පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2007-10-17
මනුෂ්‍ය වර්ගයාට සම්පත ලබාදෙන ලක්ෂ්මී දෙවඟනගේ ආශිර්වාද පතා පවත්වන ලක්ෂ්මී පූජාව, පෙර වසරවලදී මෙන්ම මෙවරද නවරාත්‍රී උත්සව සමය තුළ කථානායක නිල නිවසේදී පැවැත්විණි. ගරු කථානායකතුමාගේ අදහසක් අනුව ක්‍රියාවට නංවා ගරු නියෝජ්‍ය කථානායකතුමා සහ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා විසින් පාර්ලිමේන්තු මහලේකම්තුමියගේ කාර්ය මණ්ඩලයේ ආධාරයෙන් සංවිධානය කැරුණු මේ උත්සවයට අනුග්‍රාහකත්වය සපයන ලද්දේ ආගමික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසිනි.
ඔක්තෝබර් 17 වනදා සවස, ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ ආරාධනය පරිදි, ගරු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රධාන අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගී විය. ගරු නියෝජ්‍ය කථානායකතුමා, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා, ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ විදෙස් නියෝජිතයින්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
නෙතටත් සිතටත් සුවයක් ගෙනදුන් මෙම පූජාව දෙහිවල විෂ්ණු කෝවිලේ බ්‍රහ්මශ්‍රී වෙන්ගඩ සුබ්‍රමනිය කුරුක්කල්තුමා සහ සත්‍යනාරායණ කුරුක්කල්තුමා විසින් ඉතා දක්ෂ ලෙස මෙහෙයවන ලදී. “නාදස්වරම්” වලින් සමන්විත වාද්‍ය වෘන්දයක්ද මේ සඳහා සූදානම් කර තිබුණි.
පූජාවෙන් පසු භරත නාට්‍ය නර්තනයක් හා ගීත ගායනාද පැවැත්විණි. කොළඹ අබිනය ක්ෂේත්‍රා හි දිව්‍යා සිවනේසන් හා ගීත් ද සිල්වා ඇතුළු නර්තන ශිල්පීන් විසින් පවත්වන ලද නර්තනය පැමිණ සිටි පිරිස විසින් මහත් සේ අගය කරන ලදී. “නාදස්වර ඉසෛ ඇරුවි” වී. කේ. පඤ්ඤමූර්ති සහ කුමාරන් සංගීත කණ්ඩායම විසින් මෙහෙයවන ලද නිර්මාණශීලී වාද්‍ය කණ්ඩායම ආනන්දජනක හැඟීමක් එක් කළේය. පාරම්පරික සිංහල ශාස්ත්‍රීය සං ගීත අංගය මේ උත්සවයේ විශේෂ අංගයක් වූ අතර සභාවේ නොමඳ පැසසුම් ලද්දේය.
ප්‍රඥාව, ධනය හා බලය උදෙසා හින්දු බැතිමතුන් වන්දනාමාන කරනා “නවරාත්‍රී” උත්සව සමයේ පැවැත්වූ මේ පූජාව, ලක්මව්ගේ සංස්කෘතික අගයන් සුරැකි සිදුවීමක් මෙන්ම අප රටට අත්‍යාව ශ්‍ය සාමය හා සහජීවනය බලාපොරොත්තු වූවක් ද විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks