02

E   |   த   |  

2021-09-07

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මන්නාරම ද්‍රෝණියේ අන්තර්ගත ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකියි - බලශක්ති අමාත්‍ය ගරු උදය ගම්මන්පිල මහතා

මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින්  රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය ගරු උදය ගම්මන්පිල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට  50% ක් ලබා දුන්නද ඩො.බි. 133.5 ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩො.බි. 47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තුවට දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටි අතර මෙම පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සදහා වන මෙම කෙටුම්පත රජයේ ප්‍රමුඛතම කාර්යක් සේ සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120ක් ක්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

අප අසල්වාසී රටවන ඉන්දියාව 1940 දශකයේ සිට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ සිට තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු සිදු කළද ශ්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මග හැරී ඇති බවත් මේ සම්බන්ධ විෂය ප්‍රවීණයන් ඇතුළු විද්වතුන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඒ සදහා විවිධ හේතු  බලපා ඇති බව හඳුනාගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ තෙල් ගවේශනය සදහා පසුගිය කාලයේ ලෝකයේ දැවැන්ත සමාගම් නොපැමිණ ඇති බවත් ඊට විවිධ හේතු සාධක බලපා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

“මීට පෙර මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සිටි නිලධාරීන්ට විෂය සම්බන්ධව තිබු අවබෝධය අඩු නිසා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම හරහා විෂය සම්බන්ධ ප්‍රවීණයන්ට මෙම කාර්ය භාර දීමට අපි කටයුතු කළා. එසේම  බලපත්‍ර නිකුත් කිරීම වැනි නියාමන බලය සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයා වෙත කේන්ද්‍රගතව පැවති බැවින් අමාත්‍යවරයා වෙනස් වීම වැනි අවස්ථාවදී සියලු කටයුතු අඩාල වීම ඉතිහාසයේ සිදුව තිබුණා. මේ නිසා අමාත්‍යවරයා සතුව තිබු සියලු බලතල මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරීමට අප තීරණය කළා. ඒ වගේම පැවති සාම්ප්‍රදායික සිතියම වෙනුවට නවීන සිතියමක් තෙල් සහ ගෑස් ගවේශන කටයුතු සදහා  සකස් කළා” යැයිද අමාත්‍යවරයා පැවසීය.

එසේම ඩොලර් බිලියන ගණනක් මෙම කර්මාන්තයට ආ‍යෝජනය කළ යුතු බැවින් මෙම විශාල ආයෝජන ආරක්ෂා කිරීමට අදාළ ශක්තිමත් නීති රාමුවක් හඳුන්වා දීමත්, අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමට විශේෂ කමිටුවක් පත් කිරීමත් මෙම පනත හරහා සිදුවන බවත් අමාත්‍යවරයා පැවසීය.
සාමාන්‍යයෙන් ලෝකයේ සම්මතය අනුව  තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ‍ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථක වීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථක වීම සදහා  ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථක වීම ඉතා යහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම මෙම කටයුතු සදහා ලොවපුරා විහිදී සිටින මෙම විෂය සම්බන්ධ ලාංකේය විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට අපෙක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි , නලින් බණ්ඩාර, මුදිතා ප්‍රිශාන්ති, ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහූ ද ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී.වයි.ජී. රත්නසේකර යන මහත්වරු ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4



සම්බන්ධිත පුවත්

2026-10-14

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් මෙම වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු  අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා වෙත භාර දෙන ලදී.ඒ,මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඊට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් මෙන්ම මින් පෙර මැතිවරණ සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි වාර්තාවන් ද ඇතුළත්ව  ඒවා සම්බන්ධයෙන්  ගැඹුරින් සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා උක්ත විද්වත් කමිටුව පත් කෙරිණි. වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස්,  සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති  සමන් ශ්‍රී රත්නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ, සීමා නිර්ණය කොමිෂන් සභාවේ  සාමාජික ආචාර්ය කේ. තවලිංගම් සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් යන මහත්ම මහත්මීන් එම කමිටුවේ සාමාජිකයන් වේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂ කාරක සභාවේ සභාපති ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා , යෝජනා ඉදිරිපත් කළ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු සහ තේමා සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර කාරක සභාව වෙත භාර දී ඇති බව පැවසුවේය.මේ වනවිට ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක්  විසින් ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, මහජනතාව, විවිධ ආයතන හා සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කර මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.අතුරු  වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද, රටේ පුරවැසියන්ට සහ මහජනතාවට සිය සංශෝධන හා නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.මේ අතර, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලබා දී තිබූ කාලසීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටද කාරක සභාව තීරණය කර තිබේ.එමෙන්ම, මහජන අදහස් සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයන්ට අවශ්‍ය නම් සිය පෞද්ගලික යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව  පවතින  බව ද  කාරක සභාව විසින් අවධාරණය  කරන ලදී.මෙම රැස්වීමෙන් අනතුරුව, කාරක සභාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ගරු සභාපතිවරයාගේ සහ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වන ලදී.මෙම කාරක සභා රැස්වීමට කාරක සභාවේ සාමාජිකයන් වන ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සුනිල් වටගල සහ මුනීර් මුලාෆර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-10-08

NDB බැංකුවේ මූල්‍ය අක්‍රමිකතා සහ අවසන් විගණන වාර්තාව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් විමසීමක්

NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 06) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී NDB බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල මතු වූ අසාමාන්‍යතා, විගණන ක්‍රියාවලියේ පැවති අඩුපාඩු සහ අදාළ විගණන වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස් සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, එම්.කේ.එම්. අස්ලම්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙහිදී ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතීන් නිරීක්ෂණ මණ්ඩලය (SLAAMB) විසින් සිදු කර ඇති විමර්ශනයේ සොයා ගැනීම් සහ Deloitte Touche Tohmatsu India LLPආයතනය විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ කරුණු පිළිබඳවද අවධානය යොමු විය. විශේෂයෙන්ම NDB බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල පැවති අසාමාන්‍යතා හඳුනා ගැනීමට බාහිර විගණකවරුන් අසමත් වීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී කරුණු විමසා බැලීය.අදාළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ආයතනික පාලනය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වගවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.එමෙන්ම, NDB බැංකුවේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් රාජ්‍ය හා මහජන අරමුදල් නියෝජනය කරන ආයතන සතු බැවින්, මෙවැනි මූල්‍ය අක්‍රමිකතාවලින් රාජ්‍ය අරමුදල්වලට සහ මහජනතාවට සිදු විය හැකි බලපෑම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.මූල්‍ය පද්ධතිය තුළ සිදුවන වංචා වැළැක්වීම සඳහා LankaPay මඟින් මධ්‍යගත වංචා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කළ අතර  එක් එක් බැංකුව තුළ සිදු වන ගනුදෙනු අධීක්ෂණය කිරීම සඳහා බැංකු මට්ටමින් වංචා නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.ඒ අනුව, NDB බැංකුවේ මූල්‍ය අක්‍රමිකතාව පිලිබඳ  අවසන් විගණන වාර්තාවේ පහත නිරීක්ෂණ ඇතුළත් වේ.1. මෙම විගණනය 2016.04.01 සිට 2026.03.31 දක්වා වූ කාලසීමාව ආවරණය කරයි. රු. 13,639,664,684/- (රු. බිලියන 13.6) ක වටිනාකමකින් යුත් වංචනික ගනුදෙනු හේතුවෙන් ඇති වූ මූල්‍ය බලපෑම මෙම විගණන වාර්තාව මගින් නිශ්චිතව දක්වා ඇත.2. 2026.09.29 දින සිදු කරන ලද හෙළිදරව්වට අනුව, වංචනික ගනුදෙනු හේතුවෙන් ඇති වූ මූල්‍ය බලපෑම පහත පරිදි වේ.•    2025.01.01 ට පෙර කාලසීමාව සඳහා රු. බිලියන 1.5 ක් •    2025 වර්ෂය තුළ රු. බිලියන 9.6 ක් •    2026.03.31 න් අවසන් වූ කාර්තුව සඳහා රු. බිලියන 2.5 ක්3. 2026.04.06 දින NDB විසින් සිදු කරන ලද මූලික හෙළිදරව්ව හා සසඳන විට, වාර්තා වූ වංචා මුදල රු. බිලියන 13.2 සිට රු. බිලියන 13.6 දක්වා රු. බිලියන 0.4 කින් ඉහළ ගොස් ඇත. 2026.06.22 දිනැති අතුරු වාර්තාව මත පදනම්ව 2026.06.26 දින NDB විසින් හෙළිදරව් කරන ලද මුදල හා සසඳන විට, මෙම අතිරේක වංචා මුදල රු. මිලියන 60 කි.4. මෙම වංචා සිදුවීම හේතුවෙන් කිසිදු පාරිභෝගික ගිණුමකට බලපෑමක් සිදු නොවූ බවට මීට පෙර සිදු කළ හෙළිදරව් කිරීම් අවසාන විගණන වාර්තාව මගින් ද තහවුරු කර ඇත.5. CEFT ගනුදෙනු සැකසීම, මූලික බැංකුකරණ පද්ධතියේ (Core Banking system) පරිශීලක මට්ටමේ ක්‍රියාකාරකම් (user activities) සහ පරිශීලක ප්‍රවේශ තොරතුරු (user credentials) කළමනාකරණයට අදාළව NDB හි පාලන ව්‍යුහ (governance) අසාර්ථකත්වයන් කිහිපයක් මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇත. මීට අමතරව, ගනුදෙනු අධීක්ෂණය( transaction monitoring), දෛනික ගිණුම් සැසඳීමේ ක්‍රියාවලිය (reconciliation), මූල්‍ය අනුකූලතාව (compliance), අභ්‍යන්තර විගණනය, ශාඛා ජාල කළමනාකරණය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය (operational risk management) වැනි ක්‍රියාකාරී ක්ෂේත්‍ර කිහිපයක ද අඩුපාඩු හඳුනාගෙන ති‌බේ.6. බැංකුවේ ඉහත සඳහන් ක්‍රියාකාරකම් තුළ පාලන ක්‍රමවේද, පාලන ව්‍යුහයන් සහ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා පුළුල් නිර්දේශ මෙම විගණන වාර්තාව මගින් ලබා දී ඇත.


2026-10-05

තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාකච්ඡාවට

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා Westminster Foundation for Democracy (WFD) ආයතනයේ සහාය ලබාගැනීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.ඒ තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය සැප්. 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. WFD ආයතනයේ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙහිද තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා WFD ආයතනය මඟින් ලබාගත හැකි සහාය, පුහුණු අවස්ථා සහ තරුණ නායකත්ව සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද තරුණ පරම්පරාව දේශපාලන ක්‍රියාවලියට, ප්‍රතිපත්ති සම්පාදනයට සහ පාලන ක්‍රියාවලියට සක්‍රීයව සම්බන්ධ කරගැනීමේ වැදගත්කම පිළිබඳවද පැමිණි නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සිදු විය. විශේෂයෙන්ම මැතිවරණවලින් පසුවද තරුණයින් අඛණ්ඩව දේශපාලන හා ප්‍රතිපත්ති සංවාද සමඟ සම්බන්ධ කර තබා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.එමෙන්ම, තරුණයින් මුහුණ දෙන රැකියා විරහිතභාවය ඇතුළු සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ නායකත්වය සහ ඔවුන්ගේ දේශපාලන සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා විය.


2026-10-05

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත පිළිබඳව සංසදයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කර නව පනතක් පැනවීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දී අවධානය යොමු විය. එම සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරයා 1996 ගෙන එන ලද උක්ත පනතින් පසුව, ගත වූ වසර 30ක කාලය පුරාම ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් නීතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම සාකච්ඡා වූ බව සඳහන් කළේය. 2006 වසරේදී එළිදැක්වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UN CRPD) 2016 වසරේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කළ ද, එම ප්‍රඥප්තියට අනුකූල දේශීය නීතියක් සකස් කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. 2016 සිට විවිධ අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල තීරණ ගනිමින් මෙම කෙටුම්පත සකස් කිරීමට උත්සාහ කළ ද, එය සකස් කිරීමේදී මුල් අභිලාෂයන් සහ වත්මන් කෙටුම්පත් අතර යම් යම් පරස්පරතාවයන් මතු වී ඇති බැවින්, අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය කර ගැනීම වැදගත් බව සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුව විසින් තම නිරීක්ෂණ අන්තර්ගත කර සකස් කරන ලද ආදර්ශ පනත් කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව, එම දෙපාර්තමේන්තුව විසින් යළි සකස් කර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති අතර, එම කෙටුම්පත පිළිබඳව ජාතික සභාවේ අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය දැනට සිදු වෙමින් පවතින බව අමාත්‍යාංශ නිලධාරීන් විසින් එහිදී පැහැදිලි කරන ලදී. මින් පෙර අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව යොමු කරන ලද නිරීක්ෂණද සලකා බලමින්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළු විවිධ පාර්ශ්වයන්හි නිරීක්ෂණ ද පදනම් කර ගනිමින් මෙම නීතිමය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සියලු පාර්ශ්ව විසින් තම අදහස් පළ කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (UN CRPD) අනුකූල වන පරිදි ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.නව නීති පැනවීමේදී සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී, “අප නැතුව අපි ගැන තීරණ ගන්න එපා” (Nothing About Us Without Us) යන පදනම මත පිහිටා, ආබාධ සහිත ප්‍රජාවගේ සෘජු නියෝජනය සහ සහභාගිත්වය ලබාගැනීමේ වැදගත්කම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී.  එමෙන්ම, ආබාධ සහිත තැනැත්තන් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබා දීම, සමාන සේවා කොන්දේසි හා වේතන හිමිකර දීම සහ රැකියා ස්ථානයන්හි සාධාරණ පහසුකම් සැලසීම (reasonable accommodation), රාජ්‍ය සේවයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වෙන් කර ඇති රැකියා කෝටාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිමය යෝජනා සහ ඊට අදාළ රෙගුලාසි ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. වත්මන් සමාජ සහ ආර්ථික පසුබිමට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි, ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු වන තිරසාර නෛතික රාමුවක් කඩිනමින් සකස් කර ගැනීම සඳහා අදාළ සියලු ආයතන අතර එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි. මෙම රැස්වීමට සංසදයේ නියෝජ්‍ය සම සභාපති ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) නිහාල් අබේසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ. එමෙන්ම, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ නිලධාරීන්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ පනත් කෙටුම්පත් සම්පාදක අනුකමිටුවේ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks