පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුව අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (20) තේරී පත් විය.
මෙහිදී වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් මෙසේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී යෝජනා විය.
මේ අනුව ඊට අදාළ ඡන්ද විමසීම අද (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර ගරු රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 ක් ලැබී තිබූ අතර ගරු ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82ක් හිමිවිය. මෙහිදී ගරු අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 03 ක් ලැබී තිබුණි. අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තේරී පත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබාගත යුතු වූ අතර එම ඡන්ද සංඛ්‍යාව ගරු රනිල් වික්‍රමසිංහ මහතා සපුරා තිබුණි. එනම් වලංගු ඡන්ද සංඛ්‍යාව වූයේ ඡන්ද 219ක් වූ අතර ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134ක් ලබාගෙන තිබුණි.
මෙහිදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 223 ක් වූ අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. මින් ඡන්ද 4ක් ප්‍රතික්ෂේපිත ඡන්ද ලෙස නම් කෙරුණි.
මේ අනුව ගරු රනිල් වික්‍රමසිංහ මහතා අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එසේම 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුව මීට අදාළ ගැසට් නිවේදනය දින 3ක් ඇතුළත ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
හිටපු ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ජනාධිපතිධූරයේ ඉතිරි ධුර කාලය ධුර දැරීම සඳහා මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුකම් ලැබීය.
ගරු රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය 2021 වර්ෂයේ ජුනි මස 23 දින 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය.
1949 මාර්තු 24 දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවීය.
1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ එතුමා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි. 1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූ අතර එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි. අවුරුදු 28 දී විදේශ කරයුතු නියෝජිත ඇමතිවරයා වූ හෙතෙම, පසුව තරුණ කටයුතු, අධ්‍යාපන සහ කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ ලෙස කැබිනට් අමාත්‍යධුර හෙබවීය.
1989 මාර්තු 06 - 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය.
එතුමා ප්‍රථම වතාවට 1993 මැයි 7 වැනිදා ශ්‍රී ලංකාවේ අග්‍රමාතයවරයා ලෙස තේරි පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර හෙබවීය. වික්‍රමසිංහ මහතා, දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වාත්, තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වාත්, සිව්වන වරට 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්, පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.
ඉන් අනතුරුව පසුගිය මැයි මස 09 දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් වීමෙන් පසු ගරු රනිල් වික්‍රමසිංහ මහතා එම මස 12 වැනිදා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් වී එම ධුරයේ කටයුතු කරමින් සිටි අතර අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පසුගිය (14) දා සිට වැඩබලන ජනාධිපති ධුරයට ද පත්විය.
කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දී තිබේ.
2026-10-23
‘ප්රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්යාපාරය සඳහා වෙන් කරන ලද රු.මිලියන 25,000 ක ප්‍රතිපාදන මගින් රු.මිලියන 23,000 ක් දිස්ත්රික් පදනමින් ප්රජා සංවර්ධන සභා මගින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති බවත්, ඉතිරි රු.මිලියන 2,000 න් ජාතික මට්ටමින් හඳුනාගනු ලබන මධ්ය පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරෙහි සඳහන් වෙයි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය. එම සභාගත කළ පිළිතුරට අනුව, ප්රජා ශක්ති ජාතික ව්යාපාරය යටතේ රු.මිලියන 24,221.38 ක ව්‍යාපෘති 15,725 ක් ආරම්භ කර ඇති අතර ඉන් ව්‍යාපෘති 15,316 ක් ජීවනෝපාය සංවර්ධනය යටතේ ද, 273 ක් අධ්යාපනය යටතේ ද සහ 136 ක් සෞඛ්‍ය යටතේ ද ක්‍රියාත්මක වෙයි. මෙම සියලුම ව්‍යාපෘති 2026.12.31 දින වන විට අවසන් කිරීමට නියමිතය.ග්රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්රජා සංවර්ධන සභා මගින් ඒ ඒ දිස්ත්රික්කවල සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් බහුමාන දරිද්රතාවය තුරන් කිරීම සඳහා ඍජුවම අදාළ වන ව්‍යාපෘති හඳුනා ගැනීමට කටයුතු කරනු ලබයි. නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාවය, සමාජ පරිසරය, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය මෙන්ම සැපයුම් ජාල සහ ප්රවේශය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත පාසල් දරුවන් විශේෂිත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙනත් රේඛිය අමාත්‍යාංශ, ආබාධ සහිත පාසල් දරුවන් සඳහා මූල්යාධාර හෝ වෙනත් සහනාධාර හෝ ලබා දීම සිදු කරයි. එසේම, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ එම පවුල් ඒකක සවිබලගැන්වීමේ අරමුණින් ඔවුන් සඳහා විශේෂිත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මූල්‍ය ආධාර ලබාදීම, සහනාධාර ලබාදීම, සහ සුබසාධන වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කෙරෙයි.
2026-10-22
ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාන දර්ශ ඇගයීම්, රෝග හා පළිබෝධ කළමනාකරණය, බෝග සංවර්ධනය, ශාක පෝෂණ කළමනාකරණය, ශෂ්ය විද්යාත්මක අධ්‍යයන, පසු අස්වනු තාක්ෂණය සහ අගය එකතු කිරීම සහ කාලගුණ විපර්යාසයන් මඟින් සිදු වන බලපෑම අවම කර ගැනීම සඳහා පර්යේෂණ ඇතුළු ක්ෂේත්ර රැසක් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් දායක වන දිස්ත්රික්ක ලෙස ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රික්ක හඳුනාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මේ වනවිට මෙරට වගා කරනු ලබන ගම්මිරිස් ප්රභේද අතර දේශීය, පනියුර් 1 සහ දේශීය වරණයන් වන ඩිංගිරි රාල, කොහුකුඹුරේ රාල සහ බූටාවේ රාල යන ප්රභේද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.ගම්මිරිස් වගාව තවදුරටත් ව්යාප්ත කිරීම සඳහා රෝපණ ද්රව්ය නොමිලේ ලබාදීම, ආයෝජන ආධාර ලබා දීම, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන් යටතේ ගම්මිරිස් පැළ නොමිලේ ලබා දීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා දැනුම හා අවශ්‍ය ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, කාලගුණ විපර්යාසයන්ට ගම්මිරිස් වගාව අනුවර්තනය කිරීම සඳහා සුදුසු ජල සම්පාදන ක්රම හඳුන්වා දීම, රෝග හා පළිබෝධ පාලනය, සත්ත්ව හානි වැළැක්වීම සඳහා අවශ්‍ය උපකරණ හා පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම ද සිදු කෙරේ.ගම්මිරිස් නිෂ්පාදන ජාත්‍යන්තර ප්රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ යහපත් නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කරන අතර, ගුණාත්මකභාවය ඉහළ නංවා අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්‍ය පසු අස්වනු තාක්ෂණය සහ උපකරණ සඳහා ද ආයෝජන ආධාර ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.තවද, ගම්මිරිස් නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට කාබනික නිෂ්පාදන ලෙස ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම, අවශ්‍ය සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් සහ ආයෝජන ආධාර ලබා දීම මෙන්ම අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම ද සිදු කෙරේ.විවිධ මාධ්ය ඔස්සේ ගම්මිරිස් වගාව සම්බන්ධ දැනුම ගොවීන් වෙත ලබාදීම ද සිදුකරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගම්මිරිස් නිෂ්පාදකයන්ට අපනයනය සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබාදීම සහ සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.
2026-10-22
ශ්‍රී ලංකාවේ වන අලි සංක්රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්රිත ප්රදේශ ආවරණය වන පරිදි මේ වන විට පවතින විදුලි වැටෙහි මුළු දිග කි.මී.5787.89 ක් බවත්, මෙලෙස විදුලි වැටවල් ඉදිකිරීම, අදාළ ප්රදේශයන්හි පවතින භෞතික තත්ත්වයන් අනුව රක්ෂිත මායිම ආශ්රිතව සිදු වෙන බවත් පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සදහන් කරයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්රම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුර මගින් ඉහත කරුණු අනාවරණය විය. සභාගත කළ එම පිළිතුරට අනුව, අලි- මිනිස් ගැටුමට සහ වන අලි තර්ජනයට විසඳුම් සෙවීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 27 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් මේ වනවිට අදාළ සැකැස්ම සකස් කරමින් පවතී. විදුලි වැටවල් ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා 2025 වර්ෂය තුළ රුපියල් මිලියන 618.89 ක් වැය කොට තිබේ. විදුලි වැට හා මුරකුටි ඉදිකිරීම, විදුලි වැට උපකරණ මිලදී ගැනීම, සිවිල් ආරක්ෂක භටයින්ගේ ආහාර දීමනා හා විදුලි වැට නඩත්තු ඉන්ධන, නඩත්තු උපකරණ ඇතුළු විදුලි වැට නඩත්තු කටයුතු සඳහා වියදම් කොට ඇත.
2026-10-22
සිරකරුවන් 10611ක් සහ සැකකරුවන් 28408ක් බන්ධනාගාරවල සිටින බවත්, සිරකරුවන්ගෙන් වැඩිම ප්රමාණය එනම් 3423ක් වයස් කාණ්ඩ 30ත් 40ත් අතරට වැටෙන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා යොමු කළ ප්රශ්නයකට පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.සිරකරුවන් 2860ක් වයස් කාණ්ඩ 40ත් 50ත් අතරටත්, 2160ක් වයස් කාණ්ඩ 20ත් 30ත් අතරටත් සහ 1561ක් වයස් කාණ්ඩ 50ත් 60ත් අතරට අයත් බව අමාත්‍යවරයා ප්රකාශ කළේය.දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංඛ්යා දත්තවලට අනුව, සිරකරුවන් 1,454ක් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ. ඒ අනුව, රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 421 දෙනෙකුද, රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 220 දෙනෙකුද සිටින බව සඳහන් වෙයි.එමෙන්ම, රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 361 දෙනෙකුද, රුපියල් 50,000ත් 100,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 245 දෙනෙකුද බන්ධනාගාරගතව සිටින බව වාර්තා වෙයි. රුපියල් 100,000කට වැඩි දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් සංඛ්‍යාව 207කි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks





