E   |     |  

2022-06-25

පුවත් කාණ්ඩ : පුවත් 

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එම කාරක සභාවේ සභාපති සභානායක, අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගියදා (22) පාර්ලිමේන්තුවේ සභාගතකරන ලදි.

2021 මැයි මස 17  වන දින පළමුවරට රැස් වූ මෙම කාරක සභාව තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ජනතාවට ඇති අයිතියට ගරු කරමින් මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජනතාව සහ උනන්දුවක් දක්වන සංවිධාන වෙතින් නියෝජනයන් ඉදිරිපත් කරන ලෙස දක්වමින් පළ කරන ලද පුවත්පත් නිවේදනයට ප්‍රතිචාර ලෙස රාජ්‍ය නොවන සංවිධාන, ආගමික සංවිධාන, කාන්තා කණ්ඩායම්, විවිධ සංස්කෘතික හා ජන වර්ගික කණ්ඩායම්වල නියෝජනයන් සහ සාමාන්‍ය මහජනතාව ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද නියෝජනයන් 160ක් පමණ කාරක සභාව වෙත ලැබී තිබුණි. ඊට අමතරව පිළිගත් දේශපාලන පක්ෂ 69කින් තම නියෝජනයන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබූ අතර ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 36ක් කාරක සභාව වෙත තම ලිඛිත සහ වාචික නියෝජනයන් ඉදිරිපත් කර තිබුණි. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂද ඇතුළත් විය.

පසුව කාරක සභා රැස්වීම් වාර  29ක් තුළදී පිළිගත් දේශපාලන පක්ෂ, සාමාන්‍ය ජනතාව සහ උනන්දුවක් දක්වන සංවිධාන, කාන්තාවන් නියෝජනය කරන සංවිධාන සහ විද්‍යුත් මාධ්‍ය ආයතන මගින් ඉදිරිපත් කළ වාචික සහ ලිඛිත නියෝජනයන් සියල්ලම කාරක සභාව විසින් සලකා බලමින් කාරක සභාවේ අවසන් වාර්තාව මෙසේ සභාගත කර තිබේ.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගතකරමින් එම කාරක සභාවේ සභාපති සභානායක, අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා එහි සඳහන් නිරීක්ෂණ මෙන්ම නිර්දේශ පිළිබඳව ද පැහැදිලි කරන ලදී.

මේ අනුව,

  • පළාත් සභා මැතිවරණය පිළිබඳ අදහස් ප්‍රකාශ කරමින් පවතින නීති සංශෝධනය හෝ නව නීති රීති සකස් කිරීමට ද එසේ නොමැති නම් පැරණි ඡන්ද ක්‍රමය යටතේ එය පැවැත්වීමටද
  • විවිධ පාර්ශ්ව විසින් මිශ්‍ර ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව යෝජනා කර ඇති අතර මෙම වාර්තාව මගින්ද මිශ්‍ර ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දීම ද
  • පළාත් පාලන මැතිවරණයේ එල්ලන ලද ආසන ඉවත් කිරීම ද
  • කාන්තා නියෝජනයට අතිරේකව තරුණ නියෝජනය සහතික කිරීම ද
  • ජනමාධ්‍ය මැතිවරණ සමයේ අනුගමනය කළ යුතු යුතුකම් හා වගකීම්, බැඳීම් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක විය යුතු බව ද
  • දේශපාලන පක්ෂ ලියාපදිංචිය පිළිබඳව සඳහන් කරමින් 70 කට අධික දේශපාලන පක්ෂ ලියාපදිංචිය ලබා තිබුණද ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ කරුණු මතුවී තිබෙන බැවින් පාර්ලිමේන්තු මැතිවරණය හා අනෙකුත් මැතිවරණවලට ඉදිරිපත්වීම සඳහා ප්‍රාදේශීය සහ අනෙකුත් වශයෙන් පිළිගන්නා දේශපාලන පක්ෂ වෙන්කිරීම පිළිබඳව ද
  • විද්‍යුත් මාධ්‍ය තුළින් දේශපාලන ප්‍රචාරණ සිදු කිරීමේදී බොහෝ අපේක්ෂකයන්ට වන අඩුපාඩු සම්බන්ධයෙන් සාධාරණත්වයෙන් කටයුතු කළ යුතු  බවට ද
  • බොහෝ දූෂණයන්ගෙන් පිරුණු වියදම් අධික ඡන්ද ක්‍රමයක් බවට මැතිවරණ පත්ව ඇත්තේ සහ මැතිවරණ නීති උල්ලංගනය වීම සිදුවන්නේ අසීමිත ලෙස අද මැතිවරණ තුළ වියදම් සිදුකිරීමට පරිවර්තනය වී තිබීම නිසා බව ද එබැවින් මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීති සම්පාදනය, චර්යාධර්ම පද්ධතියක් අනුගමනය කිරීම සහ මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම පිළිබඳව ද

 

යෝජනා මෙම වාර්තාවේ අන්තර්ගත වන බව හෙතෙම පෙන්වා දුන්නේය.


ඒ අනුව ඉදිරිපත් කළ මෙම අවසාන වාර්තාව තුළ නිරීක්ෂණ 25 ක් අන්තර්ගත වේ. එසේම මෙම වාර්තාව තුළ නිර්දේශ 15 ක් ද අන්තර්ගත වේ.

මෙහිදී මැතිවරණ ක්‍රම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර ඒ යටතේ පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව නිර්දේශ ද, කාන්තා නියෝජනය වැඩිකිරීම පිළිබඳව නිර්දේශ ද, යොවුන් නියෝජනය යටතේ පළාත් පාලන මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ වල නාම යෝජනා ලැයිස්තු තුළ යොවුන් නියෝජනය සඳහා 25% ක පංගුවක්  (කෝටාවක්) වෙන් කිරීම අනිවාර්ය කිරීම උදෙසා නෛතික විධිවිධාන හඳුන්වාදීම පිළිබඳ නිර්දේශ ද ඇතුළත් වේ.

එසේම ඡන්දදායකයන්ගේ පිළිගැනීම මත දේශපාලන පක්ෂ පිළිගැනීම සම්බන්ධව නිර්දේශ ද, මාධ්‍ය යන කොටස යටතේ මාධ්‍ය උපමාන, විද්‍යුත් මාධ්‍ය තුළින් දේශපාලන  ප්‍රචාරණ කටයුතු සිදු කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය වේදිකාවන් විසින් සිදු කරනු ලබන මැතිවරණ ප්‍රචාරණ කටයුතු, තොරතුරු වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම සහ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳ නිර්දේශ ද මීට ඇතුළත් වේ.

තවද මැතිවරණ ප්‍රචාරණ කටයුතු, ඡන්දය ප්‍රකාශකිරීමේ අයිතිය, නාමයෝජනා ක්‍රමවේදය, මැතිවරණ ක්‍රියාදාමය, මැතිවරණ විනිශ්චය සභාව, මැතිවරණය අවසන් වනතුරු පළාත් පාලන ආයතනවල හා පළාත් සභාවල බලතල කොමසාරිස්වරයා /ලේකම්වරයා හා පළාත් ලේකම්වරයා වෙත අභිනියෝජනය කළ යුතු බව, පළාත් පාලන ආයතනයක් මගින් වාර්ෂික අයවැය අනුමත කිරීමට අසමත් වීම, පළාත් පාලන මැතිවරණවලට තරඟ කිරීමට ක්ෂේත්‍ර නිලධාරීන්ට ඇති සීමාව, ජාතික ලැයිස්තුව සහ සීමා නිර්ණය යන අංශ පිළිබඳව ද මෙම අවසන් වාර්තාවේ නිර්දේශ ඇතුළත් වේ.

මේ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව මෙම ප්‍රවෘත්ති නිවේදනය සමග අමුණා එවා ඇත.

 

1 2

 



සම්බන්ධිත පුවත්

2026-09-18

අනාගත නායකත්වයට අද සිටම සූදානම් විය යුතුයි – ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර

රටේ අනාගතය වෙනස් කළ හැකි නායකත්වයක් ගොඩනැගීමට ශිෂ්‍ය අවධියේ සිටම යහපත් ආකල්ප, වගකීම සහ සහකම්පනය වර්ධනය කරගත යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය පැවසුවාය. කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා (සැප්. 15) පැවැත්වුණු එම විද්‍යාලයේ තුන්වැනි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී   විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ඇය මේ අදහස් පළ කලාය  . එහිදී ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය නවීන තාක්ෂණය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව, දැනුම ලබාගැනීමට සහ සමාජයට යහපත් වෙනසක් ඇති කිරීමට භාවිත කළ යුතු බවද ඇය අවධාරණය කළාය. එමෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළින් ලැබෙන අත්දැකීම් අනාගත නායකත්වය සඳහා වැදගත් පදනමක් වන බව ද පෙන්වා දුන්නාය.එමෙන්ම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කාර්යභාරය, නීති සම්පාදන ක්‍රියාවලිය සහ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව සිසුවියන් දැනුවත් කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වගකීම් සහ කාරක සභා මගින් සිදු කරන අධීක්ෂණ කටයුතු පිළිබඳව ද ඇය පැහැදිලි කළාය.ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරා පත්කර ගැනීම සහ මන්ත්‍රීවරියන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුවියෝ තම අමාත්‍යාංශ හරහා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කළහ.මෙම අවස්ථාවට සහභාගී වූ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභික සාමාජිකාවන් වෙත ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව ගෝතමි බාලිකා විද්‍යාලයේ සිසුවියන්ට අවබෝධයක් ලබාදීමේ අරමුණින් එම විද්‍යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.මේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි මහතා, ගෝතමි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි උපේන්ද්‍රා පියසේන මහත්මිය, එම විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසුහු එක්ව සිටියහ.


2026-09-18

ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් හමුවෙති

ජර්මානු පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායමට අයත් නියෝජිත පිරිසක් දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් 2026 සැප්තැම්බර් 16 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ. ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී  නික්ලාස් කැපර් (Nicklas Kappe) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි නියෝජිත පිරිසට ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙරොල්ඩ් ඔටන් (Gerold Otten), යොහාන් සාටෝෆ් (Johann Saathoff) සහ උලෙ ෂාවුස් (Ulle Schauws) යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. එමෙන්ම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකාවේ ජර්මානු  වැඩබලන තානාපතිනි  සාරා හැසල්බර්ච් (Chargé d’Affaires), පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික කැට්රීනා බියෙනර්ට් (Katerina Bienert) සහ දේශපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ධාරිණී දළුවත්ත (Dharini Daluwatte) යන මහත්මීන්ද  එක්ව සිටියහ.ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා විසින් නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගත් අතර අනතුරුව  එම නියෝජිත පිරිස  ශ්‍රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් සමඟ දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය. ශ්‍රී ලංකා - ජර්මානු  පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වූ අතර, පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා ද ඊට එක්ව සිටියේය.මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි සහ කාරක සභා ක්‍රමය, කාන්තා දේශපාලන නියෝජනය සහ නායකත්වය  ඉහළ නැංවීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය තහවුරු කිරීම මෙන්ම දේශපාලන ක්‍රියාවලියට තරුණ පරම්පරාවේ වැඩි දායකත්වයක් ලබාගැනීම කෙරෙහි අවධානය යොමු විය. අවංකභාවය සහ නීතියට ගරු කිරීම සම්බන්ධයෙන් තරුණ තරුණියන් අතර වර්ධනය වෙමින් පවතින  උනන්දුව පිළිබඳව ද දෙපාර්ශ්වය විසින් අදහස් හුවමාරු කර ගන්නා ලදී. වාර්ගික හා ආගමික ගැටලු විසඳීම සහ සියලු ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව, නියෝජිත පිරිස අමාත්‍යාංශීය උපදේශක කාරක සභා ත්‍රිත්වයක් සහ ආංශික අධීක්ෂණ කාරක සභා ද්විත්වයක් සමඟ ඒකාබද්ධ සාකච්ඡාවකට එක් වූහ. ඒ අනුව මෙම සාකච්ඡාවට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  යන කාරක  සභා සම්බන්ධ විය.ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති,  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්  යන මහත්ම මහත්මීහු ඇතුළු එම කාරක සභා නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්  ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ. එමෙන්ම අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා)  එම්. ජයලාත් පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස විසින් හඳුනාගෙන තිබූ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවලට අදාළව, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව  පවත්වන ලදී.  අදාළ කාරක සභාවල ප්‍රධාන කාර්යභාරයන්, වත්මන් ක්‍රියාකාරකම් සහ උපායමාර්ගික ප්‍රමුඛතා පිළිබඳව මෙහිදී  අදහස් හුවමාරු කර ගැනීම සිදු විය. අපද්‍රව්‍ය කළමනාකරණය, ජලය පිරිපහදු කිරීම සහ ජල සම්පාදනය , විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය මෙන්ම  ආර්ථික හා උපායමාර්ගික සංවර්ධනයට අදාළ දෙරටේ අත්දැකීම් පිළිබඳව ද  මෙහිදී සාකච්ඡා විය.මෙම හමුව ශ්‍රී ලංකාවේ සහ ජර්මනියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අත්දැකීම් සහ අදහස් හුවමාරු කර ගැනීම සඳහා වැදගත් අවස්ථාවක් වූ අතර, දෙරට අතර පාර්ලිමේන්තු සංවාදය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත්  ශක්තිමත් කිරීමට ද දායක විය.


2026-09-14

එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව  පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගේ ලිපියට අනුව, ඉහත ඉල්ලා අස්වීම 2026 සැප්තැම්බර් මස 14 වැනි දින සිට බලපැවැත්වෙන බවද වැඩ බලන මහ ලේකම්වරයා  සඳහන් කර ඇත.ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබේ.


2026-09-11

නව චීන තානාපතිවරයා ගරු කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ගරු වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා පසුගිය  සැප්. 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.නව තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ධුරයට පත්වීම පිළිබඳව ඒ මහතා වෙත සුබපැතුම් පළ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී, විශේෂයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදයේදී, සැබෑ මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව ගරු කථානායකවරයා සඳහන් කළේය. මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය ලබාදුන් සහයෝගය මෙන්ම මෙරට පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ලබාදීම ඇතුළු සහයෝගය ද ඔහු මෙහිදී ඔහු‍ගේ ඇගයීමට ලක් විය.පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල වැදගත්කම පෙන්වා දෙමින් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකා සහ චීන පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය. ඉදිරියේදී ද ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා වැඩසටහන් සහ නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය. එසේම ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය. රජය විසින් දූෂණයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග සහ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව ද ගරු කථානායකවරයා චීන තානාපතිවරයා දැනුවත් කළේය. තවද, එක් තීරයක් - එක් මාවතක් (Belt and Road Initiative) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව විවිධ ක්ෂේත්‍ර වෙත පුළුල් වී ඇති බවත්, එමඟින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.ගරු කථානායකවරයා ලබාදුන් උණුසුම් පිළිගැනීම පිළිබඳව ස්තූතිය පළ කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුහදශීලී බව සහ සිනහව තමන්ගේ සිත් ගත් බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව “සිනහවෙන් පිරි සුන්දර දිවයිනක්” ලෙස හඳුන්වමින්, මෙරටට පැමිණි දා සිට තමන් වෙත ලබාදුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සබඳතා පිළිබඳව අදහස් දැක්වූ තානාපතිවරයා, සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති නාවික සහ සංස්කෘතික හුවමාරු සිහිපත් කළේය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ද එම සබඳතා අඛණ්ඩව වර්ධනය වී ඇති බව ඔහු සඳහන් කළේය.2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ සිදු කළ සංචාරයන්හිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා ද තානාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එම ඉහළ පෙළේ හමුවීම් දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව උපායමාර්ගික මඟපෙන්වීමක් ලබාදුන් බව ද ඔහු පැවසීය.චීනය සිය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බව සඳහන් කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සූදානම් බව ප්‍රකාශ කළේය.2027 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණ වන අතර, දෙරට අතර රබර් - සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම ද සනිටුහන් කෙරේ. මෙම වැදගත් අවස්ථා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන හා පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව ද තානාපති වේයි හුවාෂියැං මහතා සඳහන් කළේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks