01

E   |     |  

 දිනය: 2017-08-22   පිළිතුර ලබා දී ඇත 

1629/2017: “සූර්ය බල සංග්‍රාමය" ව්‍යාපෘතිය: ප්‍රගතිය

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      “සූර්ය බල සංග්‍රාමය” ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සූර්ය විදුලිබල සබඳතා ලබාගෙන ඇති පාරිභෝගික සංඛ්‍යාව කොපමණද;

            (ii)      “සූර්ය බල සංග්‍රාමය” ව්‍යාපෘතිය යටතේ පාරිභෝගිකයෙකු විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දෙන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල කොපමණද;

(iii) මුල් ව්‍යාපෘති යටතේ, ඉදිරි වසර 5ක කාලය තුළ ජාතික පද්ධතියට ලබා ගැනීමට අපේක්ෂා කරන විදුලිබල ධාරිතාවය කොපමණද;

 

(iv) සූර්ය විදුලි බලය, ජාතික පද්ධතියට එක් කිරීම පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් දක්වනු ලබන මන්දගාමී ප්‍රතිපත්තියට හේතුව කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-22

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      "සූර්ය බල සංග්‍රාමය" ව්‍යාපෘතිය පසු ගිය අවුරුද්දේ සැප්තැම්බර් මස 06 වැනි දා පටන් ගත්තේ. එම ව්‍යාපෘතිය යටතේ ලබා දී තිබෙන පාරිභෝගික සබඳතා ප්‍රමාණය 3,909යි. තවත් පාරිභෝගිකයන් 2,000ක් පමණ ඉල්ලුම් කර තිබෙනවා. නමුත් තවම සබඳතා ලබා දීලා නැහැ. දැනට මෙගාවොට් 35ක පමණ සබඳතා ලබා දීලා තිබෙනවා. මෙගාවොට් 33ක පමණ සබඳතා ලබා දීමට යෝජිතව තිබෙනවා. සම්පූර්ණ ප්‍රමාණය මෙගාවොට් 68ක් පමණ වෙනවා, ගරු කථානායකතුමනි. ඒක ලොකු ප්‍රමාණයක්.

2016.09.06 දින සිට "සූර්ය බල සංග්‍රාමය" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද අතර මේ වනවිට සූර්යබල සංග්‍රාමය යටතේ ස්ථාපිත කර ඇති සූර්ය විදුලිබල සම්බන්ධතා ලබාගෙන ඇති පාරිභෝගික සංඛ්‍යාව ඇමුණුම 01හි දක්වා ඇත.

මම එම ඇමුණුම සභාගත* කරනවා.

(ii) ගරු කථානායකතුමනි, මෙය රටේ ජනතාවට වැදගත් විශේෂ ව්‍යාපෘතියක්. සූර්යබල සංග්‍රාමය යටතේ අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද ක්‍රමවේද 3ක් තිබෙනවා.

1. ශුද්ධ මනුකරණ (Net metering) ක්‍රමය. යම් විදුලි පාරිභෝගිකයකු තම නිවසේ / පරිශ්‍රයේ වහල මත ස්ථානගත කර ඇති සූර්ය පැනල මඟින් ජනනය කරන විදුලිය ඒකක සහ පරිභෝජනය කරන විදුලි ඒකක අතර වෙනසට පමණක් විදුලි පරිභෝජන ගාස්තු ගෙවීම. මෙහිදී අදාළ පාරිභෝගිකයාගේ විදුලි නිෂ්පාදනය පරිභෝජනයට වඩා වැඩි නම්, එම ඒකක ගණන ඉදිරි මාසවලදී පරිභෝජනයට ගත හැක. අතිරික්ත විදුලි නිෂ්පාදනයට මිලක් ගෙවනු නොලැබේ. මෙම අතිරික්ත විදුලිය ඒකක ප්‍රමාණය වසර 10ක කාලය ඇතුළත අදාළ පාරිභෝගිකයාට පරිභෝජනය කිරීමට අවස්ථාව සලසා ඇත.

මෙම Net metering ක්‍රියාවලිය තුළ අපි නිෂ්පාදනය කරන විදුලිය ඒකක ප්‍රමාණයට, අපි පාවිච්චි කරන විදුලිය ඒකක ප්‍රමාණය හිලව් කරනවා. ලංකා විදුලිබල මණ්ඩලයට වැඩිපුර විදුලිය ලැබුණත්, ඒ සඳහා පාරිභෝගිකයාට මුදල් ගෙවන්නේ නැහැ. ඒක තමයි පරණ ක්‍රමය. ඒ ක්‍රමයත් දිගටම තිබෙනවා.

2. ශුද්ධ ගිණුම්කරණ (Net accounting) ක්‍රමය. තම වහල මත සවිකරන සූර්ය පැනල මඟින් ජනනය කරන විදුලි ඒකක ගණන ඔහු විසින් පරිභෝජනය කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩි නම්, වැඩිපුර ජනනය කළ විදුලි ඒකක සඳහා මුල් වසර 7ක කාලය තුළ ඒකකයකට රුපියල් 22ක් සහ 8වන වර්ෂයේ සිට 20වන වර්ෂය දක්වා වූ ඉතිරි වර්ෂ 13ට එක් ඒකකයකට රුපියල් 15.50ක මුදලක් ගෙවීම. යම් හෙයකින් විදුලිය පරිභෝජන ඒකක ගණන ජනන ඒකක ගණනට වඩා වැඩි නම්, දැනට පවතින විදුලි පරිභෝජන ගාස්තුව අනුව පාරිභෝගිකයා විසින් වැඩිපුර පරිභෝජනය කරන ඒකක ගණනට ගෙවීම. ඒ කියන්නේ වාසිය තිබෙන්නේ පාරිභෝගිකයාට නම්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයාට ගෙවනවා. වාසිය තිබෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය පැත්තට නම්, පාරිභෝගිකයා balance එක විතරක් ගෙවනවා.

3. නෙට් ප්ලස් (Net Plus) ක්‍රමය. තම වහල මත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන විදුලි ඒකක ගණනට මුදල් ගෙවීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. මෙහිදී ශුද්ධ මනුකරණ ක්‍රමය යටතේ මෙන් නොව පාරිභෝගිකයාගේ නිෂ්පාදනය විදුලි පරිභෝජනයෙන් නිදහස් වේ. ගණන් හදනකොට ඒ දෙකේ සම්බන්ධයක් නැහැ. ඒ අනුව පාරිභෝගිකයා තම පරිභෝජනයට පවතින ගාස්තු ක්‍රමය යටතේම විදුලි පරිභෝජන ගාස්තු ගෙවිය  යුතු අතර, ඔහුගේ මුළු විදුලි නිෂ්පාදනයට ගාස්තුව ලංකා විදුලිබල මණ්ඩලයෙන් ගෙවනු ලැබේ. එහිදී වැඩිපුර ජනනය කළ විදුලි ඒකක සඳහා මුල් වසර 07ක කාලය තුළ ඒකකයකට රුපියල් 22ක් සහ 8වන වර්ෂයේ සිට රුපියල් 15.50ක මුදලක් එක් ඒකකයකට ගෙවීම. එය විශාල වහලයක් තිබෙන, වාණිජමය කටයුතු කරන ආයතනවලට ගැළපෙනවා.

(iii) 2020 වර්ෂය වන විට මුළු ස්ථාපිත ධාරිතාව ලෙස සුළං බලය මෙගාවොට් 410ක් හා සූර්ය බලය මෙගාවොට් 440ක් ජාතික පද්ධතියට ලබාගැනීමට අපේක්ෂිතය.

(iv) "මෙච්චර මන්දගාමී මොකද?" කියලා ගරු මන්ත්‍රීතුමා අපෙන් ප්‍රශ්නයක් අහනවා. නමුත් ගරු මන්ත්‍රීතුමනි, එහෙම මන්දගාමී නැහැ. ආරම්භය ගන්න අමාරුයි. මොකද, කලින් තිබුණු permit ක්‍රමය අවසන් කරලා තරගකාරී ක්‍රමවලට යන නිසා. නමුත්, ඔබතුමාගේ දැනගැනීම සඳහා කියන්නම්. අපි දැනට සූර්ය බලය සඳහා එක් ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ තමයි සූර්යබල සංග්‍රාමය. එය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මෙගාවොට් 1 බැගින් විදුලි බලාගාර 60ක් සඳහා ටෙන්ඩරය කැඳවා ඒවායේ කටයුතු අවසන් කොට, දැන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ තත්ත්වය දක්වා ඇවිල්ලා තිබෙනවා. ඒ වාගේම තවත් අලුත්ම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර, මෙගාවොට් 1 බැගින් වූ විදුලි බලාගාර 90ක් සඳහා ලබන මාසයේ ටෙන්ඩර් කැඳවනවා.

ඒ වාගේම මෙගාවොට්ස් 10 බැගින් වූ බලාගාර දෙකක් සඳහා මේ මොහොතේ ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමාටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වාගේම පුනරීන් සහ සියඹලාණ්ඩුවේ මෙගාවොට්ස් 100 බැගින් වූ බලාගාර දෙකක් ඉදි කරනවා. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාටත් ඒවාට ඉදිරිපත් වෙන්න පුළුවන්කම තිබෙනවා.

ගරු මන්ත්‍රීතුමනි, ඒ වාගේම  අය වැය යටතේ රුපියල් මිලියන 1500ක්  රජය මඟින් වෙන් කර තිබෙනවා. ඒ යටතේ  අඩු පොලී ණය ක්‍රමයක් ඇති කර තිබෙනවා.  ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි ආයතනවලින් සියයට 6ක පොලියට ණය ලබාගන්න පුළුවන්.

එමෙන්ම සූර්ය බල සංග්‍රාමය යටතේ රජයේ ආයතන සඳහා සූර්ය ජනන පහසුකම් හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනට රුපියල් මිලියන 350ක් 2017 අය වැය යටතේ වෙන් කර තිබෙනවා. මේ තත්ත්වය යටතේ පසු ගිය කාලය තුළ සුළං බලාගාර ඉදි කිරීම සඳහා වඩාත් පුළුල් ක්‍රියා මාර්ග අප අමාත්‍යාංශය විසින් ගෙන තිබෙනවා.

(ආ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks