පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-08-20
පුවත් කාණ්ඩ : පුවත්
2026-08-20
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.
2026-08-20
තැපැල් සේවකයින්ට තැපැල් බෙදා හැරීම සඳහා විද්‍යුත් යතුරු පැදි (e-motor bike) 165 ක් සහ විද්‍යුත් ත්‍රිරෝද රථ (e-three wheelers) 20 ක් 2026 වර්ෂය සඳහා මිලදී ගැනීමට නියමිත බවත් ඉදිරියේ දී අදියර වශයෙන් ඉතිරි යතුරු පැදි අවශ්‍යතාවය සපුරා ගැනීමට නියමිත බවත් ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය පැවසුවාය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතාගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී ගරු නියෝජ්‍ය අමාත්‍යවරිය ඉහත අදහස් ප්‍රකාශ කළාය.තැපැල් දෙපාර්තමේන්තුව 1798 වර්ෂයේදී පිහිටුවා ඇති බවත්, මේ වනවිට එය දිවයින පුරා පුළුල් ජාලයක් ඔස්සේ සිය සේවාවන් පවත්වාගෙන යන බවත් ඇය සඳහන් කළාය. දැනට මෙරට මුළු තැපැල් කාර්යාල 647ක් පවතින බවත්, අධි ශ්‍රේණි තැපැල් කාර්යාල 52ක්, පළමු පෙළ තැපැල් කාර්යාල 294ක් සහ දෙවන පෙළ තැපැල් කාර්යාල 301ක් එයට ඇතුළත් බවත් ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය පැවසුවාය. මීට අමතරව උප තැපැල් කාර්යාල 3,282ක් දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් කියැවිණි.තැපැල් දෙපාර්තමේන්තුවේ මේ වනවිට ස්ථිර සේවකයින් 17,830 දෙනෙකු සහ ලියාපදිංචි ආදේශකයින් 1,660 දෙනෙකු සේවය කරන බවත්, ඒ අනුව සමස්ත සේවක සංඛ්‍යාව 19,490ක් බවත් ඇය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 7,881ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. එහිදී ස්ථිර සේවක පුරප්පාඩු 4,753ක් සහ ලියාපදිංචි ආදේශක පුරප්පාඩු 3,128ක් පවතින බව සඳහන් විය.මෙම පුරප්පාඩු පිරවීම සඳහා මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බව ද කෞෂල්‍යා ආරියරත්න මෙනවිය පැවසුවාය. ඇයගේ වැඩිදුර අදහස් දැක්වීමට අනුව, විධායක සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් අධිකාරීන් 21 දෙනෙකු අභ්‍යන්තර බඳවා ගැනීම යටතේ බඳවාගෙන තිබේ. තැපැල් සේවා නිලධාරීන් 461 දෙනෙකු විවෘත තරඟ විභාගයක් මගින් බඳවාගෙන ඇති අතර, තැපැල් සහායකයින් 732 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ලබා දී ඇත. එමෙන්ම රියදුරන් 40 දෙනෙකු විවෘත තරඟ විභාගයක් මගින් බඳවාගෙන ඇති අතර, උප තැපැල් ස්ථානාධිපතිවරුන් 367 දෙනෙකු සඳහාද ස්ථිර පත්වීම් ලබා දී තිබේ. තවද, ලියාපදිංචි ආදේශකයින් 1,000 දෙනෙකු බඳවා ගැනීම සඳහා දිවයින පුරා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
2026-08-19
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් හා “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින (අගෝ. 19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
2026-08-18
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (අගෝ. 18) සිය සහතිකය සටහන් කළේය.1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා විසින් 2026.07.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, එය 2026.08.06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ මුල් පනතේ 38 වන වගන්තියේ ''සත්ව'' යන යෙදුමේ නීතිමය අර්ථ දැක්වීම පුළුල් කිරීමයි. එමෙන්ම ''සතකු" යන්න නැවත අර්ථ දැක්වීම මගින් එළුවන්, ඌරන් සහ බැටළුවන් මෙම පනතේ II කොටසේ විධිවිධානවලට යටත් වන බව සහතික කෙරේ. තවද, පනතේ IV කොටසට අදාළව බැටළුවන්, එළුවන්,ඌරන් සහ කුකුළන් ඇතුළත් වන පරිදි අර්ථ දැක්වීම් පැහැදිලි කර ඇත.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් 2026.07.21 දින පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, එයද 2026.08.06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනය මගින් 1974 අංක 24 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත නවීකරණය කරමින් ජල සම්පාදන හා අපජල කළමනාකරණ සේවා සැපයීම සම්බන්ධයෙන් මණ්ඩලයේ බලතල හා කාර්යයන් ශක්තිමත් කරනු ලබයි.කාර්මික වතු, කාර්මික උද්‍යාන සහ ප්‍රජා මූලික සංවිධානවල ජල හා අපජල කළමනා කරණ සේවාවන් ද මණ්ඩලයේ වගකීම්වලට ඇතුළත් වන පරිදි එහි වගකීම් පුළුල් කර ඇත. මීට අමතරව, වඩාත් ඵලදායි හා තිරසාර ජල හා අපජල කළමනාකරණයක් සඳහා සහාය වන පරිදි සේවක රක්ෂණ යෝජනා ක්‍රම, තාක්ෂණික සේවා, පුහුණු සේවා, රසායනාගාර සේවා සහ උපදේශන සේවා පුළුල් කිරීම සඳහා ද මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සලසා ඇත.ඒ අනුව, සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 19 දරන සත්ව (සංශෝධන) පනත ලෙසත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 20 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත ලෙසත් බලාත්මක වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks