පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2015-08-27
පුවත් කාණ්ඩ : පුවත්

අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම 2015 සැප්තැම්බර් මස 01 වැනි අඟහරුවාදා පූ. භා. 9.30 ට ආරම්භ කරනු ලැබේ.
පාර්ලිමේන්තුවට පැමිණීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යටත් පිරිසෙයින් පු. භා. 9.00 වන විට පාර්ලිමේන්තුවට පැමිණීම අවශ්‍යය. ඔවුහු තම කලත්‍රයන් සමග පැමිණෙන්නේ නම් කාර්ය මණ්ඩල ප්‍රවේශද්වාරය අභියසදී තම රථවලින් බැසිය යුතු අතර අනෙක් සියලුම මන්ත්‍රීවරු, මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශද්වාරය අභියසදී තම රථවලින් බැසිය යුතු වෙත්. පාර්ලිමේන්තුව කරා එළඹීම පහසු කරවනු වස් මේ සමග එවා ඇති රථ ලේබලය තම රථයේ වින්ඩ්ස්ක්‍රීනයේ ඇතුළු පැත්තේ ඉහළ වම් කෙළවරේ අලවා තබන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පාර්ලිමේන්තුව කරා පැමිණිමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථ ගාල වෙත යවනු ඇත.
වැඩ පිළිවෙළ: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පිවිස ගණපූරණ සීනු නාද කෙරෙන තුරු එහි රැඳී සිටිය යුතු වෙත්.
පූ. භා. 9.25 සිට විනාඩි පහක් ගණපූරණ සීනු නාද වන අතර මන්ත්‍රීවරුන් සභා ගර්භයෙහි රැස්වීමෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වනු ඇත. පූ. භා. 9.30ට සීනු නාද වීම නතරවන අතර, වේත්‍රය රැගත් වේත්‍රධාරී සභා ගර්භයට පිවිසෙනු ඇත. වේත්‍රධාරී සභා මේසය වෙත ගොස් වේත්‍රය එහි පහළ රැඳවුමෙහි තබන තෙක් මන්ත්‍රීවරුන් ස්වකීය අසුන්වලින් නැගී සිටිය යුතු ය. වේත්‍රධාරී අසුන් ගැනීමෙන් පසු, පාර්ලිමේන්තුව කැඳවීමේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශන පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් කියවනු ඇත. ඉනික්බිතිව පාර්ලිමේන්තුවේ මහ ලේකම්, කථානායකවරයෙකු ඡන්දයෙන් තෝරා පත් කිරීමෙහි වහාම නිරත වනු ඇත.
කථානායකවරයෙකු ඡන්දයෙන් තෝරා පත් කිරීමේ ක්‍රියා පිළිවෙළ අංක 3 සහ 4 දරන ස්ථාවර නියෝගවල දැක්වේ. කථානායක ධූරයට මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරනු රිසි යම් මන්ත්‍රීවරයෙක් ස්වකීය ආසනයෙන් නැගී සිටි විට ඔහු වෙත පාර්ලිමේන්තුවේ මහ ලේකම් අත දිගු කළ කල්හි, අංක 4(2) දරන ස්ථාවර නියෝගයෙන් විස්තර කර ඇති ප්‍රකාර ඔහුගේ යෝජනාව ඉදිරිපත් කළ යුතු ය. නමක් යෝජනා කිරීමට එක් මන්ත්‍රීවරයෙකුට වැඩි දෙනෙක් තම අසුන්වලින් නැගී සිටියහොත්, පළමුවෙන් යෝජනාව ඉදිරිපත් කළ යුතු මන්ත්‍රී කවරෙකුදැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් තීරණය කර එම මන්ත්‍රීවරයා වෙත අත දිගු කළ විට ඔහුගේ යෝජනාව ඉදිරිපත් කළ යුතු අතර එම යෝජනාව ඉදිරිපත් කිරීම හා ස්ථිර කිරීම අවසන් වන තෙක්, නැගිට සිටි අනික් මන්ත්‍රීවරුන් අසුන් ගත යුතු ය. කථානායක ධූරයට නම් යෝජනා කිරීමට අදහස් කරන මන්ත්‍රීවරුන් විසින් රැස්වීම ආරම්භ වීමට පෙර තම අදහස් පාර්ලිමේන්තුවේ මහ ලේකම්ට දැනුම් දීම සාමාන්‍ය සිරිතක් පමණක් නොව, වැඩ කටයුතුවල පහසුවට බොහෝ සේ ආධාර වන කරුණක් ද වේ.
ඡන්දයෙන් තේරී පත්වීමෙන් අනතුරුව, කථානායකතුමා පාර්ලිමේන්තුවේ මතයට අවනත වන බව දක්වන අතර යෝජක සහ ස්ථිරකරු විසින් එතුමා මූලාසනය වෙත කැඳවාගෙන යනු ඇත. කථානායකතුමා මූලාසනය වෙත පැමිණ අසුන් ගැනීමට පෙර, තමා තෝරා පත් කර ගැනීම ගැන ස්වකීය ස්තූතිය ඉතා ලුහුඬින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනු ඇත. කථානායකතුමා මූලාසනාරූඪ වෙත්ම වේත්‍රධාරී විසින් සභා මේසයේ පහළ රැඳවුමෙහි ඇති වේත්‍රය ගෙන සභා මේසය මත තබනු ඇත. ඉන්පසු කථානායකතුමා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ලවා තමාගේ ප්‍රතිඥා දීම හෝ දිවුරුම් දීම කරවා ගෙන පොතෙහි අත්සන් තබනු ලැබේ. මෙම අවස්ථාවේදී කථානායකවරයා වශයෙන් එතුමා තෝරා පත් කර ගැනීම ගැන පක්ෂ නායකයන් විසින් සතුට පළ කෙරෙන කථා පවත්වන අතර, කථානායකතුමා නැවත වරක් පාර්ලිමේන්තුවට ස්වකීය ස්තූතිය ප්‍රකාශ කරනවා ඇත.
මන්ත්‍රීවරුන්ගේ ප්‍රථම රාජකාරිය වනුයේ නීති ප්‍රකාර ප්‍රතිඥා දීම හෝ දිවුරුම් දීම බව කථානායකතුමා දැන් මන්ත්‍රීවරුන්ට මතක් කර දෙනු ඇත. එතුමා විසින් ප්‍රතිඥා දීම හෝ දිවුරුම් දීම කරවීමෙහි නිරත වනු ඇත. මේ අවස්ථාවේදී දිවුරුම් පත්‍ර මන්ත්‍රීවරුන් වෙත බෙදා දෙනු ලබන අතර ඔවුන් තම ප්‍රතිඥා දීම හෝ දිවුරුම් දීම හෝ කර අත්සන් තැබීමට නියමිත පොතෙහි අත්සන් තබා, පුරවා අත්සන් කරන ලද දිවුරුම් පත්‍ර පාර්ලිමේන්තුවේ මහ ලේකම්ට භාර දෙනු ඇත.
පැමිණ සිටින සියලු මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිඥා දීම හෝ දිවුරුම් දීම අවසානයේදී පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායකවරයෙකු හා නියෝජ්‍ය කාරක සභාපතිවරයෙකු තේරීමේ කාර්යයේ යෙදෙනු ඇත. මෙම කාර්යය, කථානායකවරයෙකු ඡන්දයෙන් තෝරාපත් කර ගැනීමේ දී අනුගමනය කරන පිළිවෙළට හැකි තරම් සමාන වන නමුත් ඡන්ද විමසීම කථානායකතුමා විසින් ම සිදු කරනු ලැබේ. (අංක 6 දරන ස්ථාවර නියෝගය බලන්න.)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33 ව්‍යවස්ථාවන්ට අනුව අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතනු ඇත.
ඉන්පසු පාර්ලිමේන්තුව කල් තැබීම සිදු කෙරේ.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.
2026-08-21
• ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.
2026-08-20
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ. අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-08-20
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks