පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-05-17
මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු සහ ඊට අදාළ විසදුම් විමර්ශනය සදහා මෙරට වෘත්තීය පුහුණුව අදාළ සියලු ආයතනවල සහභාගීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ විශේෂ ඒකාබද්ධ රැස්වීමක් ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (මැයි 16) පැවැත්විණි.
කෝප් සභාපතිවරයා, අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග පැවති සාකච්ඡාවක් සහ කෝප් කමිටු නිර්දේශ අනුව මෙම ආයතන සියල්ල කැඳවා තිබිණි.
මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, වෘත්තීය අධ්‍යාපන ආයතන නියාමනය කිරීමේ වගකීම සහිත තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) , වෘත්තීය පුහුණු අධිකාරිය(VTA), ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය, සාගර විශ්ව විද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය (UNIVOTEC), කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ජාතික ආධුනිකත්ව සහ වෘත්තීය පුහුණු කිරීම් අධිකාරිය (NAITA) යන ආයතන මෙම කමිටුට කැඳවා තිබිණි.
රාජ්‍ය අමාත්‍ය, රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති ගරු ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ධම්මික පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය රංජිත් දිසානායක, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා යන මහත්වරුද කමිටු සභාපතිවරයාගේ ආරාධනයට අනුව මෙම රැස්වීමට සහභාගි වූහ.
මෙහිදී පහත සදහන් ක්ෂේත්‍ර පිළිබද අවධානය යොමු විය.
සියලු වෘත්තීය පුහුණු ආයතන සම්බන්ධීකරණයෙන් පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමට ලේකම්වරයාට බලය
සියලු වෘත්තීය පුහුණු ආයතන සම්බන්ධීකරණය කිරීමේ වැදගත් කම පෙන්වා දුන් සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සියලු ආයතන ප්‍රධානීන් එක තැනකට කැඳවා ආයතනවල විෂය පථය එක දිශානතියකට හසුරවමින් පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය. එසේම මාස දෙකකින් මෙහි ප්‍රගතිය පිළිබද පරීක්ෂා කරන බවද කෝප් සභාපතිවරයා පැවසීය.
මෙරට වෘත්තීය අධ්‍යාපනයට අදාළව පවතින ප්‍රධාන ආයතන 8 ක් පවතින බවත් මෙම ආයතනවල කාර්යභාරය සහ අරමුණු ඒකකාරී වීම ගැටලුවක් බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. එකම පාධමාලාව විවිධ කාලසීමාවන් හා NVQ මට්ටම් යටතේ විවිධ ආයතනවල ඉගැන්වීම සිදුවන බැවින් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කරන ලදී.
තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබදව නිසි ඇගයීමක් සිදු කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්
මෙරට වෘත්තීය පුහුණුව සහ එම ආයතන නියාමනය සදහා ස්ථාපිත තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්ය භාරය නිසි පරිදි සිදු නොවන බවට මෙහිදී කමිටුව විසින් පෙන්වා දෙන ලදී. කොමිෂන් සභාවේ අධීක්ෂණ ක්රීයාවලිය ශක්තිමත් කළ යුතු බව කමිටු සභාපතිවරයා අවධාරණය කර සිටියේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ආයතනයේ කාර්ය සාධනය පිළිබද විශේෂ ඇගයීමක් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
ඉතා දැඩි ලෙස වෘත්තීය පුහුණුවට අදාළ ක්‍රියාවලිය අධීක්ෂණය කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය නෛතික පදනම සකස් කරගන්නා ලෙසත් තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.
ආයතන පද්ධතිය සතුව කිසිදු පිළිගත හැකි දත්ත පද්ධතියක් නොමැතිවීම
ආයතන පද්ධතිය සතුව කිසිදු පිළිගත හැකි දත්ත පද්ධතියක් නැතිවීම ප්‍රධාන ගැටලුවක් ලෙස මෙහිදී හදුනා ගැනිණි. ප්‍රධාන ආයතන 8 ට අදාළව දිවයින පුරා පවතින ශාඛා ජාලය හරහා ක්‍රියාත්මක පාඨමාලා, ඒවාට ඇතුළත් වන හා සාර්ථකව පුහුනුව අවසන් කරන ප්‍රමාණයන්, රැකියාවල නිරත සංඛ්‍යාව යනාදි වශයෙන් විධිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
රැකියා වෙළඳපොළ අනුව විද්‍යානුකූල පදනමක් යටතේ පාඨමාලා සංඛ්‍යාව අඩුකර සකස් කිරීම
රැකියා වෙළදපොළ සහ ඒ අනුව පවතින ඉල්ලුම අනුව සකස් කළ යුතු පාඨමාලා පිළිබද වෙළදපොළ සමීක්ෂණයක් සිදු කරන ලෙස කමිටුව තෘතීය සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.
ඉන්දියාවේ වෘත්තීය පුහුණු පාඨමාලා 256 ක් ක්‍රියාත්මක වුවද මෙරට එම සංඛාව විශාල අගයක් බවද අනාවරණය විය. ඒ අනුව විද්‍යාත්මක පදනමක් යටතේ අනවශ්‍ය කාලීන වැදගත්කමකින් අඩු පාඨමාලා ඉවත් කරන ලෙසද උපදෙස් ලබා දෙන ලදී.
ආයතන අතර සම්පත් බෙදා ගැනීමේ නිසි වැඩපිළිවෙලක් නොමැති වීම
මෙම සෑම ආයතනයක ශාඛා ජාලයක් දිවයින පුරා පවතින බවත් මෙම ආයතන අතර සම්පත් බෙදා ගැනීමේ නිසි වැඩපිළිවෙලක් නොමැති වීම දක්නට ලැබෙන බවත් කමිටුවේදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් සොයා බලා සම්පත් පොදුවේ භාවිතා කළ හැකි ආකාරය පිළිබවදව වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද එහි ප්‍රගතිය මාස දෙකක් තුළ පරීක්ෂා කරන බවද කෝප් සභාපතිවරයා පැවසීය.
විදෙස් රටවල මීට සමාන ආයතන සමග එක්ව කටයුතු කිරීමට පසුගිය කාලය තුළ හැකියාව ලැබී නැති බැවින් ඒ සදහා කටයුතු කරන ලෙසත් මෙහිදී කමිටුව දන්වා සිටියේය.
පාඨමාලාවන්ට අදාළව වීඩියෝ අන්තර්ගතයන් නිර්මාණය කිරීම
වෘත්තීය පුහුණු පාඨමාලාවන්ට අදාළව වීඩියෝ අන්තර්ගතයන් නිෂ්පාදනය කොට අන්තර්ජාලය තුළින් බෙදා හැරීමට කටයුතු කිරීම, පාඨමාලාවල ගුණාත්මක බව සහ සමජාතීය බව රැක ගැනීමට අතිශය වැදගත් බව මෙහිදී සාකච්ඡා විය. එසේම පුහුණුකරුවන්ගේ හිගය ඇතුළු ගැටලු සදහාද මෙය විසදුමක් බව කමිටුව පෙන්වා දුන්නේය. මෙම වීඩියෝ නිර්මාණය සදහා අවශ්‍ය අනුග්‍රහය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා මෙහිදී සහතික විය. ඒ අනුව ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දීම සිදුවිය. මෙම කටයුතු කඩිනමින් අවසන් කිරීමටත් කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී සහතික විය.
අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය සදහා අනුකමිටුවක්
වෘත්තීය පුහුණුව සදහා අවශ්‍ය විෂය ක්ෂේතුයන් ලෙස විදෙස් භාෂාවන්, සංචාරක කර්මාන්තය, කෘෂිකාර්මාන්තය ඇතුළු විෂයන් ඇතුළත් කිරීම සහ අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු සදහා අනුකමිටුවක් පත් කිරීම මෙහිදී සිදුවිය.
මෙරට වෘත්තීය පුහුණුව නිසි මාවතට යොමු කිරීමේ මෙම ක්‍රියාවලිය ජාතික කාර්යභාර්යක් බැවින් ඒ සදහා සියලු දෙනාගේම කැපවීම අපේක්ෂා කරන බවද කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.
කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන රාජ්‍ය අමාත්‍ය ගරු ජගත් පුෂ්පකුමාර, ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු දයාසිරි ජයසේකර, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු චමින්ද විජේසිරි, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය, ගරු එම් රාමේෂ්වරන් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-11-16
පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලි මංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා විය. අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ සැටලයිට් කොලර් තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට ලක් විය.මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, උපුල් කිත්සිරි, නීතීඥ එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-11-14
ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.දැනට පවතින ගුවන් යානා 23 කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානා වර්ෂ 12 ක් පමණ පැරණි වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂ සහ ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත හෝ ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය විය.ගුවන් යානා ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ ආශ්රිත දීර්ඝ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිට්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සාකච්ඡා විය. 2029 වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29 ක් දක්වා ඉහළ නැංවීම, පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් බවද නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ ගුවන් සේවයේ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි බලපාන බව මෙහිදී සාකච්ඡා විය.තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මඟින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් හෝ පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බව ද සඳහන් විය.ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන හෝ ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර ජයමහ, රවීන්ද්‍ර බණ්ඩාර, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, ධනුෂ්ක රංගනාත්, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතීඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-11-14
ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ ඒවා ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-11-13
විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



