ගාල්ල වරායේ බහු කාර්ය පර්යන්තයක් ඉදිකිරීමට  සැලසුම් කොට එම ව්‍යාපෘතිය අත්හිටුවීම

ගාල්ල වරායේ බහු කාර්ය පර්යන්තයක් ඉදිකිරීමට  සැලසුම් කොට ඒ සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමතිය ලබා ගැනීම වසර 3ක් ප්‍රමාද වීම නිසා එම ව්‍යාපෘතිය අත්හිටුවීමට සිදු වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් 2006 මාර්ති 28 දින ශ්‍රී ලංකා රජය හා අන්තර්ජාතික සහයෝගිතාවය සඳහා වූ ජපාන බැංකුව විසින් මේ සම්බන්ධයෙන් ණය ගිවිසුම් අත්සන් කොට තිබූ අතර ලෝක උරුමයක් ලෙස නම්කොට තිබූ ගාලු කොටුව ආශ්‍රීතව ඉදිකිරීම් සිදු කිරීමට යුනෙස්කෝ සංවිධානයේ අනුමතිය ලබාගැනීමට අවශ්‍යව තිබී ඇති අතර වසර 3ක් යනතෙක්ම මෙම අනුමතිය ලබා නොගැනීම නිසා මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කොට ඇත. නමුත් මේ වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 418 ක් වූ උපදේශක ගාස්තුව නිශ්කාර්ය වියදමක් ලෙස නිරීක්ෂණය වන බවත් කමිටුව පෙන්වා දන්නේය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ හම්බන්තොට වරාය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදීම නිසා ගාල්ල වරාය පිළිබඳ ප්‍රමුඛතාවය අවම වූ බවයි. නමුත් ඉදිරියේදී සංචාරක වරායක් ලෙස ගාල්ල වරාය දියුණු කිරීමට බලාපොරොත්තු වන නිසා මෙම මුදල් නිෂ්කාර්ය වියදම් නොවන බවත් නිලධාරීන් සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම කටයුත්ත වෙනුවෙන් සම්බන්ධතාවක් නොදක්වා ඇති බවද නිලධාරීන් සඳහන් කළේය.

 

වරාය අධිකාරියේ අතිරික්ත සේවක සංඛ්‍යාව 914 ක් සිටියදී ඇතැම් සේවකයින්ට අතිකාල දීමනාද ලබාදීම සම්බන්ධයෙන් අවධානය

වරාය අධිකාරියේ අතිරික්ත සේවක සංඛ්‍යාව 914 ක් සිටින බවත් එසේ සිටියදීත් සේවකයින්ට අතිකාල දීමනා ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය විය. මෙහිදී 2021 වර්ෂයේත් මෙලෙස අතිකාල දීමනා වශයෙන් මුදල් ලබා දී ඇති බව නිරීක්ෂණය වන බවද කෝප් කමිටුව පෙන්වා දනුනේය. මේ අනුව මෙම අතිරික්ස සේවක සංඛාව සම්බන්ධයෙන් අවධානය යොමුකොට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කළමනාකරණ දෙපාර්තමේන්තුවටද කෝප් කමිටුව විසින් උපදෙස් ලබා දුන්නේය. මේ අනුව මාස 3 කට පසු මෙම අධිකාරිය නැවත කඳවන විට මෙම සේවක සංඛ්‍යාව සම්බන්ධ ගැටලුව විසඳාගැනීමට කටයුතු කරන ලෙස කමිටුව උපදෙස් ලබා දුන්නේය.

 

අධිකාරියේ සියලු ගේට්ටු සහ බන්ධිත ගුදම් ආවරණය වන ආකාරයෙන් CCTV සවි කිරීමේ කටයුතු සිදු නොකිරීම

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු ගේට්ටු සහ බන්ධිත ගුදම් ආවරණය වන ආකාරයෙන් CCTV කැමරා සවි කිරීමේ කටයුතු සිදු නොකිරීම පිළිබඳ විමසා බැලීමද මෙහිදී සිදු විය. මෙහිදී අවශ්‍ය ස්ථාන සඳහා ක්‍රම ක්‍රමයෙන් CCTV කැමරා සවි කිරීම සිදු කරන බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය. මේ වන විට කැමරා 538 ක් සවි කර ඇති බවත් ඉදිරියේදී 400 පමණ සවිකරන බවත් එම නිලධාරීන් පෙන්වා දුන්නේය. මාස 6 ක් ඇතුළත මෙම CCTV කැමරා සවි කිරීමට කටයුතු කරන බවද පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය.

 

ත්‍රිකුණාමලය වරායේ ඇති Night Navigation පද්ධතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක නොවීම

ත්‍රිකුණාමලය වරායේ ඇති Night Navigation පද්ධතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳවද කෝප් කමිටුව මෙහිදී විමසීම සිදු විය.

 

2022 වර්ෂය වෙනුවෙන් ආහාර සඳහා 2022 වර්ෂයේ රුපියල් බිලියන 1.2 ක වියදමක්

2022 වර්ෂය වෙනුවෙන් ආහාර සඳහා 2022 වර්ෂයේ රුපියල් බිලියන 1.2 ක වියදමක් දරා ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව මේ මුදලෙන් රුපියල් මිලියන 498 කෙටි ආහාර සඳහා වියදම් කර ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය.

 

මෙම නිර්දේශවල ප්‍රගතිය සමාලෝචනය සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2023 දෙසැම්බර් 08 දින නැවත කැදවීමටත් මෙහිදී තීරණය විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු දයාසිරි ජයසේකර, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු එස්.එම් මරික්කාර්, ගරු ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු මධුර විතානගේ සහ ගරු මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

 

12

34

5



සම්බන්ධිත පුවත්

2026-09-17

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අදාළ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය  හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය  ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස්  එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-17

විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති විය යුතුයි – අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව  ආචාර්ය හරිනි අමරසූරිය, ගරු  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය  අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.


2026-09-15

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල සියළුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසනපටි පැළඳීම සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14  දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.  එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට  ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද  අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,  නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


2026-09-14

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා  ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර්  ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්  මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද  මෙහිදී  ප්‍රකාශ  විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks