E   |   த   |  

2022-07-07

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පෙට්‍රල් සහ ඩීසල් ආසන්න වශයෙන් රුපියල් 250 ක මිලකට අළෙවි කළ හැකි බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ‘කෝප්’ කමිටුවේදී පෞද්ගලික ප්‍රකාශයක් සිදු කරයි

දත්ත පරිශීලනය කිරීමේදී පෙට්‍රල් සහ ඩීසල් ආසන්න වශයෙන් රුපියල් 250ක මිලකට ශ්‍රී ලංකාව තුළ අළෙවි කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2018, 2019 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් රත්නායක මහතා සඳහන් කළේ ඛනිජ තෙල් මිලදී ගැනීමේදී ඒවා ආනයනය කරන මිල ගණන් සහ රජය අයකරන බදු මුදල් පිළිබඳ සංඛ්‍යා ලේඛන නිවැරදිව පරීක්ෂා කිරීමේදී මේ බව හෙළි වන බවයි. ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් දැන් ලබාදෙන මිලට වඩා රුපියල් 200 ක් අඩුවෙන් මෙරට තුළ අළෙවි කළ හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය. මේ අනුව  ආසන්න වශයෙන් රුපියල් 250 ක් වැනි මිලකට පෙට්‍රල් සහ ඩීසල් මෙරට තුළ අලෙවි කළ හැකි බව සඳහන් කළ ඒ මහතා පසුගිය ජූලි 1 වැනිදා ගෙන්වන ලද ඩීසල් එක් ලීටරයක් සඳහා රුපියල් 280 ක බදු මුදලක් රජය අය කොටගෙන ඇති බව ද පැවසීය.

මෙය තමන්ගේ පෞද්ගලික ප්‍රකාශයක් බවත්, දත්ත පරිශීලනය කිරීමෙන් පසුව එම ප්‍රකාශය සිදු කරන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. මේ අනුව මේ පිළිබඳ  කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ දැනුවත් බව පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරුන් විමසූ අතර ඒ පිළිබඳව මෙම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් නැති බව අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ.  එසේම මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය විධිමත්ව දැනුවත් කිරීමක් සිදු කොට නැති බව ද මෙහිදී සඳහන් විය.

මෙහිදී මෙම කොමිෂන් සභාවේ සභාපතිධූරයට පත් වීම සඳහා තමන්ට පවතින සුදුසුකම් පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරුන් රත්නායක මහතාගෙන් විමසන ලදී. ඒ අනුව තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලන විශේෂ උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇති බව හෙතෙම පෙන්වා දුනනේය. තවද හාවඩ් විශ්ව විද්‍යාලයේ ද අධ්‍යාපනය ලබාගෙන ඇති බව ඒ මහතා පැවසීය. එසේම තමන්ගේ දේශපාලන සුදුසුකම් ලෙස 2005 වසරේ සිට රජයන් ගොඩනැගීම සඳහා රාජපක්ෂවරුන්ට විශාල ලෙස සහයෝගය ලබා දී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී කෝප් සභාපතිවරයා සඳහන් කළේ තෙල් මිල සම්බන්ධයෙන් මෙම සභාපතිවරයා සිදු කරන ප්‍රකාශය වඩාත් බරපතල බවත් මේ පිළිබඳ රටේම අවධානය යොමු වන බවත්ය. එබැවින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන්වා ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.


එසේම ශ්‍රී ලංකාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2021 දෙසැම්බර් 07 දින සිට වර්ෂයක කාලයක් සඳහා කිසිඳු ගිවිසුමකට ඇතුළත් වීමකින් තොරව 2005 වර්ෂයේ නිෂ්පාදිත බෙන්ස් වර්ගයේ රථයක් General Business (Private) Ltd නම් ආයතනයකින් ඉන්ධන හෝ රියැදුරු නොමැතිව මාසික කුලී පදනම මත ලබා ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මෙම රථය සඳහා වාර්ෂික කුලිය රුපියල් 4,500,000 වූ අතර 2022 මැයි 31 දිනට ඉන්  රුපියල් 2,187,500 ක් අදාළ ආයතනයට ගෙවා තිබුණි. නමුත් මෙම වාහනය ලබාගැනීම පිළිබඳ ලිපිගොනු විගණනයට ඉදිරිපත් නොවී තිබීම, වසර 15ක් පැරණි වාහනයක් ලබාගැනීමට නිර්දේශ ලබාදී තිබීම, එසේම මෙම වාහනය ලබාගැනීම සඳහා ලංසු කැඳවීමේ අක්‍රමිකතා, මෙම වාහනය වෙනුවෙන් කුලී මුදල් ගෙවීමේදී විනිවිද භාවය පිළිබඳ ගැටලු පැවතීම  යන කරුණු පිළිබඳ මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කළේය. විශේෂයෙන්ම මෙම ආයතනය සඳහා මුදල් ලබාදීමට අනුමතිය සහතික කරමින් අත්සන් තැබූ නිලධාරියාටද වගකීම් සහගතව කටයුතු කරන ලෙස කෝප් කමිටුව විසින් උපදෙස් ලබාදෙන ලදි.

මේ අනුව මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකොට සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති නිර්දේශ කළේය.

එසේම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සංවිධාන ව්‍යුහය හා වැටුප් ව්‍යුහය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතිය යටතේ සිදු කළ යුතු බව සහ මුදල් ඇමතිතුමා විසින් අමාත්‍ය  මණ්ඩලය වෙත සංශෝධනයක් ඉදිරිපත් කර අනුමත කරගත යුතු බව දන්වා තිබුණද 2021 වර්ෂය අවසන් වන විට ද එය සිදු නොකර යම් යම් කාර්යන් සඳහා වියදම් සිදු කිරීම පිළිබඳව කෝප් කමිටුව  සාකච්ඡා කළේය. විශේෂයෙන්ම මෙහිදී ආයතනයේ කාර්ය මණ්ඩලය වෙත දීමනා වර්ග 11ක් යටතේ රුපියල් 45,873,483 ක් ගෙවා තිබීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් සමස්ත මෙහෙයුම වියදමෙන් රුපියල් 86,808,538 ක් එනම් මුලු මුදලෙන් 49% ක් වැය කර තිබීම පිළිබඳව ද කෝප් කමිටු වැඩි වශයෙන් අවධානය යොමු කළේය.

එසේම විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යසාධනය, ප්‍රවණතා, ඉල්ලුමේ වෙනස් වීම්, ආදිය අධීක්ෂණය තුළින් රජයට උපදෙස් දීම සහ නියාමනයට අවශ්‍ය පියවර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දෛනිකව සැපයිය යුතු සම්ප්‍රේෂණ සාරාංශය, සත්‍ය පද්ධති බෙදාහැරීම හා දෛනික බෙදාහැරීම් උපලේඛනය 2018 මැයි මාසයේ සිට 2019  දෙසැම්බර් දක්වාම කොමිෂන් සභාව වෙත ලබා දී නොතිබීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.  විශේෂයෙන්ම මෙහිදී 2018- 2037 වර්ෂ සඳහා අනුමත වී ඇති විදුලි ජනන සැලැස්ම පිළිබඳ අවධානය යොමු වූ අතර පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ 2021 වර්ෂයේ දී තවත් නව ජනන සැලැස්මක් පිළිබඳ දත්ත ඉදිරිපත් කළ බවත්  සුදුසු අවශ්‍යතාවයන් සපුරා නොතිබූ බැවින් අනුමත වී නැති බවත් ය. මෙහිදී කෝප් කමිටුව සඳහන් කළේ දේශපාලන අධිකාරීන් වෙනස් වන විට මෙම සැලසුම් වෙනස්වීම නිසා ගැටලු මතුවන බැවින් මේ පිළිබඳ සියලු පාර්ශව වල වැඩි අවධානය යොමුවිය යුතු බවයි.

තවද 2016 නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් සඳහන් විදුලිබල (බෙදාහැරීමේ) කාර්යසාධන ප්‍රමිති නියෝග යටතේ, කාර්යසාධන රිති මාලාව සකස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ වගකීම කොමිෂන් සභාවට පැවරී තිබුණි. මේ අනුව නියෝගය බලාත්මක වීමෙන් මාස 36ක් ඇතුළත ක්‍රියාත්මක කළ යුතු එම කාර්යය වසර 4කට ආසන්න කාලයක් ගතවී ඇතත් 2018 වර්ෂ තුළදී සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබූ අනුවර්තන අදියර පවා මෙතෙක් නිම නොකිරීම පිළිබඳ කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ මෙය වසර 3කින් අදියර 3කට සිදු කිරීමට සැලසුම් කොට තිබූ බවත් ක්‍රමවේදය වෙනස්කිරීමේ අවශ්‍යතාවය සහ මීට සම්බන්ධ පාර්ශවල සම්බන්ධතාවයේ ගැටලු මත තවම සිදුවී නැති බවයි.

මෙම කාරක සභාව සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ලෙස ගරු අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා, (ආචාර්ය) ගරු නාලක ගොඩහේවා, ගරු ජයන්ත සමරවීර, ගරු ප්‍රේම්නාත් සී දොලවත්ත සහ ගරු මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ. එසේම කමිටුවේ සාමාජිකයින් නොවන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත මීට සහභාගී විය.

 

1 2

6 8

 



සම්බන්ධිත පුවත්

2026-09-30

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ව්‍යුහය වෙනස් කිරීමට නව පනත් කෙටුම්පතක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත්  ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව තරුණ කටයුතු සහ ගරු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.නව ක්‍රිකට් පාලන ව්‍යුහය සඳහා ස්වාධීන අධ්‍යක්ෂවරුන් ඇතුළත් කිරීමට යෝජනා කර ඇති අතර, නව නීතිරීති යටතේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඍජුව තීරණ ගැනීම සිදු නොකරන අතර, එම සංගම් පළාත් ක්‍රිකට් සංගම් හරහා කටයුතු කිරීමට නියමිත බව කාරක සභාවේදී ප්‍රකාශ විය.පාසල් ක්‍රිකට් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 900ක මුදලක් සහ උපකරණ ලබා දෙන බවත්, පුහුණුකරුවන් බඳවා ගැනීම සහ ක්‍රීඩක තේරීම් ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමඟ වැඩපිළිවෙළක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් කාරක සභාවට අනාවරණය විය.එමෙන්ම, ක්‍රීඩා සංගම් සම්බන්ධ විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර, ක්‍රීඩා සංගම් 33ක් අදාළ නිර්දේශ සම්පූර්ණ කර ඇති බවත්, තවත් සංගම් 33ක් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට නියමිත බවත් කාරක සභාවේදී ප්‍රකාශ විය.මහජනතාව සෞඛ්‍ය හා ව්‍යායාම කටයුතු සඳහා භාවිත කරන ඇවිදින මංතීරු සහ ක්‍රීඩා සංකීර්ණවලින් ගාස්තු අය කිරීම වහාම අත්හිටුවීමට අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති අතර, ක්‍රීඩාව ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස නොව ජාතික සෞඛ්‍යය හා ප්‍රජා සුබසාධනය සඳහා වන රාජ්‍ය වගකීමක් ලෙස පවත්වාගෙන යා යුතු බවට වූ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය අවධාරණය කෙරිණි.සෑම පළාතකටම අවම වශයෙන් එක් කෘත්‍රිම ධාවන පථයක්(synthetic track) ලබා දීමේ සැලසුම යටතේ මීළඟ කෘත්‍රිම ධාවන පථය අනුරාධපුරයේ ඉදිකිරීමට නියමිත බවත් සඳහන් විය. දැනට දිවයිනේ කෘත්‍රිම ධාවන පථ දෙකක් පමණක් පවතින බවද කාරක සභාවේදී සඳහන් විය.අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පහසුකම් සංවර්ධනය, මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගනය සහ හිඟුරක්ගොඩ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය, බදුල්ල හාලිඇල ප්‍රදේශයේ ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම සහ කළුතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේ පවතින ගැටලු විසඳීම පිළිබඳවද කාරක සභාවේදී කරුණු සාකච්ඡා කෙරිණි.තවද, ජාත්‍යන්තර තරඟ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල ජාතික කණ්ඩායම් සහ නිල වශයෙන් හඳුනාගත් ජාත්‍යන්තර තරඟාවලි සඳහා පමණක් ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජාතික තේරීම් හා විදේශ තරඟ සඳහා කණ්ඩායම් යැවීමේදී කිසිදු ජාතියක් හෝ ප්‍රදේශයක් හෝ මත පදනම්ව වෙනස්කම් සිදු නොකරන බවත් කාරක සභාවට අනාවරණය විය.මෙම අවස්ථාවට ගරු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන් කමිටුවේ සමාජිකයින්  ඇතුළු පිරිසක් සහභාගි වූහ.


2026-09-30

සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද එම  අනුකාරක සභාව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.ලෝක බැංකුවේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන යටතේ පාසල්වල සිදු කර ඇති කාර්යයන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු අනුකාරක සභාව දැනුවත් කළහ. මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර ඇති කාර්යයන් තවදුරටත් කඩිනම් කිරීමේ අවශ්‍යතාව අනුකාරක සභාව අවධාරණය කළ අතර, වැඩසටහනේ ප්‍රගතිය ඇතුළත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලැබිණි.පාසල්වල පවතින සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් සම්බන්ධ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන්ම පානීය ජලයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත් අනු කාරක සභාව විසින්  අවධාරණය කරන ලදී.එමෙන්ම, පාසල් සඳහා විදුලි සංදේශ පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ආදර්ශ ප්‍රාථමික පාසල් ස්ථාපිත කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද අනුකාරක සභාව විසින් දීර්ඝ වශයෙන් විමසා බැලිණි.මෙම  රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්.එම්. සමන්ත රණසිංහ මහතා සහ පද්මසිරි බණ්ඩාර මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.


2026-09-30

විදේශ විනිමය රෙගුලාසි හා නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි සහ විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම රෙගුලාසි සහ නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී, විදේශ ආයෝජන, විගාමිකයන් විසින් අරමුදල් විදේශයන් වෙත මාරු කිරීම සහ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ විධිවිධාන පිළිබඳව කරුණු විමසා බැලීය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු  සහභාගී වූහ.මෙම රැස්වීමට මුදල් අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගී වූහ.මෙහිදී 2026 අංක 01 දරන විදේශ විනිමය රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් විදේශයන්හි සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව අවධානය යොමු විය. විදේශ ආයෝජන සඳහා සුදුසුකම් ලබන තැනැත්තන්, ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර සහ විදේශයන් වෙත ප්‍රාග්ධනය යොමු කිරීමේදී අදාළ වන සීමාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දේශීය සමාගම්වලට විදේශයන්හි සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට ඇති අවස්ථා සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් ද  අවධානය යොමු විය.2026 අංක 02 දරන විදේශ විනිමය රෙගුලාසි සම්බන්ධයෙන් විගාමිකයන්ට ශ්‍රී ලංකාවේ පවතින වත්කම් විදේශයන් වෙත මාරු කිරීමේදී අදාළ වන ක්‍රමවේද සහ සීමාවන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, විගාමික දීමනාව යටතේ ප්‍රාග්ධනය විදේශයන් වෙත මාරු කිරීම සහ කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව ද කාරක සභාවේදී කරුණු පැහැදිලි කෙරිණි.මේ අතර, විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, විදේශ විනිමය රටින් පිටතට ගලා යාම කළමනාකරණය කිරීම සඳහා පවතින තාවකාලික සීමාවන් පිළිබඳව මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරන ලදී. ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ එම සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූහ.අපනයනකරුවන් පෙර වසරේ මෙරටට ගෙනන ලද  අපනයන ආදායම් සහ එම ආදායම්වලින් කොටසක් විදේශ ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා භාවිත කිරීමට ලබා දී ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා වූ අතර, දේශීය ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු ඉදිරිපත් විය..එමෙන්ම, විදේශ විනිමය අවිධිමත් ලෙස රටින් පිටතට ගලා යාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සහ ඒ සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. ආනයන හා අපනයන සම්බන්ධ බැංකු සහ රේගු දත්ත අතර පවතින පරස්පරතා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම, විදේශ විනිමය අවභාවිතය වැළැක්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, දේශීය ඉදිකිරීම් ඇතුළු සමාගම් විදේශයන්හි ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමේදී අවශ්‍ය වන බැංකු ඇපකර සහ අනෙකුත් මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින සීමාවන් පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.මෙම සාකච්ඡාවේදී නීති රීති දැඩි කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ සාමාජිකයින්  අවධානය යොමු කළ අතර   ආර්ථික වර්ධනයට බාධාවක් වන පරිදි අනවශ්‍ය රෙගුලාසි පැනවීම තුළින් ව්‍යාපාරිකයන් අධෛර්යමත් වීමේ අවදානමක් පවතින ඔවුහු පෙන්වා දුන්හ. විනිමය රටින් පිටතට ගලායාම සීමා කිරීම හේතුවෙන් රට තුළට පැමිණෙන විනිමය ප්‍රමාණයද අඩුවිය හැකි බව එහිදී අදහස් දක්වමින්  සභාපතිවරයා පෙන්වා දුන්නේය.රෙගුලාසිවල ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලෙස සටහන් කර තිබියදී, නියෝගයේ ලැයිස්තුගත (listed companies) සමාගම් පුළුල් කිරීම සඳහා එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක් ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින්, මෙම ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක සීමාව මාස 6කට පමණක් බලපැවැත්වෙන බවත්, එය 2027දී ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවත් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ. එලෙසම, ලැයිස්තුගත නොවන (non-listed companies) සමාගම් සඳහා මෙම සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 0.2ක් වන බව ද ඔවුහු සඳහන් කළහ.විදේශ විනිමය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සීමාවන්ට වඩා වැඩි විදේශ විනිමය පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව කටයුතු කළ හැකි බවයි. එහිදී ව්‍යාපාරයේ ශේෂ පත්‍රය (balance sheet) පදනම් කර ගනිමින් එම අනුමැතිය ලබා දෙන බව ද පැහැදිලි කෙරිණි. කෙසේ වෙතත්, එවැනි අනුමැතිය ලබා ගැනීමේ අවස්ථාව ඉහළ වත්කම් සහිත ව්‍යාපාරවලට වැඩි වශයෙන් හිමිවීමේ ඉඩකඩක් පවතින බවට ද මෙහිදී අදහස් පළ විය.


2026-09-25

පත්වීම් ත්‍රිත්වයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ උක්ත පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් මහත්මියගේ පත්වීමට සහ  කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එමෙන්ම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතාගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks