පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-01-26
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ඉහත කරුණු 4ක් පිළිබඳ සාකච්ඡා කිරීමට 2023.01.19 පැවති කමිටුවේ දිගුවක් ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පාර්ලිමේනුත මන්ත්‍රී (මහාචාර්ය) ගරු රංජිත් බණ්චාර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (ජන. 25) රැස් විය. එහිදි පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමුවිය.
01. නිෂ්පාදන පිරිවැය සාධාරණ ලෙස ඇස්තමේන්තු ගත කොට වෙළෙඳපොළ තුළ බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳ අවධානය
පෙර පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබාදුන් නියෝගයට අනුව ඊයේ දින වෙළඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් බිත්තරයක නිෂ්පාදනය සඳහා යන පිරිවැය සැලකිල්ට ගෙන බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලදි.
මේ අනුව මෙම ඉදිරිපත් කරන ලද මිල සූත්‍රය සහ අනෙකුත් කරුණු පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභා සභාපති (මහාචාර්ය) ගරු රංජිත් බණ්ඩාර මහතා මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි විවිධ ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මිල සූත්‍රය නැවත සලකා බලන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
මෙහිදී කාරක සභා රැස්වීමේදී සාකච්ඡා වූ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මිල සූත්‍රයේ අවශ්‍ය සංශෝධන පිළිබඳ නැවත සලකා බැලීමට පායවර ගන්නා බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.
02. දේශීය කුකුළු නිෂ්පාදන ආශ්‍රිත බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වෙයි.
මෙහිදී කෝප් කමිටුවේ අදහස වූයේ කුකුළු නිෂ්පාදන ආශ්‍රිත බිත්තර කර්මාන්තය සුරක්ෂිත කළ යුතු බවයි. ඒ අනුව රුපියල් 51 මිලකට මාස 1 ½ බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිනම් ඉදිරයේදී බිත්තර මිල අඩු කළ හැකි බව බිත්තර නිෂ්පාදන කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව විසින් කෝප් කමිටුව හමුවේ සඳහන් කළ බව මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.
මේ අනුව දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන අතරම, පාරිභෝගිකයාගේ දෘෂ්ටිකෝණයෙන්ද මේ දෙස බලා සියලු පාර්ශ්ව වෙත සාධාරණයක් වන ආකාරයෙන් කටයුතු කළ යුතු බව කමිටුවේ අදහස විය.
03. වෙළඳපොලේ පවතින බිත්තර හිඟය පාලනය කිරීම පිළිබඳ අවධානය.
දිනකට බිත්තර මිලියන 3ක පමණ තාවකාලික හිඟයක් පවතින බව කෝප් කමිටුවේදී අනාවරණය වූ අතර මේ සඳහා කඩිනම් පිළියමක් මේ වන විට නොමැති බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය. එබැවින් පාරිභෝගික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සීමිත බිත්තර ප්‍රමාණයක් වෙළඳපොළ සඳහා ආනයනය කිරීමට එකඟ වී ඇති බව ද පැමිණ සිටි නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.
04. පාරිභෝගිකයාට සාධාරණ මිලකට බිත්තර ලබාදීම කෙරෙහි අවධානය
මේ පිළිබඳ ඉදිරිපත් කර ඇති සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට සාධාරණයක් වන ආකාරයෙන් බිත්තර මිල සම්බන්ධ ගැටලුවට විසඳුම් සෙවීමට සියලු පාර්ශ්ව උත්සාහයන් දැරිය යුතු බව කෝප් කමිටුවේ අදහස විය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙසත්, මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් සෙවීමට සියලු පාර්ශ්ව සාමූහිකව කටයුතු කරන ලෙසත් කෝප් කමිටුවේ සභාපති (මහාචාර්ය) ගරු රංජිත් බණ්ඩාර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු පාඨලී චම්පික රණවක, ගරු නිමල් ලන්සා, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු (නීතිඥ) ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු (නීතිඥ) මධුර විතෘනගේ සහ ගරු (මහචාර්ය) චරිත හේරත් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එසේම වෙළද, වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ අනෙකුත් අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


