2023-01-20
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
• ලබන බදාදා අමාත්‍යාංශ ලේකම්වරයාට නැවත කැදවීමක්
• පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිර්දේශ කරන ලෙස යෝජනාවක්
• භාණ්ඩ මිල පාලනය කිරීමට සම්ප්‍රදායික ක්‍රමෝපයාන්ගෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක්
• බිත්තර මිල තීරණය කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයට යෝජනා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සදහා ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) 2023.01.19 වන දින රැස්විය. එහිදි පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමුවිය.
1 – පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වගකීම පිළිබඳව මෙහිදී කමිටුව ප්‍රශ්න කරන ලදී. පාරිභෝගියන් බලගැන්වීම, වෙළදාම විධිමත් කිරීම සහ යහපත් ප්‍රවර්ධන තුළින් පාර්භෝගික අයිතිවාසිකම් සුරැකීම කමිටුවේ ප්‍රධාන වගකීම් වුවද එම දැක්මට අනුව අධිකාරිය කටයුතු නොකරන බව කමිටුවේ අදහස විය. ඒ අනුව වෙළද, වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට කමිටුව නිර්දේශ කළේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට කටයුතු හැක්කේ කෙසේදැයි සති දෙකක් තුළ කෝප් කමිටුවට වාර්තා කරන ලෙසයි.
2 – භාණ්ඩ මිල පාලනය කිරීමට සම්ප්‍රදායික ක්‍රමෝපායන්ගෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක්
භාණ්ඩ මිල පාලනය කිරීමට සම්ප්‍රදායික මිල පාලනයෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසද අධිකාරියට දන්වන ලදී. විශේෂයෙන් වත්මන් බිත්තර මිල පාලනය පිළිබද කමිටුවේ අවධානය යොමුවිය. මේ අනුව වෙළද සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල ලේකම්වරු දෙදෙනා අදාළ නිලධාරීන් සම්බන්ධීකරණය කරගනිමින් දින පහක් ඇතුළත බිත්තරයක මිල තීරණය කිරීම සදහා මිල සූත්‍රයක් සැකසීම සහ ඒ අනුව බිත්තරයක් සදහා අදාළ පිරිවැය ගණනය කරන ලෙසත් උපදෙස් ලබා දීම සිදුවිය. ඒ පිළිබදව විමසීමට අමාත්‍යාංශ ලේකම්වරුන් ලබන බදාදා නැවත කැඳවීම ද තීරණය කෙරිණි.
3 - බිත්තර මිල තීරණය කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයට යෝජනා
ජනතාවට සහනදායි මිලට බිත්තර ලබා දීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණයට පවතින බාධා නිරාකරණය කරගැනීම සදහා එහිදී විසදුම් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී කාරක සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වන ලදී.
බිත්තර ආනයනය වැළැක්වීම මගින් මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් අතලොස්සක් වෙනුවෙන් මෙරට සමස්ත මහජනතාවට අසාධාරණයක් සිදුවීමට ඉඩදිය නොහැකි බවත්මේ අනුව සියලු ආයතන සම්බන්ධීකරණයෙන් බිත්තර සදහා අවම මිලක් තීරණය කිරීම හෝ බිත්තර ආනයනය සදහා පියවර ගත යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
බිත්තර සදහා පාලන මිලක් පවත්වාගනිමින් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා මෙන්ම බිත්තර ආනයනය ඇතුළු කටයුතුවලදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ අදාළ අනෙකුත් ආයතන මනා සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
4 – පාරිභෝගික අධිකාරියට කඩිනමින් ස්ථීර අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්
පාරිභෝගික සේවා අධිකාරියට ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දීම සිදුවිය. දැනට වසර ගණනාවක් සිට පත්කර ඇත්තේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු බවද මෙහිදී අනාවරණය විය. හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දෙසැම්බර් මස විශ්‍රාම යාමෙන් පසු මෙම තනතුර පුරප්පාඩුව පවතින බවත් කමිටුවේදී හෙළිවිය. අධ්‍යක්ෂ ජනරාල්වරයකු නොමැතිවීම තුළ පනතේ ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවද විගණකාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. කෝප් සභාපතිවරයා මේ අනුව උපදෙස් දුන්නේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට ආයතනයේ ප්‍රධානතම තනතුරක් වන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට බදවා ගැනීම සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
එසේම සති දෙකක් තුළ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
5 – අධිකාරියේ පනත යාවත්කාලීන කිරීම පිළිබඳ පිළිබද ගෙන ඇති ක්‍රියාමාර්ග සතියක් තුළ දන්වන්න
2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරි පනත යාවත්කාලීන කිරීම පමාවී ඇති බැවින් ඒ සදහා සැලසුම් කරන ක්‍රමවේදය සතියක් ඇතුළත කෝප් කමිටුවට වාර්තා කරන ලෙසත් සහ ඒ සදහා අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත්කොට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දුන්නේය. මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පනත සංශෝධනය කිරීමේ ප්‍රගතිය පිළිබදව කමිටුවට දන්වා සිටියේය. මෙම පනත සංශෝධන කිරීම වසර 17 ක් පමණ පමා වී ඇති බැවින් එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී.
6 – උපාධිධාරීන් වඩාත් ඵලදායි ලෙස යොදවා ගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක්
අධිකාරියේ දැනට විවිධ වගකීම් දරණ උපාධිධාරීන් 400 කට ආසන්න ප්‍රමාණයක කාර්ය සාධනය සහ ඵලදායිතා මට්ටම් ඉහළ නැංවීම සදහා වන වැඩපිළිවෙලක් අදාළ පරිසාධන මට්ටම් දර්ශක සහිතව (KPIs) මාසයක් තුළ කෝප් කමිටුවට යෝජනා කරන ලෙසත් කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. එසේම පාරිභෝගික පැමිණිලි සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම හා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය. ඒ අනුව මෙම උපාධිධාරිහු පිරිස වඩාත් ඵලදායි ලෙස යොදවා ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි.
7 – මාස තුනක් තුළ අපේක්ෂිත සංශෝධිත පනතට අනුකූලව සංයුක්ත සැලැස්මක්
අධිකාරිය සදහා මේවන තෙක් සංයුක්ත සැලැස්මක් නොමැති බැවින් ශක්‍යතාවයෙන් යුතු සංයුක්ත සැලැස්මක්, සංශෝධිත පනතට අනුකූලව මාස තුනක් තුළ සකස් කොට කමිටුවට වාර්තා කරන ලෙසත් කෝප් සභාපතිවරයා මෙහිදී දන්වා සිටියේය. ආයතනයේ පවතින ගැටලු , පාරිභෝගික ප්‍රශ්න, වැටලීම් යනාදිය මෙන්ම ආයතනයේ දැක්ම, අරමුණු සහ මෙහෙවර ක්‍රියාත්මක කිරීම ඉලක්ක කරගනිමින් මෙම සංයුක්ත සැලැස්ම ක්‍රියාත්මක විය යුතු බවද පෙන්වා දෙන ලදී.
8 – පර්යේෂණ ඒකකයක් සහ දත්ත බැංකුවක අවශ්‍යතාව
පාරිභෝගික සේවා අධිකාරිය තුළ නිශ්චිත පර්යේෂණ ඒකකයක් ආරම්භ කරන ලෙසද මෙහිදී දැනුම් දුන්නේය. අධිකාරිය විසින් සිය වගකීම් ඉටුකිරීමේදී නිරතුරුව නිෂ්පාදනය, වෙළදපොළ සහ පාරිභෝගික දත්ත පදනම් වන බැවින් වඩාත් නිවැරදී තීන්දු තීරණ ගැනීම සදහා පර්යේෂණ ඒකකයක අවශ්‍යතාව පෙන්වා දීම සිදුවිය. එසේම ආනයනය, නිෂ්පාදනය සහ ව්‍යාපාරවලට අදාළව දත්ත බැංකුවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා විය.
9 – පාරිභෝගික අයිතීන් සුරැකීම සදහා අධිකාරිය සහ ඒ හා සම්බන්ධ විවිධ ආයතන සම්බන්ධීකරණය සදහා කඩිනමින් වැඩපිළිවෙලක් ස්ථාපිත කලයුතු බවට යෝජනාවක්.
පාරිභෝගික අයිතීන් සුරැකීම සදහා අධිකාරිය සහ ඒ හා සම්බන්ධ විවිධ ආයතන සම්බන්ධීකරණය සදහා කඩිනමින් වැඩපිළිවෙලක් ස්ථාපිත කලයුතු බවට ද කෝප් කමිටුව විසින් දන්වන ලදී.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, ගරු ඩී.වී චානක, ගරු ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු පාඨලී චම්පික රණවක, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු දයාසිරි ජයසේකර, ගරු නිමල් ලන්සා, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ ගරු නීතිඥ මධුර විතානගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එසේම වෙළද, වානිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් පී.එම්.බී. අතපත්තු, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-08-18
අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩල/ ආයතන තුනක සභාපතිවරුන්ගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ පත් කිරීම, කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ලෙස එස්.ඒ.එම්. පීරිස් මහතාගේ පත් කිරීම, සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ සභාපතිවරයා ලෙස එච්.එම්.පී. රත්නායක මහතා පත් කිරීම සහ ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය ලෙස (ආචාර්ය) ඩබ්ලිව්.එම්.වී. වනසිංහ මහත්මිය පත් කිරීම කාරක සභාව විසින් අනුමත කරන ලදී.ගරු අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීමට, ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර ජයකොඩි සහ නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරු ද සහභාගී වූහ.
2026-08-18
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා සංවිධානය කළ “Voice to Policy” සංවාද වැඩසටහන පසුගියදා (අගෝ. 16) මීගමුව ජෙට්වින් බ්ලූ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර මෙහිදී ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කෙරෙන වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන ලෙස ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්විණි. තරුණ ප්‍රජාවට සිය අදහස්, ගැටලු සහ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, වැඩමුළුව සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.මෙම අවස්ථාව සඳහා විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල, එස්. එම්. මරික්කාර්, විශ්‍රාමික ලුතිනන් කමාණ්ඩර් එන්. ආර්. ප්‍රගීත් මධුරංග, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඩී. සූරියබණ්ඩාර සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙහිදී තරුණ ප්‍රජාව විසින් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය, දේශපාලන සහභාගීත්වය, වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා, තාක්ෂණය, ව්‍යවසායකත්වය සහ තරුණයන් සඳහා පවතින අවස්ථා හා තොරතුරු වෙත ප්‍රවේශය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරන ලදී.විශේෂයෙන් උසස් අධ්‍යාපන පාඨමාලා සහ උපාධි සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවම කිරීම, දේශපාලනයට සම්බන්ධ වීමට අපේක්ෂා කරන තරුණයන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සහ තරුණ ව්‍යවසායකත්වය පුළුල් කිරීම ඇතුළු කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.තරුණ ප්‍රජාව විසින්ම සිය ප්‍රමුඛ ගැටලු හඳුනාගෙන, ඒවා සාකච්ඡා කර, පොදු කරුණු ලෙස වර්ගීකරණය කර ප්‍රතිපත්තිමය අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් අනතුරුව ඒවා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සෘජු සංවාදයක් පැවැත්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූයේය. වැඩසටහනේදී ඉදිරිපත් වූ තරුණ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි සලකා බැලීම සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තු සංසදය සිය අවධානය යොමු කළේය. එමෙන්ම, අදාළ කරුණු සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ ඉදිරියේදී සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, වැඩසටහනේදී මතු වූ නිර්දේශ සහ යෝජනා ලේඛනගත කර විවෘත පාර්ලිමේන්තු සංසදය වෙත ඉදිරිපත් කිරීම සඳහා තරුණ වාර්තාකරුවන් (Youth Rapporteur) පත් කිරීම ද මෙහිදී සිදු විය.මෙම මෙම වැඩමුළුව CII (Coalition for Inclusive Impact) ආයතනයේ සංවිධානය සහයෝගීත්වයෙන් සහ NDI (National Democratic Institute) ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්විණි.
2026-08-14
එල් නිනෝ (El Niño) තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතික්‍රියාශීලී අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගොස් පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් (Anticipatory Crisis Governance) ස්ථාපිත කළ යුතු බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරිණි.ගරු විරුද්ධ පාර්ශ්වයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති මෙම රැස්වීමේදී දේශගුණික විපර්යාස, එල් නිනෝ තත්ත්වය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවී සංරක්ෂණය, අලි-මිනිස් ගැටුම, ආපදා කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.රැස්වීමේ ප්‍රධාන විශේෂඥ කරුණු දැක්වීම සිදු කළ බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වෙරළ සාගර විද්‍යාව පිළිබඳ වින්ත්‍රොප් මහාචාර්ය චරිත පට්ටිආරච්චී මහතා, දේශගුණික අවදානම් හමුවේ කල්තියා සූදානම් වීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ ආදර්ශය ද මෙහිදී සාකච්ඡා වූ අතර, 2019 වසරේ සුළි කුණාටුවකදී පැය 24ක් තුළ පුද්ගලයන් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යෑමට එම ප්‍රාන්තයට හැකි වූ බව පෙන්වා දෙන ලදී.අලි-මිනිස් ගැටුම පිළිබඳ අනුකමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින්, දේශගුණික තත්ත්වයන් හමුවේ අලි-මිනිස් ගැටුම තීව්‍ර විය හැකි බැවින් ප්‍රජා මූලික විදුලි වැටවල්, කන්නයට අදාළ කුඹුරු වැටවල්, වනජීවී වාසස්ථාන සහ ජල කළමනාකරණය ඇතුළු කෙටි හා දිගුකාලීන ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දෙන ලදී.එල් නිනෝ ඔරොත්තු දීමේ ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමේ සභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින් කෘෂිකර්මාන්තය, ජෛව විවිධත්වය, ජල සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම විශ්ලේෂණය කර ඇති අතර, විද්‍යාත්මක පදනමක් සහිත දේශගුණික විපර්යාසවලට ඔරොත්තුදීමේ හැකියාවක් පිළිබඳ උපාය මාර්ගික රාමුවක් (Strategic Climate Resilience Framework) යෝජනා කර ඇත.වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය පියවීම, වනජීවී කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජාතික උද්‍යාන ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම්, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පාරිසරික හානි අවම කිරීම පිළිබඳව අවධානය යොමු විය. සංවේදී පූජනීය ප්‍රදේශවල පාරිසරික බලපෑම් අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය සඳහා Differential Pricing ක්‍රමවේදය හඳුන්වාදීම සහ උද්‍යාන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද යෝජනා ඉදිරිපත් විය.දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති, ආයතනික සම්බන්ධීකරණය සහ කල්තියා සූදානම් වීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර ආයතන සහ සංවර්ධන හවුල්කරුවන්, පර්යේෂකයින්, තරුණ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගී විය.
2026-08-13
මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු (Security Stickers) ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී කිරීමේ අවශ්‍යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධ කරුණු විමර්ශනයට ලක් කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, විජේසිරි බස්නායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගී විය.මෙහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදයේ පිරිවැය, තාක්ෂණික ප්‍රමිතීන් සහ රජයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව කමිටුවේ දීර්ඝ අවධානය යොමු විය. 2016 අයවැය යෝජනා අනුව බදු නොගෙවන ලද මත්පැන් භාවිතය අවම කිරීම, සුරාබදු ආදායම තව දුරටත් සුරක්ෂිත කිරීම හා ව්‍යාජ මත්පැන් වැළැක්වීමේ අරමුණින් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදයේ කොන්ත්‍රාත්තුව 2017 වසරේදී ඉන්දීය සමාගමක් වන Madras Security Printers (MSP) වෙත ලබා දී ඇති බව කමිටුව හමුවේ අනාවරණය විය.අධිවේගී මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලීන්හි භෞතික ස්ටිකර් භාවිතයේ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් 2021 වසරේදී ඩිජිටල් (Inkjet) කේත මුද්‍රණයට අවසර ලබා දී ඇති අතර, මුද්‍රිත කඩදාසි ස්ටිකර් දහසක් සඳහා ගෙවන ඇමෙරිකානු ඩොලර් 5.99ක මුදලම ඩිජිටල් කේත මුද්‍රණය සඳහා ද ගෙවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය. බෝතල් කිරීමේ කම්හල්වල ස්ටිකර් මුද්‍රණ යන්ත්‍ර සඳහා වන මූලික යටිතල පහසුකම් පිරිවැය සැලකිල්ලට ගත යුතු වුව ද, සාමාන්‍යයෙන් ඩිජිටල් ස්ටිකරයකට, කඩදාසි ස්ටිකරයට වඩා අඩු පිරිවැයක් දැරීමට ඉඩ ඇත. මෙම පිරිවැය ක්‍රමවේදය සහ රජයට ලැබෙන ප්‍රතිලාභ නැවත සලකා බැලීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.එමෙන්ම, ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය සඳහා ජාත්‍යන්තර ISO ප්‍රමිතීන් ප්‍රමාණවත් ලෙස යොදා ගැනීම, මත්පැන් නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදන ගලා යෑම නිරීක්ෂණය කිරීම සඳහා Track and Trace ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ ජංගම යෙදුමක් මගින් නිෂ්පාදන සත්‍යතාව තහවුරු කර ගැනීමේ පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය.නව ටෙන්ඩර් ක්‍රියාවලියේදී මිල සමඟ ගුණාත්මකභාවය, දත්ත ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රමිතීන් සලකා බැලිය යුතු බවත්, ව්‍යාජ ස්ටිකර් සහ අනුකරණ වැළැක්වීම සඳහා තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් ටෙන්ඩර් ඇගයීම් සඳහා සම්බන්ධ කරගත යුතු බවත් කමිටුව අවධාරණය කළේය.අනෙකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේද( global best practices) පිලිබඳ සොයා බලා වාර්තාවක් සකස් කර කමිටුවට ඉදිරිපත් කළ යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලදී.මේ අතර, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති නව රෙගුලාසි පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. 2026 ජූලි 10 දිනැති අංක 2496/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම රෙගුලාසි මගින් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති අතර, වගකීම් සහගත වෙළෙඳාම සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූල නීතිමය රාමුවක් ශක්තිමත් කිරීම එහි අරමුණ වේ. අදාළ ගැසට් පත්‍රය, පනතේ 20 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. බලහත්කාරී ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන්, 2026 ජූලි 23 දින අවසන් කරන ලද එක්සත් ජනපදයේ '301 වගන්තිය' (Section 301) යටතේ ක්‍රියාත්මක බලහත්කාරී ශ්‍රමය ආශ්‍රිත තීරුබදු පියවරවලදී, ශ්‍රී ලංකාවට මුලින් නියමිතව තිබූ 12.5%ක මට්ටම වෙනුවට පහළම, වඩාත් වාසිදායක 10%ක කාණ්ඩයට ඇතුළත් වීමට හැකි විය.තවද, 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, 1998 අංක 12 දරන පනතින් ස්ථාපිත කර 2019 අංක 15 දරන පනතින් සංශෝධනය කරන ලද එම අරමුදල, වර්තමාන සන්ධර්භයට නොගැළපීම, දුර්වල කාර්යසාධනය සහ වත්කම් ඌණ උපයෝජනය හේතුවෙන් මෙම අරමුදල විසුරුවා හැරීමට තීරණය කර ඇති බව සඳහන් විය. අරමුදල වසා දැමීමෙන් පසුව එමගින් ලබාදුන් අත්‍යවශ්‍ය සේවාවන් කම්කරු අමාත්‍යාංශය හරහා අඛණ්ඩව පවත්වාගෙන යමින්, වෙනම ආයතනික ව්‍යුහයක් පවත්වාගෙන යාමට වැයවන පිරිවැය ඉතිරි කර රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට අපේක්ෂා කරන බව ද කමිටුව හමුවේ නිලධාරීහු පැහැදිලි කළහ.