01

E   |     |  

2021-09-07

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මන්නාරම ද්‍රෝණියේ අන්තර්ගත ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකියි - බලශක්ති අමාත්‍ය ගරු උදය ගම්මන්පිල මහතා

මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින්  රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය ගරු උදය ගම්මන්පිල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට  50% ක් ලබා දුන්නද ඩො.බි. 133.5 ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩො.බි. 47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තුවට දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටි අතර මෙම පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සදහා වන මෙම කෙටුම්පත රජයේ ප්‍රමුඛතම කාර්යක් සේ සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120ක් ක්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

අප අසල්වාසී රටවන ඉන්දියාව 1940 දශකයේ සිට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ සිට තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු සිදු කළද ශ්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මග හැරී ඇති බවත් මේ සම්බන්ධ විෂය ප්‍රවීණයන් ඇතුළු විද්වතුන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඒ සදහා විවිධ හේතු  බලපා ඇති බව හඳුනාගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ තෙල් ගවේශනය සදහා පසුගිය කාලයේ ලෝකයේ දැවැන්ත සමාගම් නොපැමිණ ඇති බවත් ඊට විවිධ හේතු සාධක බලපා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

“මීට පෙර මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සිටි නිලධාරීන්ට විෂය සම්බන්ධව තිබු අවබෝධය අඩු නිසා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම හරහා විෂය සම්බන්ධ ප්‍රවීණයන්ට මෙම කාර්ය භාර දීමට අපි කටයුතු කළා. එසේම  බලපත්‍ර නිකුත් කිරීම වැනි නියාමන බලය සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයා වෙත කේන්ද්‍රගතව පැවති බැවින් අමාත්‍යවරයා වෙනස් වීම වැනි අවස්ථාවදී සියලු කටයුතු අඩාල වීම ඉතිහාසයේ සිදුව තිබුණා. මේ නිසා අමාත්‍යවරයා සතුව තිබු සියලු බලතල මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරීමට අප තීරණය කළා. ඒ වගේම පැවති සාම්ප්‍රදායික සිතියම වෙනුවට නවීන සිතියමක් තෙල් සහ ගෑස් ගවේශන කටයුතු සදහා  සකස් කළා” යැයිද අමාත්‍යවරයා පැවසීය.

එසේම ඩොලර් බිලියන ගණනක් මෙම කර්මාන්තයට ආ‍යෝජනය කළ යුතු බැවින් මෙම විශාල ආයෝජන ආරක්ෂා කිරීමට අදාළ ශක්තිමත් නීති රාමුවක් හඳුන්වා දීමත්, අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමට විශේෂ කමිටුවක් පත් කිරීමත් මෙම පනත හරහා සිදුවන බවත් අමාත්‍යවරයා පැවසීය.
සාමාන්‍යයෙන් ලෝකයේ සම්මතය අනුව  තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ‍ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථක වීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථක වීම සදහා  ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථක වීම ඉතා යහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම මෙම කටයුතු සදහා ලොවපුරා විහිදී සිටින මෙම විෂය සම්බන්ධ ලාංකේය විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට අපෙක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි , නලින් බණ්ඩාර, මුදිතා ප්‍රිශාන්ති, ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහූ ද ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී.වයි.ජී. රත්නසේකර යන මහත්වරු ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4



සම්බන්ධිත පුවත්

2026-01-09

පුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ කෝපා කමිටුව අවධාරණය කරයි

තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) බඳවාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ අවධානයපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයපුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අවධානය යොමු විය.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021, 2022 හා 2023 යන වර්ෂයන්වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2026.01.06 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මෙම කාරක සභාව 2023 ඔක්තෝම්බර් 03 දින රැස් වූ අවස්ථාවේදී, රටතුළ සියලු පුරාවිද්‍යා කැණීම් සිදු කරන ලද  ස්ථාන, එම කැණීම් මගින් සිදු කරන ලද සොයාගැනීම් සහ ඒවායේ සාර්ථක අසාර්ථක බව, එම කැණීම් තවදුරටත් ඉදිරියට කරගෙන යා යුතුද, නැද්ද යන්න, කැණීම් සිදු කළ යුතු වෙනත් ස්ථාන මොනවාද යන‍ාදී තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර පවත්වාගෙන යන ලෙස නිර්දේශ කර ඇති බවයි. කාරක සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය විමසීමේදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විටත් සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නොමැති බවත් කැණීම් බලපත්‍රවලට පමණක් අදාළව දත්ත පද්ධතිය පවත්වාගෙන යන බවත්ය.මේ අනුව, කාරක සභාව පෙන්වා දුන්නේ මෙම දත්ත පද්ධතිය සකස්කර යාවත්කාලීනව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් මේ වෙනුවෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් සහයක් අවශ්‍ය නම් එය ලබාදීමට කාරක සභාව සූදානම් බවත්ය. එසේම තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) වැඩි ප්‍රමාණයක් මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කිරීමේ වැදගත්කමද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදි. මේ සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් (IT officers) 12 දෙනෙකු බඳවාගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී තිබුණද දැනට සිටින්නේ එක් නිලධාරියෙකු පමණක් බවත්, ඔහුද ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය නොකරන බවයි. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ පවතින පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු ඉක්මනින් කරන ලෙසයි.එසේම පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු යාවත්කාලීන තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතිය සම්බන්ධ යෝජනාවලියක් මාස 3ක් ඇතුළත කාරක සභාව වෙත ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය. විශේෂයෙන්ම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ඉතාම වැදගත් බවයි. මේ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඉක්මනින් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදි.එසේම දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් 31 දිනට හඳුනාගත් සමස්ත පුරාවිද්‍යා ස්ථාන වලින් 48% ගැසට් නොකිරීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද සහ නොකරන ලද සියලු දත්ත පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.මීට අමතරව ලෝක උරුමයන් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානයට යෝජනා කිරීමට තීරණය කරන ලද ස්ථාන සහ අදාළ කෙටුම්පත පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් සුගත් තිලකරත්න, අරවින්ද සෙනරත්, නලීන් හේවගේ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, (නීතීඥ) සාගරිකා අතාවුද, (නීතීඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා,  ලාල් ප්‍රේමනාත්, මංජුල සුරවීර ආරච්චි, රුවන්තිලක ජයකොඩි සහ  සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2026-01-08

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි...

දිත්වා හේතුවෙන් ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක් මෙන්ම  5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් - මුදල් අමාත්‍යාංශයේ ලේකම්මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඊයේ (ජන. 07) ගරු. ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය. කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ  මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී විය.දිත්වා සුළි කුණාටුව හේතුවෙන්  ආපදාවට ලක්වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම හඳුන්වා දී තිබෙන බවටද මෙහිදී සඳහන් විය. ඒ අනුව රුපියල් මිලියන  25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසී ය.තවද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති  බවත්, එකී මුදල්  නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. අමතර මුදල් ලබා දීම සලකා බැලීමට  ප්‍රථමයෙන්  දැනට වෙන් කොට, ලබා දී තිබෙන මුදල් නිසි ලෙස යෙදවීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස මුදල් , ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා මාත්‍යාංශයට  උපදෙස් ලබා දෙන ලදී.තවද, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කමඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට බඳුන් විය.ඒ අනුව, පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට සහන සැලසීම පිළිබඳව ද රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා  සඳහන් කළේය.එමෙන්ම, ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පැවසීය.නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය හේමාලි වීරසේකර මහත්මිය, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්  ඇතුළු  එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා)  සහ  (වැඩ බලන) අධ්‍යක්ෂ සන්නිවේදන  එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-01-08

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ගරු ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන. 07) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී එළැඹි තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් බොහෝ ගැටලු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඒවාට  සාධනීය විසදුම් ලබා දීමට ගරු ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුවූ අතර මෙම කටයුතු සිදු කරගෙන යාමේදී තවදුරටත් පවතින බාධා සහ ඊට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා විය.එසේම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ද අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම  ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද  අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ. 


2026-01-08

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

2025.01.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 06) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව  (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ  අංක  2452/40 දරන අති  විශේෂ  ගැසට්   පත්‍රයේ පල කරන ලද  නියෝග මගින්  කිසියම් මාර්ගයක මෝටර් වාහනයක්, පදවනු ලබන, ක්‍රියාත්මක කරනු ලබන හෝ සත්‍ය වශයෙන් යම් මෝටර් වාහනයක් කායිකව පාලනය කරනු ලබන යම් තැනැත්තකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් නිලධරයකු විසින් සාධාරණව සැක කරනු ලබන අවස්ථාවක දී ඒ පොලිස් නිලධරයා විසින් ඒ තැනැත්තා රජයේ වෛද්‍ය නිලධරයකු හෝ රෝහල විසින් තත්කාර්ය සඳහා බලය දෙන ලද යම් නිලධරයකු වෙත වැඩිදුර පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළ යුතු බව දක්වා ඇත. එමෙන්ම  (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ   අංක  2455/29 දරන අති විශේෂ  ගැසට්  පත්‍රයේ පල කරන ලද  නියෝගය මගින් අධිවේගී මහා මාර්ගයක  රථවාහන වල ගමන් කිරීමේදී සෑම පුද්ගලයෙකුම ,පුද්ගල ආරක්ෂක ආසන පටියක් පැළඳ සිටිනු ලැබිය යුතු  බව දක්වා ඇත. ඒ අනුව මෙම නියෝග සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. තවද මෙම රැස්වීමේදී දිවයින තුළ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය  හේතුවෙන්  සිදුවූ හානිය  සහ ඒවා  යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු  කාරක සභාව දැනුවත් කළහ.  ඒ අනුව කිලෝමීටර 1481 පමණ දුරකින් යුත්, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කොටස්  287ක් කැඩී ගොස් ඇති බව එම අධිකාරියේ නිලධාරීහු පැවසූහ. ඒවා  නැවත ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු ගතමුදල  රුපියල් බිලියන 86ක් පමණ වන  බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 300ක පමණ අලාභයක් සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ. තවද ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රුපියල් මිලියන 63ක පමණ පාඩුවක්  ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුව තිබෙන බවත් එම නිලධාරීහු පැවසූහ. එමෙන්ම ලංකාවේ මාර්ග පද්ධතියට ඒ ඒ ප්‍රදේශවල සිදුව ඇති හානි පිළිබඳව, මහජනතාවට  අදාළ බලධාරීන් දැනුවත් කිරීම උදෙසා වෙබ් පිටුවක් සකස් කර ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව https://road-lk.org/ යන වෙබ් පිටුවට පිවිස අදාළ හානි පිළිබඳව දැනුවත් කිරීමේ අවස්ථාව මහජනතාවට පවතින බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග  ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, අනෙකුත් ගරු  නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks