01

E   |   த   |  

2023-07-01

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

තරුණ වරදකරුවන්ට වෘත්තීය අධ්‍යාපනය සහ අධ්‍යාත්මික දියුණුවට පුහුණුවක් ලබාදීම වැදගත් - තරුණ නියෝජිතයෝ සංහිදියාව හා ජාතික ඒකාබද්ධතාවය පිළිබඳ ආංශික ආධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දෙති

  • දඬුවම් ලබන දරුවන් 11 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම නැවත වරදකරුවන් ලෙස පැමිණිමේ සම්භාවිතාවක්
  • තරුණ වරදකරුවන් සදහා භාෂාමය ප්‍රවීණතාවය ලබාදී විදේශ රැකියා සදහා යොමු කිරීමට යෝජනා

 

දැනට වැරදිකරුවන් බවට පත්ව දඬුවම් විඳිමින් සිටින තරුණ වරදකරුවන් ට පවතින සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ ඉගැන්වීම අසාර්ථක බවත්, ඔවුන් සඳහා අධ්‍යාත්මික හා හැසිරීම් රටාවේ ප්‍රගතියක් ඇති කිරීමට පුහුණුවක් දිය යුතු බවත් ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගී වන තරුණ නියෝජිතයෝ පෙන්වා දුන්හ.  

එසේම ඔවුන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා දීම මීට වඩා ඵලදායී බවත් එමඟින් ඔවුන්ට රැකියාවක් වෙත විවෘත වීම මෙන්ම දරුවන්ට එම වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ දී වසරක පමණ පුහුණු කාලයෙන් පසු ඉතිරි වසර 2 ක තුළ ආදායම් උත්පාදන ක්‍රමවේදයක් වැනි දෑ හඳුන්වා දීම තුළ ඔවුන් වසර 3ක නේවාසික කාලයෙන් පසු පිටවන විට යම් ආර්ථිකමය හැකියාවක් සමඟ පිටවීමට හැකිවීම මෙන්ම නැවත වරදට පෙළඹීම සිමා කරනු ඇති බවද ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.

මේ අදහස් පළ වූයේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ඇති වට‍රැක තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය හා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව යන ආයතන ජාතික ඒකාබද්ධතාවය පිළිබද ආංශික ආධීක්ෂණ කාරක සභාව සඳහා කැඳවූ අවස්ථාවේදීය.

ජාතික ඒකාබද්ධතාවය පිළිබද ආංශික ආධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

වයස අවුරුදු 16 - 22 අතර වයසේදී වරදක් කිරීම හේතුවෙන් අපරාද නිතිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණ මඟින් දණ්ඩනයක් නියම කරනු ලැබූ තරුණ වරදකරුවන් මෙම ආයතනයට ඇතුළත් කෙරේ. එම දඩුවම් කාලය සිර දඬුවමක් නොවන අතර අනිවාර්ය වසර 03ක රැදවුම් කාලයක් බවත් මෙම දරුවන්ට රැදවුම් කාලයෙන් අනතුරුව බාහිර පරිසරයේ රජයේ රැකියාවකට හෝ අයදුම් කිරී‌මට හැකි බවත් වටරැක තරුණ  වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ ජේෂ්ඨ සහාකාර ලේකම් ඒ.වී. වජීරා දමයන්ති මහත්මිය පෙන්වා දුනනාය.

තරුණ වරදකරුවන් බන්ධනාගාර ගත විමේ ප්‍රවණතාව 2013 - 2022 කාලය තුළ අඩුවෙමින් පවතින බව ආයතනික දත්ත අනුව මෙහිදී පෙන්වා දුන් අතර මෙම අභ්‍යාස විද්‍යාලයට ඇතුල් වන බොහෝ දරුවන්ගේ පවුල් සම්බන්ධතා බිද වැටී ඇති බවත් රැදවුම් කාලයෙන් අනතුරුව ඇතැම් දරුවන්ගේ භාරකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති වන බවත් මෙහිදී අනාවරණය විය.  

 වටරැක තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් අධ්‍යාපනය ලබා දෙන අතර එහි පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර තිබේ.  එහි දරුවන් සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නමුත්, ඉන් සමත්වන ප්‍රමාණය ඉතාමත් අවම මට්ටමක පවතී. එනම් 2014 වර්ෂය තුළ සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් ප්‍රමාණය 16ක් වුවද ඔවුන් අතරින් සමත් වූ දරුවන් ප්‍රමාණය එක් අයෙකී.  2021 වසරේ දී සමත් වී ඇත්තේද එක් දරුවෙක් පමණි.

පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරිමේ නීතියත් සමඟ එම දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය ඵලදායී ලෙස ලබා දීම ගැටලුවක් බව නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී. මෙම ප්‍රතිපත්ති වෙනස් කල යුතු බවට හඳුනාගන්නා ගත් කාරක සභාව මෙම ගැටලු පිලිබඳ මීට අදාල ආයතන හා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සාකච්ඡා කිරීමට එකඟත්වය පල කළේය.

තරුණ වරදකරුවන්ගෙන් කොපමණ පිරිසක් නැවතත් වැරදිකරුවන් විමේ සම්භාවිතාවක් පවතී ද යන්න කාරක සභාව තුළ ප්‍රශ්නයට නැඟුන අතර ඒ සදහා නිලධාරීන් පෙන්වා දුන්නේ දරුවන් 11 දෙනෙකුගෙන් 9 දෙනෙක් නැවත වරදකරුවන් ලෙස පැමිණිමේ සම්භාවිතාවක් පවතින බවය.  

මෙම දරුවන් සදහා භාෂාමය ප්‍රවීනතාවය ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධ කරමින් මෙම දරුවන් විදේශ රැකියා සදහා යොමු කිරීමට යම් ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය.

බන්ධනාගාර තුළ පවතින අධික ධාරිතාව වළක්වා ගැනීම සදහා ප්‍රජා පාදක විශෝධන දේපාර්තමේන්තුව යොදා ගත හැකි බැවින් ඒ පිළිබද අවධානය යොමු කල යුතු බව කාරක සභාව මෙහිදි පෙන්වා දුන්නේය.

දැනට ප්‍රජා පාදක විශෝධනයට යොමු විය යුතු එහෙත් මහේස්‍ත්‍රාත්තුමා විසින් බන්ධනාගාර ගත කොට ඇති ප්‍රමාණයෙන් 50% ක් පමණ විශෝධනයට යොමු කල හැකි පිරිස බවද මෙහිදි සාකච්ඡා කෙරිණි. මෙය ඉතා ගැටලුකාරී තත්වයක් ලෙස කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් මහේස්‍රාත්වරු දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.

රාජ්‍ය ආයතන සලකා බැලීමේදී  එකම කාර්ය සඳහා ආයතන කිහිපයක් පැවතීම සහ ඒ ආයතන අතර අන්තර් සම්බන්ධයක් නොමැති වීම ගැටලුවක් ලෙස තරුණ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

ව්‍යාපෘති ඉදිරිපත් කිරිමේදී, හරිත ව්‍යාපෘති, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, හා පානීය ජල බෝතල්කරණය වැනි ව්‍යාපෘති හඳුන්වා දීම මඟින් ආදායම් උත්පාදන ක්‍රියාවලි නිර්මාණය කල හැකි බවටද ඔවුන් විසින් යෝජනා ඉදිරිපත් කරන ලදී.

එසේම රජයේ  උපකාරයක් ඇතිව යම් ආදායමක් උපයන තැනැත්තන් හට එම මුදලින් කොටසක් හෝ නැවත රජයට ගෙවිමේ හැකියාව තිබිය යුතු බවත් එම මුදලින් තවත් එවැනි පිරිස් හට මෙවන් ව්‍යාපෘති කිරීමට ආයෝජනය කිරීම තුල මහජන මුදල් මතම රාජ්‍ය ආයතන යැපිමෙන් ඉවත්ව ඒවායේ පාලනයට අවශ්‍ය මුදල් එම ආයතනයන්ටම සපයා ගනිමේ අවස්ථාව හිමි වන බවත් තරුණ නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.  විශ්ව විද්‍යාල හරහා සිදුවන පර්යේෂණ, ප්‍රතිපත්ති සම්පාදකයින් හා සම්බන්ධ කිරීම වැදගත් බවද ඔවුන් විසින්  අවධාරණය කරන ලදී.

මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ජී.ජී. පොන්නම්බලම්, ගරු රාජීකා වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් එත්ව සිටියහ.

 

1 2



සම්බන්ධිත පුවත්

2026-11-06

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි.තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමංගා මහත්මිය විසින් සකස් කරන ලද තරුණ ව්‍යවසායකත්වය සහ කර්මාන්ත සංවර්ධනය පිළිබඳ යෝජනාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය විසින් සකස් කරන ලද පළාත් පාලන ආයතන තුළ තරුණයන් සවිබලගැන්වීම පිළිබඳ යෝජනාව සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිකා සාමිවේල් මෙනෙවිය විසින් සකස් කරන ලද වතු හා වගා ක්ෂේත්‍රයේ තරුණයන් සඳහා වන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් විය.එමෙන්ම, බාහිර තරුණ සහභාගීත්ව වැඩසටහන සහ නියමු වැඩමුළු මාලාව සම්බන්ධයෙන් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් විසින් සකස් කරන ලද යෝජනා පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙම යෝජනා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඒවා අවසන් වශයෙන් සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.මේ අවස්ථාවට සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-05

භාර (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

පාර්ලිමේන්තුවේ දී අද දින (නොවැ. 05) දෙවැනිවර කියවීමට නියමිත භාර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.උක්ත කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර කාරක සභාව විසින් අනුමතිය ලබා දෙන ලදී.(87 වන අධිකාරය වන) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 2026 ඔක්තෝබර් 21 වැනි දින පළමුවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.මෙම පනත් කෙටුම්පත මඟින් සිදු කිරීමට අපේක්ෂිත සංශෝධන පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාවට කරුණු පැහැදිලි කළහ. මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-04

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනා ගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නියෝජනය කරන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ගණනාවක සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ  සංසදයේ සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වූහ. දිනකට කාන්තාවන් 17 දෙනෙකු පියයුරු පිළිකා‍වෙන් පෙළෙන බවට හඳුනා ගනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වේ. එසේම වසරකට මරණ 1,000 කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර, එය දිනකට ජීවිත තුනක් පමණ අහිමි වීමට සමානය. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වේ. බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගෙන ඇත.සෑම කාන්තාවක්ම තම පියයුරුවල සාමාන්‍ය ස්වභාවය පිළිබඳව හුරුපුරුදු වීමත්, නිතිපතා ස්වයං පරීක්ෂාව සිදු කිරීමත් කළ යුතුවේ. අසාමාන්‍ය වෙනසක් හඳුනාගතහොත් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. කල්තියා හඳුනා ගැනීමෙන් සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව වැඩි වන අතර රජයේ සෞඛ්‍ය ආයතන මඟින් නොමිලේ පරීක්ෂණ සහ අනෙකුත් අතවශ්‍ය සෞඛ්‍ය සේවා සපයනු ලැබේ. එසේම, සෑම කාන්තාවක්ම සුවනාරී සායනයට (Well Woman Clinic) සහභාගී වී, ගැබ්ගෙල පිළිකාව වැළැක්වීම සඳහා පූර්වමය පිළිකාමය වෙනස්කම් කල්තියා හඳුනා ගැනීමට උපකාරී වන නිර්දේශිත පැප් පරීක්ෂාව වයස අවුරුදු 35 දී සහ 45 දී සිදු කර ගැනීමත් කළ යුතු වේ.


2026-11-03

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී

සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයීය කාරක සභා රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වූහ.අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2026 අප්‍රේල් මාසය වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ජාතික කමිටුවක් පත් කරණු ලැබූ බවත් ඒ යටතේ ඇති ප්‍රධාන අනු කමිටු 5 ක් යටතේ මීට අදාළ උපදේශනය සහ දිශානතිය සපයන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු  අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 2026 වසරේදී 1 ශ්‍රේණිය සඳහාත්, 2027 වසරේදී 6 ශ්‍රේණිය සහ 2 ශ්‍රේණිය සඳහාත් නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල හා ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කිරීම සහ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් නැංවීමේ සැලැස්ම ද ක්‍රියාත්මක වෙමින් පවතී.මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පදනම, ජාතික විෂයමාලා රාමුව, ඇගයීම් ක්‍රමවේද සහ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව දීර්ඝ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.2019 වසරේදී මෙම ක්‍රියාවලිය ආරම්භ වූ බවත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2023 වසරේ අනුමත කරගන්නා ලද නව ප්‍රතිපත්තියට අනුව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ජාතික විෂයමාලා රාමුව පිළියෙල කළ බවත් මෙය ආයතන ගණනාවක සාමූහික ප්‍රයත්නයක් බවත් ඒ මහතා සඳහන් කළේය. ලෝකයේ දියුණුම රටක ක්‍රියාත්මක වන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අනුව අප රටට හඳුන්වා දෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.පොදු අධ්‍යාපනයේ මූලික අරමුණ හුදෙක් වෙළඳපොළට අවශ්‍ය අනාගත ශ්‍රමිකයන් නිෂ්පාදනය කිරීම පමණක් නොවන බවත්, ආචාර ධර්ම, ගුණධර්ම සහ වටිනාකම්වලින් පිරි සාකල්‍යවාදී (holistic) පරිපූර්ණ පුරවැසියන් සහ ජාතිය ගොඩනඟන අනාගත පරපුරක් බිහි කිරීම බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.දැනට පවතින විෂය අන්තර්ගතය (content-based) මත පදනම් වූ ක්‍රමය වෙනුවට ඉගෙනුම් ඵල පාදක (outcome-based) සහ ශිෂ්‍ය කේන්ද්‍රීය (student-centered) අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ. කටපාඩම් කර විභාග ලිවීමේ පීඩනය සහ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන බර අඩු කරමින්, සම්භාර (credit) පාදක මොඩියුල ක්‍රමයක් සහ වසර පුරා සිදුවන අඛණ්ඩ ඇගයීම් (Continuous Assessments) මඟින් සිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීමට නව ඇගයීම් රාමුවක් සකස් කර ඇති බවත් ඒ මහතා පැවසීය. 6 ශ්‍රේණියේ සිටම වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදීමටත්, 12 සහ 13 ශ්‍රේණිවල දී NVQ Level 4 දක්වා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට හෝ උසස් අධ්‍යාපනය වෙත යොමු වීමටත් හැකි වන පරිදි නම්‍යශීලී විකල්ප අධ්‍යාපන මාර්ග (Vocational Pathways) සකසා තිබේ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා "RIES" වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර, අදියර කිහිපයක් යටතේ දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ දරුවන් හුදෙක් අනාගත ශ්‍රමිකයන් බවට පත්කිරීම පමණක් නොව, ඔවුන් පරිපූර්ණ මිනිසුන් සහ වගකීම්සහගත ජාතිය ගොඩනඟන්නන් ලෙස නිර්මාණය කිරීම බව මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී පැනනඟින ගැටලු පිළිබඳව පුද්ගලික මනෝභාවයන් හෝ අදහස් මත පමණක් පදනම් නොවී, විද්‍යාත්මක පර්යේෂණාත්මක සාක්ෂි (evidence) නිරීක්ෂණය කර තීරණ ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නාය. සාකච්ඡාවට එක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු විමසමින් සිය අදහස් යෝජනා ඉදිරිපත් කළහ.‍මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි. ගරු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks