logo

02

E   |     |  

2021-11-29

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

වසර 10ක් ප්‍රමාද වූ කල්පිටිය දූපත් සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට වහාම වැඩපිළිවෙලක් ආරම්භ කරන්න - ‘කෝප්’ කමිටුව සංචාරක සංවර්ධන අධිකාරියට දැනුම්දෙයි

කල්පිටිය ප්‍රදේශයේ ඇති සංචාරක සංවර්ධනය අධිකාරිය යටතේ පවතින දූපත් 12 ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සංචාරක සංවර්ධනය අධිකාරියට පසුගියදා දැනුම් දුන්නේය.
 
අක්කර 2055 ක් වූ එම දූපත් 12 න් 5 ක් සදහා  ආයෝජකයෙක් 2011 වසරේදී ඉදිරිපත් වුවද ඔහුගේ ජල බංගලා ව්‍යාපෘතියට (Water Bungalows) අනුමැතිය ලබා ගැනීමට නිසි ආයතනයක් හඳුනා ගැනීමට නොහැකි වීම නිසා  මෙය ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය විය. මාලදිවයිනේ දැනටමත් මෙම වර්ගයේ හෝටල් ඇති  මෙම ආයෝජකයාට අනුමැතිය ලබා දීමට නොහැකිව වසර 10 ක් තුළ මෙලෙස ව්‍යාපෘතියක් ප්‍රමාද වීම සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම රටේ සංවර්ධනයට බාධාවක් බැවින් මේ සදහා වහාම මැදිහත් විය යුතු බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඉතා සුන්දර මෙම දූපත් සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. මේ සදහා කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇති බැවින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් සභාව, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ  දෙපාර්තමේන්තුව වැනි අදාළ සියලු පාර්ශව සමග මෙහෙයුම් කමිටුවක් පත් කොට ශක්තිමත් නෛතික රාමුවක් තුළ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාට සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු  මහත්මියට කෝප් සභාපතිවරයා දැනුම් දුන්නේය.   

සංචාරක සංවර්ධන අධිකාරියේ 2018 සහ 2019 වර්ෂයන් සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සඳහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (26) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

තවද වසර කිහිපයකට පෙර කතරගම සංචාරක නිකේතනයේ අලුත්වැඩියාව සදහා වැය කළ රු. මිලියන 29 න් මිලියන 11 ක් නොකළ වැඩ සදහා ගෙවා ඇති බවට තිබූ විගණන නිරීක්ෂණය පිළිබඳව කමිටුව අවධානය යොමු කළේය. නැවත පත්කළ විශේෂඥ කමිටුවක් මගින් මෙම මිලියන 11 ක අගය රු මිලියන 4.8 කට තක්සේරු කර ඇති බවද මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත් මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා පත් කළ කමිටුවක් මගින් අදාළ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට නීතිපති මගින් දඩුවම් ලබා දෙන ලෙස නිර්දේශ වී ඇතත් මේ වන විටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවිය. ඒ වෙනුවට සිද්ධියට සම්බන්ධ නිලධාරියාට‍ අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත් කර ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා අනාවරණය කළ අතර මේ පිළිබඳව කමිටුව සිය දැඩි අප්‍රසාදය පළ කළේය. මෙය පවතින කළමනාකාරීත්වය විවේචනය කිරීමක් නොව රාජ්‍ය ආයතන දිගු කලක් තිස්සේ පැවතෙන මෙම ක්‍රමවේදය වෙනස් කොට විගණන නිරීක්ෂණ වලට සහ  නිර්දේශවලට නිසි පියවර ගැනීම වගකීමක් බවත්   කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම කල්පිටිය තොරයිඅඩි ජැටිය සහ වන්නිමුන්දලම කලපුව අසල පාර ඉදි කිරීම වෙනුවෙන් කලුගල් සහ බොරලු පස් සදහා වැඩිපුර මිලියන 10 ක් ගෙවීම පිළිබඳව ද  කමිටුව කරුණු විමසා  සිටියේය. මෙහිදී අධිකාරිය පැවසුවේ මේ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයාගෙන් විමසූ බවත් එහිදී අදාළ ලියකියවිලි ඔවුන් සතුව නොමැති බැවින් ඉදිරි කටයුතු සිදු කිරීමට නොහැකි බව දන්වා ඇති බවත්ය.  මේ පිළිබඳව සොයා බැලීමට 2016 වසරේදී කෝප් කමිටුව විසින් නිර්දේශයක් ලබා දී තිබුණද මේ පිළිබඳව සොයා බැලීමට ආරම්භ කොට ඇත්තේ 2018 වසරේදී බව විගණාධිපතිවරයා අනාවරණය කළේය. මේ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපතිවරයා පැවසුවේ රටේ මූල්‍ය පාලනය පිළිබඳව ඉහළම ආයතනය වන පාර්ලිමේන්තුව මගින් ලබා දෙන නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන බැදී සිටින බැවින් වහාම මේ පිළිබඳව විමර්ශනයක් කොට කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසයි.       
                                                                                                                                                                    
2018 - 2019 වසර වල සංචාරක කටයුතු සංවර්ධනය සදහා රු බිලියන 1.2 ක් වියදම් කළද සංචාරයකයන් පැමිණ ඇත්තේ මිලියන 1.9 ක් බවත් මේ නිසා වඩාත් කාර්යක්ෂක්ෂම යාන්ත්‍රණයක් යටතේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් දැනට වෙන්ව පවතින ආයතන ක්‍රියාත්මක විය යුතු බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දුන්නාය. මේ අනුව සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වන විට වෙන් වෙන්ව ක්‍රියාත්මක වන   ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ  ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන ඒකාබද්ධ කොට තනි ආයතනයක් ගොඩනගන බවත්  ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය වෙනම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්  සභාපතිවරිය වැඩිදුරටත් පැවසීය.

මේ සදහා මේ වන විට කැබිනට් අනුමැතිය  හිමිවී  ඇති බැවින් ලබන මාර්තු-අප්‍රේල් වන විට නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය. වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් සදහා අමාත්‍යාංශ සහ එම ආයතනවල අවශ්‍යතාව එය නම්  එම කටයුතු කඩිනම් කරන ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

මාලදිවයින මේ වන විට සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවට එම තත්ත්වයට යාමේ ඇති බාධාව පිළිබඳ කමිටුවේ අවධානය යොමුවිය. මෙහිදී කිමාලි ප්‍රනාන්දු  මහත්මිය පැවසුවේ මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේදී ඉහළම මිල ගණන්වල සුඛෝපභෝගි හෝටල් පමණක් ක්‍රියාත්මක වීම, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක මහජන සම්බන්ධතා හරහා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම, ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයන් 15 දෙනෙකුගේ කුඩා කණ්ඩායමක් යටතේ මෙහෙයවීම, ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර ආයෝජකයන් ගෙන්වීම හරහා ඔවුන් විශාල ප්‍රවර්ධනයක් සිදුකිරීම යනාදි කරුණු මීට බලපා ඇති බවයි. එසේම කොවිඩ් වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ආයතනය විශාල කාර්යභාරයක් සිදුකළ බව සභාපතිවරිය මෙහිදී පැවසීය. කොවිඩ් තත්ත්වය තුළ හෝටල්කරුවන් පුහුණු කරවීම, මේ වන විට සංචාරක ලියාපදිංචිය මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය හරහා සම්පූර්ණයෙන්ම සිදු කිරීම යනාදිය තම ආයතනය ලැබු විශාල ප්‍රගතියක් බවද ඇය පැවසීය.  

සංචාරක සංවර්ධන අධිකාරිය සතුව බොහෝ ‍ප්‍රදේශවල ඇති ඉඩම් ඇතුළු දේපළ වඩාත් ඵලදායි ලෙස සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමේ අවශ්‍යතාවයද කෝප් කමිටුවේදී අවධාරණය කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, නලින් බණ්ඩාර, එස්.එම් මරික්කාර්, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුද සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1

2

4

 



සම්බන්ධිත පුවත්

2026-07-23

ඩොලර් මිලියන 700කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer - TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය.ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි  සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (ජූලි 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම විමර්ශනය යටතේ සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා සිදුකර ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. TT ක්‍රමය මගින් මුදල් යවා තිබුණද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථාද විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව සඳහන් විය.අනීතික විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින බාධා, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවේ පවතින අඩුපාඩු සහ බැංකුවල පාරිභෝගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Know Your Customer - KYC) ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක ව්‍යවසායකයන්ට අනවශ්‍ය අපහසුතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.  නව රෙගුලාසි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය වන ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කළේය.අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි පිළිබඳව කාරක සභාව්වේදී සලකා අනුමත කෙරුණු, භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම, ආනයන ගනුදෙනු අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය අවභාවිතයන් පාලනය කිරීම එහි අරමුණ බව සඳහන් විය.නව රෙගුලාසි අනුව පෙර ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ "සුදුසුකම් ලත් ආනයනකරුවන්" ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු මගින් Unique Identification Number (UIN) ලබාදී එම තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තා කළ යුතු වේ.එමෙන්ම අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසිද කාරක සභාවේදී අනුමත කෙරිණි.ඒ අනුව, ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයනය සඳහා පාලන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර HS කේත 55ක් නව පාලන ක්‍රමවේදයට ඇතුළත් කර තිබේ. නීතිවිරෝධී ලෝහ අපනයනය වැළැක්වීම සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම මෙම පියවරේ අරමුණ බව සඳහන් විය.


2026-07-22

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ යොමුකිරීමේ අනුදේශ කෙටුම්පත සම්මත කෙරේ

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය වෙනුවෙන් සකස් කර ඇති යොමු කිරීමේ අනුදේශ (Terms of Reference) කෙටුම්පත  පාර්ලිමේන්තු සංවර්ධන හවුල්කාර ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණි.ඒ එම සංසදය එහි සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදීය.සංසදය විසින් මෑතකදී සංවිධානය කරන ලද වැඩමුළුවකදී යොමුකිරීමේ අනුදේශය සකස් කිරීම සඳහා යෝජනා සහ අදහස් ලබාගෙන තිබූ අතර, එම යෝජනා පදනම් කර ගනිමින් මෙම අවසන්  කෙටුම්පත සකස් කර ඇත. එසේම, යොමුකිරීමේ අනුදේශය සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර, සංසදය නියෝජනය කරමින් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙහිදී එකඟතාව පළ විය. 


2026-07-22

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්‍රමවේදය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි.ඒ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී පර්යේෂණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ආයතනික මෙහෙයුම් කමිටුව (Institutional Operations Committee) සහ සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත සම්බන්ධීකරණ කණ්ඩායම (Six-member Coordination Team) පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම පර්යේෂණය සඳහා යොදා ගැනීමට නියමිත මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය (Mixed-Methods Design), ප්‍රශ්නාවලි (Questionnaires) සකස් කිරීම සහ දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස අවධානය යොමු විය.තවද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුකාරක සභාව වෙත මහජන අදහස් ලබාගැනීමේ ප්‍රගතියද මෙහිදී සාකච්ඡා කෙරුණි.පර්යේෂණයට අදාළ මානව සම්පත් සහ කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) අංශවල දායකත්වය ලබාගැනීම, පර්යේෂණයේ ක්‍රියාකාරී කාලසටහන (Gantt Chart) සකස් කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද මෙහිදී කරුණු සලකා බැලීය.එසේම, වාණිජ මණ්ඩල, කර්මාන්ත සංගම් සහ වෘත්තීය ආයතන ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ සහ රටපුරා පිහිටි තෝරාගත් SLIATE ආයතනවල ක්ෂේත්‍ර නිරීක්ෂණ (Field Visits) සිදුකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.පර්යේෂණයේ ඉදිරි ක්‍රියාමාර්ග නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කරමින් මීළඟ රැස්වීමට අවශ්‍ය ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට ද අනුකාරක සභාවේදී තීරණය කෙරිණි.මෙම අනුකාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ද එක්විය.


2026-07-22

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් අවභාවිතයන් සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් CID සහ අල්ලස් කොමිසමට කරුණු යොමු කිරීමට "කෝප්" කමිටුවේ අවධානය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ඉඩම් අවභාවිතයන්, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE/කෝප්) අවධානය යොමු විය.ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමර්ශනයේ ඉතිරි කරුණු සලකා බැලීම සඳහා කෝප් කමිටුව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී මාලිගාවත්ත, ඇල්විටිගල මාවත සහ දඹුල්ල රංගිරිගම ප්‍රදේශවල පිහිටි අධිකාරිය සතු වටිනා ඉඩම්, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සහ ඉතා අඩු නාමික වටිනාකම් යටතේ බාහිර පාර්ශ්ව වෙත බදු දීම, ගිවිසුම්වල සඳහන් පරමාර්ථයන්ට පටහැනි ලෙස එම ඉඩම් භාවිත කිරීම සහ අධිකාරිය සතු දේපළ නිසි ලෙස ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙම ගනුදෙනු බොහොමයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරමාර්ථයන්ට සහ නීතිමය ප්‍රතිපාදනවලට පටහැනිව සිදුවී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කළ අතර, අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළේය.තවද, මෙම සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම අනාගතයේදී මෙවැනි අක්‍රමිකතා නැවත සිදු නොවන පරිදි දේපළ කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාරක සභාව නිර්දේශ කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතීඥ සුජීව සේනසිංහ, මුජිබුර් රහුමාන්, චමින්ද විජේසිරි, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, සුනිල් රාජපක්ෂ, තිලිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, රුවන් මාපලගම, ජගත් මනුවර්ණ සහ දිනේෂ් හේමන්ත, එම්.කේ.එම්. අස්ලම්, සුදත් බලගල්ල යන මහත්වරු සහභාගි වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks