පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2020-12-07
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
මෙරට ග්‍රාමීය මූලයන් හි පවතින සැබෑ අවශ්‍යතාවයන් සහ ප්‍රමුඛතාවයන් හඳුනාගත් ‘වැඩ සමග ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට දියත් කිරීමට නියමිත බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී අද ( 07) පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ මුලසුන හොබවමින් එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ එම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින් අදාළ ව්‍යාපෘතිය දියත් කිරීමට දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වූයේ, ශ්‍රී ලාංකිකයන්ගෙන් 72%ක් වූ ග්‍රාමීය සහ අර්ධ නාගරිකයන්ගේ ජීවන මට්ටමේ සාධනීය වෙනසක් ඇති කිරීමට නම් නිලධාරිවාදයට නොව ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයන් ට මුල් තැන දිය යුතු බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ යෝජනාවට ප්‍රතිචාර වශයෙනි .
මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර්. ආටිගල මහතා මෙහිදී අදාළ ස්ථාන සම්බන්ධව අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තිබිය යුතු බව කියා සිටියේය. මේ අනුව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ෂෙහාන් සේමසිංහ මහතාගේ ද සහයෝගය සහිතව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා එකඟ විය.
අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එහිදී මතු කර සිටියේ , පවතින තත්ත්වය අනුව මෙරට සංචාරක කර්මාන්තය අසීරුතාවන්ට මුහුණ පා සිටින බැවින් හැකි ඉක්මනින් ඊට මුදල් අමාත්‍යාංශයේ සහයෝගය ලබාදිය යුතු බවයි. මේ සම්බන්ධව මුදල් අමාත්‍යංශය ගත් පියවර රැසක් සභාවට ලේකම්වරයා විසින් පැහැදිලි කරනු ලැබීය.
ඒ අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා, විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් සහ සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සඳහා අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් සභාවට පෙන්වා දුන්නේය . ඊට පිළිතුරු දුන් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සඳහා අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහයෝගයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ ප්‍රශ්නය කඩිනමින් විසඳීමට නියමිත බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මතු කළ විශ්‍රාම වැටුප් විෂමතාවයන් පිළිබඳව ගැටලුවට විස්තරාත්මකව පිළිතුරු දුන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා කියා සිටියේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට පමණක් රජය වියදම් කරන මුදල රු. ට්‍රිලියන 1.1 ක් වන බවයි . අයවැය යෝජනාවලිය අනුව උපාධිධාරීන් 50,000ක් රාජ්‍ය සේවයට අලුතෙන් බඳවාගැනීම ට නියමිත අතර, අඩු ආදායම්ලාභී පවුල්වලින් ද රුපියල් 35,000 වැටුප් ලබන තරුණ තරුණියන් 100,000ක් බදවාගැනීම ද සිදුවන බැවින් ඔවුන්ගේ වැටුප් ද මීට එකතු විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
එහිදී , මෙය ඕනෑම රජයක් විසින් ඉතා අසීරුවෙන් මූල්‍ය කළමනාකරණය කරන අවස්ථාවක් බව සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළ සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඒ කටයුත්ත ඉතා මැනවින් ඉටු කරගෙන යන බව සභාවට දැනුම් දුන්නේය.
අද පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු මෙන්ම අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාද , මන්ත්‍රීවරු වන ජගත් කුමාර , මහාචාර්ය රංජිත් බණ්ඩාර , ගුණපාල රත්නසේකර , එස්.වියලේන්ද්‍රන් , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , ඩබ්.ඩී.වීරසිංහ සහ මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු ද සහභාගීව සිටියහ.
ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින් , මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරික ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


