E   |     |  

2026-09-15

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල සියළුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසනපටි පැළඳීම සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14  දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.

ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.  එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට  ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. 

සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. 

එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. 

ඒ සඳහා ඉදිරිපත් කරන ලද  අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.

ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. 

මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,  නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-09-14

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා  ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර්  ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්  මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද  මෙහිදී  ප්‍රකාශ  විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.


2026-09-08

තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගන්නවා – විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදය

විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු මේ බව සඳහන් කළහ.“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි. මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර  සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ. මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය CII (Coalition for Inclusive Impact) ආයතනය විසින් ලබා දෙන ලදී.


2026-09-07

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් කරුණු විමසයි

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලද   ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පසුගියදා කරුණු විමසන ලදී. එම කාරක සභාව ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී  මෙම කරුණු විමසීම සිදු විය. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි/පොලිස් අධිකාරිවරුන් පිරිසක් මෙම කාරක සභාවට කැඳවා තිබිණි. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද කාරක සභාව විසින්  කැඳවන ලදී. දිට්වා සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී  ඊට අදාළව ගන්නා ලද පියවර පිළිබඳව ජන මාධ්‍යයට දැක් වූ අදහස් සම්බන්ධයෙන් සවිස්තර කරුණු දැන ගැනීම පිණිස මෙසේ කාරක සභාවට හිටපු මන්ත්‍රීවරයා කැඳවා තිබිණි.කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.


2026-09-07

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සහ ප්‍රතිපත්තිමය යෝජනා සාකච්ඡාවට

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 13 වැනි රැස්වීම එම සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.2026 ජූලි සිට 2027 ජූනි දක්වා කාලසීමාව සඳහා සකස් කළ සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (International Foundation for Electoral Systems – IFES) තාක්ෂණික සහයෝගය ඇතිව සකස් කර ඇති මෙම ක්‍රියාකාරී සැලැස්ම ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සකස් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සම්බන්ධීකරණය සහ අධීක්ෂණය, අයවැය වෙනුවෙන් පෙනී සිටීම සහ වගවීම, නෛතික හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ප්‍රවේශවිය හැකි හා අන්තර්කරණය වූ රාජ්‍ය සේවා යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරිණි.IFES ශ්‍රී ලංකා නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රක උබේසේකර මහතා, ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මහත්මිය සහ ආබාධිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සාමාජික ටිකිරි කුමාර ජයවර්ධන මහතා විසින් සංසදය හමුවේ මෙතෙක් සිදු කර ඇති කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් හා අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමේ සැලසුම්කරණයට ඇතුළත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. කිලිනොච්චිය, මුලතිව්, කළුතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පවත්වා ඇති දිස්ත්‍රික් උපදේශන වැඩසටහන්වල අත්දැකීම් මත ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේද මෙවැනි වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව සඳහන් විය.එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක ප්‍රවේශ විගණන කමිටු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ආබාධ සහිත ප්‍රජාවගේ සක්‍රීය සහභාගිත්වය ලබා ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ගොඩනැගිලි සහ නගර සැලසුම් කිරීමේ ආරම්භක අවස්ථාවේ සිටම ප්‍රවේශතා පහසුකම් ඇතුළත් කිරීම මඟින් පසුව සිදු කිරීමට සිදු වන අධික වියදම් සහිත වෙනස්කම් අවම කරගත හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.2027 ජාතික අයවැය සඳහා ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන 60කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සකස් කළ ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යෝජනා 234කින් සමන්විත වාර්තාවක් දැනටමත් ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කර ඇති බවද මෙහිදී සඳහන් විය. එම යෝජනා ක්‍රියාත්මක වන ආකාරය සහ ඒ මඟින් ආබාධ සහිත තැනැත්තන්ට සැබෑ ප්‍රතිලාභ ලැබෙන්නේද යන්න සමීපව නිරීක්ෂණය කිරීමට ද සංසදය තීරණය කළේය.ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සහ ප්‍රවේශ පහසුකම් සැලසීම සඳහා පවතින නෛතික හා ප්‍රතිපත්තිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. දැනට සකස් කරමින් පවතින “ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත” සහ “සංඥා භාෂා පනත් කෙටුම්පත” පිළිබඳ ප්‍රගතිය විමසීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය විය.එමෙන්ම ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන සහ ප්‍රමිතීන් ජාත්‍යන්තර යහ පිළිවෙත්වලට අනුකූලව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පෞද්ගලික අංශයේ ආයතන සඳහා ප්‍රවේශතා සම්බන්ධ මාර්ගෝපදේශ හඳුන්වා දී, ඒවා ක්‍රමයෙන් නෛතික රාමුවකට ඇතුළත් කිරීම මෙන්ම තෝරාගත් පෞද්ගලික ආයතන කිහිපයක් සමඟ ආදර්ශ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාද ඉදිරිපත් විය.රාජ්‍ය සේවා වඩාත් ප්‍රවේශවිය හැකි හා අන්තර්කරණය වූ සේවා බවට පත් කිරීම සම්බන්ධයෙන්ද රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු විය. කම්කරු අමාත්‍යාංශයේ “මෙහෙවර පියස” ගොඩනැගිල්ල සහ සෙත්සිරිපාය I සහ II අදියර ගොඩනැගිලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රවේශ විගණනවල ප්‍රතිඵල පිළිබඳවද සාකච්ඡා කෙරිණි. සෙත්සිරිපාය III අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භයේ සිටම ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශවිය හැකි ආකාරයට සැලසුම් කිරීමට කටයුතු කර ඇති බවද මෙහිදී සඳහන් විය.මීට අමතරව, පහත් තට්ටුව සහිත බස් රථ සේවා, ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශවිය හැකි සංචාරක කර්මාන්තය සහ “මිතුරු නගර” වැඩසටහන වැනි වැඩසටහන් රාජ්‍ය සේවාවන්හි ප්‍රවේශතාව වැඩිදියුණු කිරීම සඳහා ආදර්ශ ලෙස හඳුනාගෙන ඇති අතර, සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ප්‍රවේශතා බාධක ඉවත් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.රැස්වීම අවසානයේ අදහස් දැක්වූ සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ආබාධ සහිත ප්‍රජාවට බියෙන් හා සැකයෙන් තොරව නිදහස්, ස්වාධීන සහ ගෞරවාන්විත සමාජ ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සංසදයේ ප්‍රධාන අරමුණක් බවයි.ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔවුන්ගේ හඬට ප්‍රමුඛත්වය ලබාදීම සහ සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මෙම කාර්යභාරය අඛණ්ඩව ඉටු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම කටයුතු සඳහා දායක වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, IFES ආයතනයට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ටද ඒ මහතා සිය ස්තූතිය පළ කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) නිහාල් අබේසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks