පනත් කෙටුම්පත් පිළිගැන්වීම
විසර්ජන (2010)
2010 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල් වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනත් කෙටුම්පත අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී:-
- අතරගල්ල එක්සත් ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
- සමස්ථ ලංකා භික්ෂු සහයෝගිතා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
ගරු කරු ජයසූරිය මහතාට පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී:-
- පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ)
- සීමාසහිත ශ්‍රී විද්‍යාවාස සමාජසේවා සංගමය (සංස්ථාගත කිරීමේ)
ගරු චන්දිම වීරක්කොඩි මහතාට
"බෞද්ධ සිද්ධස්ථාන පුනරුත්ථාපනය කිරීමේ පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2010 ජූනි මස 02 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.
ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති යෝජනාව වැඩි ඡන්ද 68 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 121 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 53 ක් ප්‍රකාශ විය.
අනතුරුව, සභාව පැය 1635 ට 2010 ජූනි මස 9 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.