2023-05-03
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ගරු රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.04.28 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව), මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සහ උසස් අධ්‍යාපනයට අදාළ ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබිණි.
මෙහිදී කෝප් කමිටුව විසින් අවධානයට යොමු කළ මූලික කරුණු 10 ක් ඔස්සේ සාකච්ඡාව සිදුවිය.
1. මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේක පිළිපැදීම සම්බන්ධ ගැටලු
2. Z ලකුණු ක්‍රමවේදයට පරිභාහිරව ඇතැම් විෂයන් සඳහා යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම හරහා ඉහළ z අගයක් සහිත ඇතැම් සිසුන්ට අසාධාරණයක් සිදුවීම
3. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ගෙවීම් සදහා පැමිණීම තහවුරු කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම
4. නිසි නියාමනයක් නොමැතිවීම හේතුවෙන් අනීතිකව ආචාර්ය, මහාචාර්ය තනතුරු භාවිතා කිරීම
5. පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මගින් ප්‍රදානය කරනු ලබන උපාධි සම්බන්ධව නියාමනය
6. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නැංවීම සහ රැකියා වෙළදපොලට ගැළපෙන පරිදි පාඨමාලා සැකසීමේ අවශ්‍යතාව
7. විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල (UPF) අවභාවිතාවට ලක්වන බැවින් එය පාලනයකට නතුකිරීමේ අවශ්‍යතාව
8. විශ්වවිද්‍යාල පද්ධතියේ මානව සම්පත් කළමනාකරණය සදහා පූර්ව අවබෝධයකින් යුතුව කටයුතු කිරීම
9. විදේශීය ශිෂ්‍යයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව
10. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමෙන් බැහැරව ඇති අවස්ථාවක එම කාර්ය නැවත ආරම්භ කිරීමට සාධනීය මැදිහත්වීමක් සිදු කිරීම
මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව වැඩිකිරීම සහ රැකියා වෙළදපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමුවිය. 2021 වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිවන පිරිසෙන් 26%ක් කලා මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරු පිරිසක් බවත් විද්‍යා විෂයයන් සදහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන පිරිස සාපේක්ෂව අඩු අගයක් බවත් මෙහිදී හෙළිවිය. නමුත් ලොව දියුණු රටවල විද්‍යා හා තාක්ෂණික විෂයයන්ගෙන් සරසවි වරම් ලබන පිරිස වැඩි බව පෙන්වා දුන් කාරක සභාව අවධාරණය කළේ මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා පියවර ගතයුතු බවයි.
මෙරට උසස්පෙළ සහිත පාසැල් සංඛ්‍යාව 2952 ක් බවත් ඉන් විද්‍යා විෂයයන් හැදෑරීමට අවස්ථාව ඇත්තේ පාසැල් 1011 ක පමණක් බවත් ඒ අනුව පාසැල් 1941 ක විද්‍යා විෂයන් ඉගැන්වීම සිදු නොවන බවත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. එනම් උසස්පෙළ සහිත පාසැල්වලින් 65.75% ප්‍රමාණයක විද්‍යා විෂයන් නොමැතිවීම ගැටලුවක් බවත් මෙහිදී සාකච්ඡා විය. STEM අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මේ සදහා විසදුම් සෙවීම ආරම්භ කොට ඇති බවත් මෙම ගැටලුව විසදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය. මේ සදහා කඩිනමින් මැදිහත්වී උසස් අධ්‍යාපනයේදී විද්‍යා හා තාක්ෂණික අංශය සදහා වැඩි සිසුන් ප්‍රමාණයක් යැවිමට අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
නවීණ තොරතුරු තාක්ෂණික ක්‍රමවේද හදුන්වා දීම නිසා ප්‍රමාදයකින් තොරව විශ්වවිද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම ඇතුළු කොමිෂන් සභාවේ වැඩපිළිවෙල අගය කෝප් කමිටුව පවසා සිටියේ තවදුරටත් මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර මට්ටමට වැඩිදියුණු කළ යුතු බවයි. විශේෂයෙන් ජාත්‍යන්තර සිසුන් මෙරට විශ්වවිද්‍යාලවලට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ද උපදෙස් ලබා දෙන ලදී.
වසරකට රු 90,000ක මුදලට විවෘත විශ්වවිද්‍යාලය මගින් මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාවක් ආරම්භකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. සාමාන්‍යයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක රු. මිලියන 2-3ක් පමණ වටිනාකමක් සහිත මෙම උපාධිය රු. ලක්ෂ 3කට වඩා අඩු මුදලකට හැදෑරිය හැකි බවත් කොමිෂන් සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කමිටු සාමාජිකයෝ කොමිෂන් සභාවට මෙහිදී උපදෙස් දුන්හ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතල ඉවත්කිරීම කිරීම වෙනුවට වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් පෙන්වා දෙන ලදී. උසස් අධ්‍යාපන ආයතනවල තත්ත්ව නිශ්චය (Quality Assurance) සදහා නව පනතක් මඟින් වෙනම ආයතනයක් පිහිටුවීම සම්බන්ධ යෝජනාව පිළිබවද අවධානය යොමුවිය. කමිටුව පෙන්වා දුන්නේ ඒ සදහා බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටම හිමිවීම වඩා යෝග්‍ය බවයි. කොමිෂන් සභාවට මේ සදහා බලතල හිමියුත්තේ ඇයිද යන්න සවිස්තරාත්මකව කමිටුවට මාසයක් ඇතුළත දැනුම් දෙන ලෙස කමිටුව විසින් නිර්දේශ කරන ලදී. එසේම ඒ පිළිබදව මැදිහත්වීමට කෝප් කමිටුව සූදානම් බවද කෝප් සභාපතිවරයා පැවසීය.
උසස් අධ්‍යාපනය සදහා විදේශගව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් රු. බිලියන 2කට ආසන්න මුදලක් අයවිය යුතු බවත් මෙහිදී අනාවරණය විය. අදාළ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අයකර ගැනීමට කටයුතු කළයුතු බව කමිටු සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙසේ විදෙස්ගත වූ ආචාර්යවරු 617 ක පිරිසකගෙන් 84 ක් පමණක් මේවන විට අදාල ගෙවීම් සිදුකළ බව මෙහිදී හෙළිවිය. ඒ අනුව මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව මසක් තුළ කොප් කමිටුව දැනුවත් කරන ලෙස කමිටුව විසින් නිර්දේශ කරන ලදී.
විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඇතැම් විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබදව අවධානය යොමු කළ කමිටුව පෙන්වා දුන්නේ මේ හරහා ඉහළ Z අගයක් ලබා ගත් සිසුන්ට අසාධාරණයක් සිදුවීමේ හැකියාවක් පවතින බවයි. එම විෂයයන් සදහා උසස්පෙළ විභාගයේදීද ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා Z අගය ලබා දෙන බැවින් තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණයක් අනවශ්‍ය බව අවධාරණය කෙරිණි. ඒ අනුව කෝප් කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේ මේ සම්බන්ධයෙන් තීරණයක් වහාම ගන්නා ලෙසයි.
විගණකාධිපතිවරයා විසින් දිගින් දිගටම පෙන්වා දී තිබූ පරිදි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගෙවීම් සහතික කිරීම සදහා පැමිණීම තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ද කාරක සභාව විසින් කොමිෂන් සභාවට නිර්දේශ කරන ලදී.
ඇතැම් පුද්ගලයන් විසින් විවිධ ආයතනවලින් අනීතික ලෙස ලබා දෙන ආචාර්ය, මහාචාර්ය තනතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් කමිටුවේ විශේෂ අවධානය යොමුවිය. කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ මේ සදහා ක්‍රියාමාර්ග ගැනීමට කොමිෂන් සභාවට නෛතික ප්‍රතිපාදන නොමැති බවයි. මේ හරහා ආචාර්ය මහාචාර්ය තනතුරු පවා තනතුරු පවා හෑල්ලුවට ලක්වන බැවින් කොමිෂන් සභාව මේ සදහා මැදිහත් විය යුතු බව කමිටුව විසින් අවධාරණය කරන ලදී. මේ අනුව මාසයක් තුළ මේ සදහා සිදුකළ යුතු නෛතික වෙනස්කම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දීම සිදුවිය.
මෙකී සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය සදහා නැවත මාස දෙකකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවීමට ද මෙහිදී තීරණය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු දයාසිරි ජයසේකර, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය හා ගරු මධුර විතානගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-09-08
විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු මේ බව සඳහන් කළහ.“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි. මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ. මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය CII (Coalition for Inclusive Impact) ආයතනය විසින් ලබා දෙන ලදී.
2026-09-07
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලද ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පසුගියදා කරුණු විමසන ලදී. එම කාරක සභාව ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු විමසීම සිදු විය. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි/පොලිස් අධිකාරිවරුන් පිරිසක් මෙම කාරක සභාවට කැඳවා තිබිණි. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද කාරක සභාව විසින් කැඳවන ලදී. දිට්වා සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී ඊට අදාළව ගන්නා ලද පියවර පිළිබඳව ජන මාධ්‍යයට දැක් වූ අදහස් සම්බන්ධයෙන් සවිස්තර කරුණු දැන ගැනීම පිණිස මෙසේ කාරක සභාවට හිටපු මන්ත්‍රීවරයා කැඳවා තිබිණි.කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
2026-09-07
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 13 වැනි රැස්වීම එම සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.2026 ජූලි සිට 2027 ජූනි දක්වා කාලසීමාව සඳහා සකස් කළ සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (International Foundation for Electoral Systems – IFES) තාක්ෂණික සහයෝගය ඇතිව සකස් කර ඇති මෙම ක්‍රියාකාරී සැලැස්ම ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සකස් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සම්බන්ධීකරණය සහ අධීක්ෂණය, අයවැය වෙනුවෙන් පෙනී සිටීම සහ වගවීම, නෛතික හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ප්‍රවේශවිය හැකි හා අන්තර්කරණය වූ රාජ්‍ය සේවා යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරිණි.IFES ශ්‍රී ලංකා නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රක උබේසේකර මහතා, ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මහත්මිය සහ ආබාධිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සාමාජික ටිකිරි කුමාර ජයවර්ධන මහතා විසින් සංසදය හමුවේ මෙතෙක් සිදු කර ඇති කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් හා අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමේ සැලසුම්කරණයට ඇතුළත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. කිලිනොච්චිය, මුලතිව්, කළුතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පවත්වා ඇති දිස්ත්‍රික් උපදේශන වැඩසටහන්වල අත්දැකීම් මත ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේද මෙවැනි වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව සඳහන් විය.එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක ප්‍රවේශ විගණන කමිටු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ආබාධ සහිත ප්‍රජාවගේ සක්‍රීය සහභාගිත්වය ලබා ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ගොඩනැගිලි සහ නගර සැලසුම් කිරීමේ ආරම්භක අවස්ථාවේ සිටම ප්‍රවේශතා පහසුකම් ඇතුළත් කිරීම මඟින් පසුව සිදු කිරීමට සිදු වන අධික වියදම් සහිත වෙනස්කම් අවම කරගත හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.2027 ජාතික අයවැය සඳහා ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන 60කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සකස් කළ ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යෝජනා 234කින් සමන්විත වාර්තාවක් දැනටමත් ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කර ඇති බවද මෙහිදී සඳහන් විය. එම යෝජනා ක්‍රියාත්මක වන ආකාරය සහ ඒ මඟින් ආබාධ සහිත තැනැත්තන්ට සැබෑ ප්‍රතිලාභ ලැබෙන්නේද යන්න සමීපව නිරීක්ෂණය කිරීමට ද සංසදය තීරණය කළේය.ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සහ ප්‍රවේශ පහසුකම් සැලසීම සඳහා පවතින නෛතික හා ප්‍රතිපත්තිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. දැනට සකස් කරමින් පවතින “ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත” සහ “සංඥා භාෂා පනත් කෙටුම්පත” පිළිබඳ ප්‍රගතිය විමසීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය විය.එමෙන්ම ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන සහ ප්‍රමිතීන් ජාත්‍යන්තර යහ පිළිවෙත්වලට අනුකූලව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පෞද්ගලික අංශයේ ආයතන සඳහා ප්‍රවේශතා සම්බන්ධ මාර්ගෝපදේශ හඳුන්වා දී, ඒවා ක්‍රමයෙන් නෛතික රාමුවකට ඇතුළත් කිරීම මෙන්ම තෝරාගත් පෞද්ගලික ආයතන කිහිපයක් සමඟ ආදර්ශ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාද ඉදිරිපත් විය.රාජ්‍ය සේවා වඩාත් ප්‍රවේශවිය හැකි හා අන්තර්කරණය වූ සේවා බවට පත් කිරීම සම්බන්ධයෙන්ද රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු විය. කම්කරු අමාත්‍යාංශයේ “මෙහෙවර පියස” ගොඩනැගිල්ල සහ සෙත්සිරිපාය I සහ II අදියර ගොඩනැගිලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රවේශ විගණනවල ප්‍රතිඵල පිළිබඳවද සාකච්ඡා කෙරිණි. සෙත්සිරිපාය III අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භයේ සිටම ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශවිය හැකි ආකාරයට සැලසුම් කිරීමට කටයුතු කර ඇති බවද මෙහිදී සඳහන් විය.මීට අමතරව, පහත් තට්ටුව සහිත බස් රථ සේවා, ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශවිය හැකි සංචාරක කර්මාන්තය සහ “මිතුරු නගර” වැඩසටහන වැනි වැඩසටහන් රාජ්‍ය සේවාවන්හි ප්‍රවේශතාව වැඩිදියුණු කිරීම සඳහා ආදර්ශ ලෙස හඳුනාගෙන ඇති අතර, සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ප්‍රවේශතා බාධක ඉවත් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.රැස්වීම අවසානයේ අදහස් දැක්වූ සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ආබාධ සහිත ප්‍රජාවට බියෙන් හා සැකයෙන් තොරව නිදහස්, ස්වාධීන සහ ගෞරවාන්විත සමාජ ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සංසදයේ ප්‍රධාන අරමුණක් බවයි.ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔවුන්ගේ හඬට ප්‍රමුඛත්වය ලබාදීම සහ සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මෙම කාර්යභාරය අඛණ්ඩව ඉටු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම කටයුතු සඳහා දායක වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, IFES ආයතනයට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ටද ඒ මහතා සිය ස්තූතිය පළ කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) නිහාල් අබේසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-04
ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, කාර්යක්ෂම මානව සම්පත් රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම පිළිබඳව දැනුම් දී තිබූ බැවින්, ස්ථාවර නියෝග ප්‍රකාරව එම අවස්ථාවේදී තාවකාලික සභාපතිවරයා ලෙස පත් කර ගත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.එමෙන්ම, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා ද සහභාගී විය.ජාතික විගණන කාර්යාලයේ විගණන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.විගණන ක්‍රියාවලිය තාක්ෂණිකව පරිවර්තනය කිරීම මඟින් විගණන කටයුතුවල කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වඩාත් පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමටත් හැකි වනු ඇති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, විගණන සේවයට බඳවා ගනු ලබන දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් ඇති වන මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගෙන ඒවා නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා වූ අතර, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ වගකීම අවධාරණය කෙරිණි.සමෘද්ධි බැංකු විගණනයේදී පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒවා වඩාත් කාර්යක්ෂමව විගණනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අතර, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවිය යුතු මාසික වැටුප් හා දීමනා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.ජාතික කාන්තා කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එහි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙන්ම, කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි විභාග කිරීම හා විමර්ශනය කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව සතු වගකීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.කොමිෂන් සභාව පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ පරිපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පනතට අනුව අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ කාලීනව සිටිය යුතු බැවින්, එම සාමාජිකයින් සඳහා දීමනා ප්‍රමාණවත් නොවන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දුන් අතර පූර්ණ කාලීන සාමාජිකයින්ට අමතර දීමනා ලබා දීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව ද කාරක සභාව විසින් මෙහිදී මුදල් අමාත්‍යාංශය ට දැනුම් දෙන ලදී.