E   |     |  

2005-10-12

ඉෆ්තාර් 2005

රාමදාන් කාලය තුළ යෙදුණු 2005 ඔක්තෝබර් මස 12 වන දින, පාර්ලිමේන්තුව විසින් මෙම ඉස්ලාම් ආගමික උත්සවය කථානායක නිල නිවසේදී සමරනු ලැබිණි. රට තුළ ආගමික හා ජාතික සමඟිය ශක්තිමත් කරනු වස් මේ උත්සවය පැවැත්වීම ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ අභිප්‍රාය විය.

ගරු ජනාධිපති හා ගරු අග්‍රාමාත්‍ය වරයාද කැබිනට් ඇමතිවරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මුස්ලිම් නායකයෝද, අන්‍යාගමික නායකයෝද තානාපතිවරුන් ඇතුළු දහසකට ආසන්න ආරාධිත පිරිසක්ද උත්සවයට සහභාගී වී සිටියහ.

මෙම උත්සවයට ප්‍රධාන අනුග්‍රහය සපයන ලද්දේ අරාබියානු රාජකීය ව්‍යාපාර සමූහයේ සභාපති විසිනි. උත්සවයේ සංවිධාන කටයුතු මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ගරු රවුෆ් හකීම් මහතාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් හසන් අල් ෆාසි ෂෙරිෆ් සහ සාම විනිසුරු එම්. බී. එම්. හම්සා යන මහත්වරුන් විසිනි.

ලොව පුරා වසන සියලු මුස්ලිම්වරු, ඉස්ලාමීය දින දර්ශනයට අනුව යෙදෙන රාමදාන් මාසය තුළ දින 30ක කාලයක් නිරාහාරව උපවාසයේ යෙදෙති. "ඉෆ්තාර්" යනු දිනපතා උපවාසය නිමාකරමින් සවසට ආහාර ගැනීමයි.

වරදට පොළඹවන දෙයින් හා සමකාලීනයන්ගෙන් එල්ල වන පීඩනයන් සමඟ ගනුදෙනු කිරීමේදී ජීවිතය පුරාම මහෝපකාරී විය හැකි ස්වයං ශික්ෂණය හා අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කිරීමට උපකාරී වන බැවින් ශුද්ධ වූ රාමදාන් මාසයට සුවිශේෂී වැදගත්කමක් හිමිවේ. උපවාසය තුළින් බඩගින්න, පිපාසය වැනි ස්වාභාවික අවශ්‍යතා පාලනය කිරීමට මුස්ලිම්වරුන් ඉගෙන ගන්නා අතර එමඟින් අධික ලෙස ආහාර ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය හෝ සෞඛ්‍යයට අහිතකර හා අනර්ථකාරී අනෙකුත් පුරුදු වැනි අනවශ්‍ය දේ සඳහා වන පෙළඹවීම්වලට වඩා හොඳින් විරුද්ධ වීමේ හැකියාව ලැබේ.

එළඹෙන හැම වර්ෂයකදී ම මේ උත්සවය සැමරීමට පාර්ලිමේන්තුව බලාපොරොත්තු වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks