logo

02

E   |     |  

2021-12-03

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පළාත් පාලන ගැටලු සාකච්ඡා කිරීමට පළාත් පාලන කොමසාරිස්වරු සහ ආණ්ඩුකාරවරු ඉදිරියේදී කැඳවනවා - අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා

පළාත් පාලන ආයතනවලට අය වැය සම්මත කිරීමකින් තොරව ඉදිරි වර්ෂය සදහා මුදල් දැරීමේ කිසිදු හැකියාවක් නොතිබුණද අම්බලන්ගොඩ නගර සභාව 2021 වර්ෂය සදහා අයවැය සම්මත කරගැනීමකින් තොරව මුදල් වියදම් සිදුකරන බව ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා විය. එය නීතිවිරෝධි බැවින් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමෙන් පසු පළාත් පාළන ආයතනය විසුරුවා හැරීමේද හැකියාව පවතින බව මෙහිදී අනාවරණය විය. මෙම තත්ත්වය මේ වන විට වෙනත් පළාත් පාලන ආයතනයන් කිහිපයක ද සිදුවන බව පැමිණ සිටි මන්ත්‍රීවරු පැවසීය.

මෙය වැරදි පූර්වාදර්ශයක් ද වන බැවින් මේ පිළිබදව විශේෂ අවධානය යොමු කර කටයුතු කරන බව පැවසූ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා  පළාත් පාලන ආයතන සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම සදහා පළාත් පාළන කොමසාරිස්වරු සහ ආණ්ඩුකාරවරු ඇතුළු වගකිවයුතු නිලධාරීන් ඉදිරියේදී මෙම කාරක සභාවට කැදවීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

මෙම කරුණු අනාවරණය වූයේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැවති  රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.

පළාත් පාලන ආයතනවල ව්‍යාපෘති අවසන් කිරීමට ඇති කාලය  දීර්ඝ කිරීමේ අවශ්‍යතාව ද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. සිමෙන්ති හිඟය, පැවති කොවිඩ් තත්ත්වය වැනි හේතු නිසා ව්‍යාපෘති අදාළ කාලය තුළ අවසන් කිරීමට නොහැකිව ඇති බැවින් එම කාලය ලබන වසරේ ජනවාරි දක්වා හෝ දීර්ඝ කළ යුතු බව මෙහිදී සාකච්ඡා විය. මේ පිළිබදව කඩිනමින් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

පළාත් පාලන ආයතන යටතේ ඇති ක්‍රීඩාංගන ආදී දේපළ නිසි පරිදි නඩත්තු නොකිරීම පිළිබඳවද මන්ත්‍රීවරු කමිටුවේ අවධානය යොමු කළහ.‍ පළාත් පාලන ආයකන මගින් එම කටයුතු නිසි පරිදි සිදුවනවා දැයි සොයා බැලීම සඳහා මසකට වරක් හෝ රේඛීය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ප්‍රගති සමාලෝචනයක් සිදු කිරීම සඳහා මැදිහත් වන ලෙස අමාත්‍යවරයා මෙහිදි අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

පළාත් සභා අක්‍රීයව පවතින නිසා පළාත් පාලන ආයතන පරිපාලනය සදහා පළාත් පාලන ආයතනවල මුදල් පරිපාලනය සදහා පළාත් පාලන කොමසාරිස්වරු කටයුතු නොකිරීම නිසා රේඛීය අමාත්‍යාංශය මගින් මෙය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.  

පවතින කොවිඩ් තත්ත්වය නිසා පළාත් පාලන ආයතනවල ආදායම ශීඝ්‍ර ලෙස අඩු වී ඇති බව කාරක සභාවේදී සාකච්ඡා විය. වරිපනම් බදු අයකර ගැනීමේදී තක්සේරුකරණය සඳහා සේවක සංඛ්‍යාව අඩුවීම නිසා ලැබෙන ආදායම සත්‍ය වශයෙන් ලැබිය යුතු ආදායමට වඩා බෙහෙවින් අඩුවී ඇති බව මන්ත්‍රීවරු කමිටුවේ අවධානයට යොමු කළහ. එසේම  නගර සභාවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඖෂධවේදීන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හිඟය ආදී ගැටලු රැසක් පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. අලුතින් බඳවාගත් උපාධිධාරීන් පළාත් පාලන ආයතනවලට යොමුකිරීමට පියවර ගන්නා බවත් මෙම ගැටලු හඳුනාගෙන ඇති බැවින් ඊට කඩිනමින් විසදුම් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

කාරක සභා සාමාජිකයන් වන ශාන් විජේලාල් ද සිල්වා, සුදත් මංජුල ඇතුළු පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයන් රැසක්ද, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

 

1 2

 



සම්බන්ධිත පුවත්

2026-07-20

පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව, විශේෂ කාරක සභාව හමුවට

පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කළ තාක්ෂණික වාර්තාවක් පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් කෙරිණි.ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගියදා රැස්වූ මෙම විශේෂ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් ද සහභාගි විය.මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය සහ මැතිවරණ ප්‍රතිඵල නොවෙනස්ව පවත්වාගෙන යමින් කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳ කරුණු පැහැදිලි කරන ලදී.මෙම යෝජිත මැතිවරණ ක්‍රමවේදය තුළ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීමේදී මතුවිය හැකි නීතිමය හා ප්‍රායෝගික ගැටලු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි රැස්වීමකදී නැවත සාකච්ඡා කිරීමට තීරණය කෙරිණි.පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන්  33% ක් දක්වා ඉහළ නැංවිය යුතු බව එහිදී  අදහස්  දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඒකමතිකව අවධාරණය කරන  ලදී.  ඒ අනුව, අදාළ මැතිවරණ ක්‍රමවේදය සකස් කිරීමේදී එම ප්‍රතිපත්තිමය තීරණය සැලකිල්ලට ගත යුතු බව ද සංසදය විසින් මෙහිදී  පෙන්වා  දෙන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, යන මහත්වරුන් සහ සාමාජික ගරු මන්ත්‍රීවරුන් වන ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මින් මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඇතුළු එම කොමිෂන්  සභාවේ  සාමාජිකයෝ  සහභාගී වී සිටියහ.


2026-07-20

සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා විධිමත් කෘෂිකාර්මික දත්ත පද්ධතියක අවශ්‍යතාව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරේ

වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ රටේ සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති මෙම රැස්වීමේදී, කෘෂිකාර්මික නිෂ්පාදනය සහ වෙළෙඳපොළ ඉල්ලුම අතර පවතින අසමතුලිතතාව අවම කිරීම සඳහා නිවැරදි දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කෙරිණි.වගා කරන භෝග වර්ග, ප්‍රමාණයන් සහ වෙළෙඳපොළ අවශ්‍යතා පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැකි ඒකාබද්ධ පද්ධතියක් හඳුන්වා දීම මගින් අතිරික්ත නිෂ්පාදනය හා මිල ගැටලු අවම කර ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට හැකි බව මෙහිදී අනාවරණය විය.සහල් ක්ෂේත්‍රයට අදාළව සම්බා, කීරි සම්බා, නාඩු සහ රතු සහල් වැනි සහල් වර්ගවල නිෂ්පාදනය හා පරිභෝජන රටාවන් පිළිබඳව ද සාකච්ඡා වූ අතර, වෙළෙඳපොළ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි නිෂ්පාදන සැලසුම් කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.එමෙන්ම, කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන අතර දත්ත හුවමාරුව හා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දෙන ලදී.මේ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාගේ ඉල්ලීමකට අනුව, 2002 අංක 17 දරන මැනුම් පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වූ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විසින් යොමු කරන ලද යෝජනාව ද සලකා බැලිණි.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි මහතා, කිට්නන් සෙල්වරාජ් මහතා සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන් මෙන්ම, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ  ලේකම් වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද  සහභාගී විය.


2026-07-16

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභා වාර්තාවට අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී.ඒ, ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.මෙහිදී අනු කාරක සභාවේ සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් උක්ත වාර්තාව කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුව විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුව ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ නිර්දේශ ඒකී වාර්තාවට ඇතුළත් වේ.ඉන් අනතුරුව වාර්තාවේ අන්තර්ගත කරුණු පිළිබඳව කාරක සභාවේ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා විමසා බැලූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව එම වාර්තාව සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.මෙම රැස්වීමට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ.


2026-07-16

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 - 2024 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය "කෝපා" කමිටුවේ අවධානයට

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 සිට 2024 දක්වා වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA/කෝපා) දීර්ඝ ලෙස සලකා බැලීය.ඒ, එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ සේවා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයන්ට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ කාරක සභාව, ඉතිරි නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ සහ සුගත් තිලකරත්න යන මහත්වරුන් ද, කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ, ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, හෙක්ටර් අප්පුහාමි, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි, වෛද්‍ය ජනක සේනාරත්න සහ සුනිල් රත්නසිරි යන මහත්වරු ද සහභාගි වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks