E   |     |  

2007-12-20

දියවන්නා නත්තල් ගී මිහිර - 2007

වාර්ෂික නත්තල් බැති ගී උත්සවය 2007 දෙසැම්බර් මස 20 වනදා ගරු කථානායකතුමාගේ නිල නිවසේදී පැවැත්විණි . මෙවර උත්සවය නම් කර තිබුණේ "දියවන්නා නත්තල් ගී මිහිර - 2007" ලෙසිනි.

එදින සවස් වරුවේ සිට නිල නිවස පරිශ්‍රයට සෙනඟ රැස්වන්නට වූහ. සුපුරුදු පරිදි මුළු පරිශ්‍රයම කොඩිවලින් සරසා තිබුණි. ද්වාර මණ්ඩපයේ පැත්තක් ආලෝකයෙන් හා සැරසිලි වලින් සරසා තිබුණු අතර ජාතික මට්ටමෙන් නත්තල සැමරීම සඳහා සියල්ල මනාව සංවිධානය කර තිබුණි.

වැඩසටහනේ පළමු භාගයේදී ඉතා අර්ථවත් සහ ප්‍රසිද්ධ සිංහල හා දෙමළ බැති ගී සමඟින් ජේසු බිළිඳුන්ගේ උපත ජීව ගැන්විණි. ඉන්පසුව විශේෂ යාඥා ඔප්පු කරන ලද අතර සජීවී ගවලෙන එහි පැමිණි කාගේත් අවධානය දිනාගත් මනහර අංගයක් විය.

සවස 6 ට ආරම්භ වූ නත්තල් මෙහෙය පැය භාගයකට මදක් වැඩි කාලයක් පැවැත්විණි . මඟුල් බෙර නාදය මධ්‍යයේ ශුද්ධ වූ පවුල විශේෂ කාමරයට ඇතුල්වීම වැදගත් සිදුවීමක් විය . මෙහෙය අවසන ගරු බෙනඩික්ට් ජෝසෆ් පියතුමා විසින් රචිත "දේශීය නත්තල් ගීතාවලියෙන් මතුවන ජයකොඩි පිය ලකුණ" නම් ග්‍රන්ථය එළි දක්වන ලදුව එහි පිටපත් ගරු කථානායකතුමා , ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ගරු අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිතුමා සහ පැමිණ සිටි අනෙකුත් සම්භාවනීය අමුත්තන් වෙත පිරිනමන ලදී. මීට අමතරව, ආගමික නායකයෝ, ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අනෙකුත් සම්භාවනීය අමුත්තෝ සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෝද උත්සවයට සහභාගී වී සිටියහ. ඉනික්බිති එළිමහනේ නත්තල් බැති ගී මෙහෙය ආරම්භ විය.

මේ අවස්ථාව වෙනුවෙන් විවිධ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද නත්තල් බැති ගී ඉතා උචිත වූවාක් මෙන්ම රැස්ව සිටි පිරිස ප්‍රබෝධමත් කිරීමට සමත් විය. කලාසූරී අයිවෝ ඩෙනිස් මහතාගේ පැමිණීමත් ඔහු විසින් නත්තල් බැති ගී කිහිපයක් ගායනා කිරීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. අතීතයත් වර්තමානයත් සම්බන්ධ කරන පුරුක ලෙසින් ඔහු හැඳින්විය හැකිය. මීට අමතරව, ලතා වල්පොල මහත්මිය ගැයූ "නමෝ මරියනි" ගීතයත්, ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කළ "රෑ තරු බබළනවා" ගීතයත් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් විය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය ආදී ආයතන නියෝජනය කළ බැති ගී කණ්ඩායම්වලට අමතරව තවත් ගීතිකා කණ්ඩායම් ද උත්සවය සඳහා සහභාගී වී සිටියහ.

එක් රැස්වී බැති ගී රස විඳිමින් සිටි පිරිසට ඔවුන්ගේ පවස නිවා ගැනීමට හා ප්‍රණීත භෝජන රස විඳීමටද අවස්ථාව සලසා තිබුණි.

තවත් විශේෂ සිදුවීමක් වූයේ මෙම උත්සවය වෙනුවෙන් අයිවෝ ඩෙනිස් මහතාගේ තෝරාගත් ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළි දැක්වීමය. එහි පළමු පිටපත ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත පිරිනමන ලදී.

ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනී සේවය විසින් උත්සවය වීඩියෝ මගින් පටිගත කළ අතර, නත්තල් දින රාත්‍රියේ ජාතික රූපවාහිනිය ඔස්සේ එය විකාශය කැරිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks