E   |     |  

2023-01-20

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පාරිභෝගික අධිකාරිය සිය වගකීම පැහැරහැර ඇති බවට 'කෝප්' කමිටුවෙන් චෝදනා

•    ලබන බදාදා අමාත්‍යාංශ ලේකම්වරයාට නැවත කැදවීමක්

•    පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිර්දේශ කරන ලෙස යෝජනාවක්

•    භාණ්ඩ මිල පාලනය කිරීමට සම්ප්‍රදායික ක්‍රමෝපයාන්ගෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක්

•    බිත්තර මිල තීරණය කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයට යෝජනා
 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සදහා ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන්  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) 2023.01.19 වන දින රැස්විය. එහිදි පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමුවිය.
 
1 – පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වගකීම පිළිබඳව මෙහිදී කමිටුව ප්‍රශ්න කරන ලදී. පාරිභෝගියන් බලගැන්වීම, වෙළදාම විධිමත් කිරීම සහ යහපත් ප්‍රවර්ධන තුළින් ‍පාර්භෝගික අයිතිවාසිකම් සුරැකීම කමිටුවේ ප්‍රධාන වගකීම් වුවද එම දැක්මට අනුව අධිකාරිය කටයුතු නොකරන බව කමිටුවේ අදහස විය. ඒ අනුව වෙළද, වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට කමිටුව නිර්දේශ කළේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට කටයුතු හැක්කේ කෙසේදැයි සති දෙකක් තුළ කෝප් කමිටුවට වාර්තා කරන ලෙසයි.
 
2 – භාණ්ඩ මිල පාලනය කිරීමට සම්ප්‍රදායික ක්‍රමෝපායන්ගෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක්

භාණ්ඩ මිල පාලනය කිරීමට සම්ප්‍රදායික මිල පාලනයෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසද අධිකාරියට දන්වන ලදී. විශේෂයෙන් වත්මන් බිත්තර මිල පාලනය පිළිබද කමිටුවේ අවධානය යොමුවිය. මේ අනුව  වෙළද සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල ලේකම්වරු දෙදෙනා අදාළ නිලධාරීන් සම්බන්ධීකරණ‍ය කරගනිමින් දින පහක් ඇතුළත බිත්තරයක මිල තීරණය කිරීම සදහා මිල සූත්‍රයක් සැකසීම සහ ඒ අනුව බිත්තරයක් සදහා අදාළ පිරිවැය ගණනය කරන ලෙසත් උපදෙස් ලබා දීම සිදුවිය. ඒ පිළිබදව විමසීමට අමාත්‍යාංශ ලේකම්වරුන් ලබන බදාදා නැවත කැඳවීම ද තීරණය කෙරිණි.

3 - බිත්තර මිල තීරණය කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයට යෝජනා

ජනතාවට සහනදායි මිලට බිත්තර ලබා දීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණයට පවතින බාධා නිරාකරණය කරගැනීම සදහා එහිදී විසදුම් ඉදිරිපත් කරන ලෙස ද  මෙහිදී කාරක සභාව  විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වන ලදී.
 
බිත්තර ආනයනය වැළැක්වීම මගින් මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් අතලොස්සක් වෙනුවෙන් මෙරට සමස්ත මහජනතාවට අසාධාරණයක් සිදුවීමට ඉඩදිය නොහැකි බවත්මේ අනුව සියලු ආයතන සම්බන්ධීකරණයෙන් බිත්තර සදහා අවම  මිලක් තීරණය කිරීම හෝ බිත්තර ආනයනය සදහා පියවර ගත යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
 
බිත්තර සදහා පාලන මිලක් පවත්වාගනිමින් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා මෙන්ම බිත්තර ආනයනය ඇතුළු කටයුතුවලදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ අදාළ අනෙකුත් ආයතන මනා සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
 
4 – පාරිභෝගික අධිකාරියට කඩිනමින් ස්ථීර අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්

පාරිභෝගික සේවා අධිකාරියට ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස ද  උපදෙස් ලබා දීම සිදුවිය. දැනට වසර ගණනාවක් සිට පත්කර ඇත්තේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු බවද මෙහිදී අනාවරණය විය. හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දෙසැම්බර් මස විශ්‍රාම යාමෙන් පසු මෙම තනතුර පුරප්පාඩුව පවතින බවත් කමිටුවේදී හෙළිවිය. අධ්‍යක්ෂ ජනරාල්වරයකු නොමැතිවීම තුළ පනතේ  ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවද විගණකාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. කෝප් සභාපතිවරයා මේ අනුව උපදෙස් දුන්නේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට ආයතනයේ ප්‍රධානතම තනතුරක් වන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට බදවා ගැනීම සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
 
එසේම සති දෙකක් තුළ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
 
5 – අධිකාරියේ පනත යාවත්කාලීන කිරීම පිළිබඳ පිළිබද ගෙන ඇති ක්‍රියාමාර්ග සතියක් තුළ දන්වන්න

2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරි පනත යාවත්කාලීන කිරීම පමාවී ඇති බැවින් ඒ සදහා සැලසුම් කරන ක්‍රමවේදය සතියක් ඇතුළත කෝප් කමිටුවට වාර්තා කරන ලෙසත් සහ ඒ සදහා අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත්කොට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දුන්නේය. මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පනත සංශෝධනය කිරීමේ ප්‍රගතිය පිළිබදව කමිටුවට දන්වා සිටියේය. මෙම පනත සංශෝධන කිරීම  වසර 17 ක් පමණ පමා වී ඇති බැවින් එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී.

6 – උපාධිධාරීන් වඩාත් ඵලදායි ලෙස යොදවා ගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක්

අධිකාරියේ දැනට විවිධ වගකීම් දරණ උපාධිධාරීන් 400 කට ආසන්න ප්‍රමාණයක කාර්ය සාධනය සහ ඵලදායිතා මට්ටම් ඉහළ නැංවීම සදහා වන වැඩපිළිවෙලක් අදාළ පරිසාධන මට්ටම් දර්ශක සහිතව (KPIs) මාසයක් තුළ කෝප් කමිටුවට යෝජනා කරන ලෙසත් කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. එසේම පාරිභෝගික පැමිණිලි සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම හා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය. ඒ අනුව මෙම උපාධිධාරිහු පිරිස වඩාත් ඵලදායි ලෙස යොදවා ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි.
 
7 – මාස තුනක් තුළ අපේක්ෂිත සංශෝධිත පනතට අනුකූලව සංයුක්ත සැලැස්මක්

අධිකාරිය සදහා මේවන තෙක් සංයුක්ත සැලැස්මක් නොමැති බැවින් ශක්‍යතාවයෙන් යුතු සංයුක්ත සැලැස්මක්, සංශෝධිත පනතට අනුකූලව මාස තුනක් තුළ සකස් කොට කමිටුවට වාර්තා කරන ලෙසත් කෝප් සභාපතිවරයා මෙහිදී දන්වා සිටියේය. ආයතනයේ පවතින ගැටලු , පාරිභෝගික ප්‍රශ්න, වැටලීම් යනාදිය මෙන්ම ආයතනයේ  දැක්ම, අරමුණු සහ මෙහෙවර ක්‍රියාත්මක කිරීම ඉලක්ක කරගනිමින් මෙම සංයුක්ත සැලැස්ම ක්‍රියාත්මක විය යුතු බවද පෙන්වා දෙන ලදී.
 
8 – පර්යේෂණ ඒකකයක් සහ දත්ත බැංකුවක අවශ්‍යතාව

පාරිභෝගික සේවා අධිකාරිය තුළ නිශ්චිත  පර්යේෂණ ඒකකයක් ආරම්භ කරන ලෙසද මෙහිදී දැනුම් දුන්නේය. අධිකාරිය විසින් සිය වගකීම් ඉටුකිරීමේදී  නිරතුරුව නිෂ්පාදනය, වෙළදපොළ සහ පාරිභෝගික දත්ත පදනම් වන බැවින් වඩාත් නිවැරදී තීන්දු තීරණ ගැනීම සදහා පර්යේෂණ ඒකකයක අවශ්‍යතාව පෙන්වා දීම සිදුවිය. එසේම ආනයනය, නිෂ්පාදනය සහ ව්‍යාපාරවලට අදාළව  දත්ත බැංකුවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා විය.

9 – පාරිභෝගික අයිතීන් සුරැකීම සදහා අධිකාරිය සහ ඒ හා සම්බන්ධ විවිධ ආයතන සම්බන්ධීකරණය සදහා කඩිනමින් වැඩපිළිවෙලක් ස්ථාපිත කලයුතු බවට යෝජනාවක්.

පාරිභෝගික අයිතීන් සුරැකීම සදහා අධිකාරිය සහ ඒ හා සම්බන්ධ විවිධ ආයතන සම්බන්ධීකරණය සදහා කඩිනමින් වැඩපිළිවෙලක් ස්ථාපිත කලයුතු බවට ද  කෝප් කමිටුව විසින් දන්වන ලදී.
 
රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, ගරු ඩී.වී චානක, ගරු ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු පාඨලී චම්පික රණවක, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු දයාසිරි ජයසේකර, ගරු නිමල් ලන්සා, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ ගරු නීතිඥ මධුර විතානගේ යන මහත්වරු මෙම අවස්ථාව‍ට එක්ව සිටියහ.

එසේම වෙළද, වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් පී.එම්.බී. අතපත්තු, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ  සභාපති ශාන්ත නිරිඇල්ල යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්  මෙම මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

 

4 2

 



සම්බන්ධිත පුවත්

2025-11-27

උසස් නිලතල පිළිබඳ කාරක සභාව රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් අනුමත කරයි

රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ඊයේ (නොවැ. 26) හිමිවිය.ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ඩි.බි.පි.එච්. දිසාබණ්ඩාර, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස එම්.ඩි.සි.ඒ. පෙරේරා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි සභාපති ලෙස ඉංජිනේරු පි.වි.ඒ. හේමලාල් යන මහත්වරුන්ගේ පත්වීම් මෙලෙස උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීම සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.


2025-11-27

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතාකර ගියේදැයි පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීම සඳහා පවතින නීතිමය බාධක පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ගියේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා  පවතින   නීතිමය බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මුලීක  වෙමින් ගත යුතු බව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා පැවසීය. ඒ  එම  කාරක සභාව 20.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙදින කාරක සභාවේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වූ 2025 අයවැය යෝජනාවල ප්‍රගතිය සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සිදු විය.මෙම රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීහු අදහස් දක්වමින් අදාළ උපකරණ නොමැතිව එම පරීක්ෂා කිරීම සිදු කිරීමේ අපහසුතාව කාරක සභාවේ අවධානයට යොමු කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා රජය මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති අතරම, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියදුරන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කළේය.තවද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීම සඳහා පවතින මෙවලම් විශේෂ අවශ්‍යතාවයක් පවතින ඒවා බැවින්, එම උපකරණ ප්‍රසම්පාදනය සඳහා ඇති නීතිමය බාධක ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා අයවැයගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් ලබා ඇති බව පොලිස් නිලධාරීන් කාරක සභාවට පැවසූහ. තවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු ද තම මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට දැනුම් දුන්හ.මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. 2025 වසරේ යෝජනාවල සැළකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, අත්හිටුවා තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ, ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.


2025-11-26

අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 12ක කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සළකා බැලේ

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අදාළ කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා 12ක් , රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා (18) සළකා බැලිණි.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 2022, 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ  විනිසුරුවරුන්ගේ 2023 සහ 2024  කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2022 වසරට අදාළ වාර්ෂික වාර්තාව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සළකා බැලිණි.තවද ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ 2022 සහ 2023 වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 2023 හා 2024 වසරවල වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2020,2021, 2022, 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ 2022 සහ 2023 වසර සඳහා වාර්ෂික වාර්තා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසර සඳහා වාර්ෂික වාර්තා, සිරකරු සුබසාධක අරමුදලේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙසේ ‍සළකා බැලීම සිදුවිය. එම ආයතනවලට අදාළ විගණන විමසුම් පිළිබඳව ද මෙහිදී කාරක සභාව විමසීම් සිදුකළ අතර ඊට අදාළ නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම මෙම ආයතනවල වත්මන් කාර්යයන්, පවතින ගැටලු සහ අඩුපාඩු කෙරෙහිද මෙහිදී අවධානය යොමුවිය. වඩාත් කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ඉහත ආයතනවල නෛතික රාමුවේ යම් සංශෝධන සිදු කිරීමට අවශ්‍යනම් කාරක සභාව දැනුවත් කරන ලෙසත් ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. මෙහිදී ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ  2024 වසරේ  වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අදාළව විගණකාධිපති වාර්තාවේ සඳහන් පුත්තලම අධිකරණයේ නීති ආධාර හා ප්‍රජා විශෝධක කාර්යාලය සඳහා ඉදිකරන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර නොතිබීම සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. මේ අනුව 2023 සහ 2024 වසර සදහා ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා හැර අනෙකුත් කාර්ය සාධන හා වාර්ෂික වාර්තා සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  මුජිබුර් රහුමාන්, නීතීඥ තුෂාරි ජයසිංහ, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.   


2025-11-26

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කරන ලදී.ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන්  21.11.2025 වන  දින පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වමින්  කාරක සභා සභාපතිවරයා  මෙරට ගුණාත්මකභාවයෙන් පහළ  උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය. එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය.මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා විසින්  දැනුම් දෙන ලදී. ඒ මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහතවද දේශීය විශ්වවිද්‍යාල වල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks