බලන්න

04

E   |     |  

 දිනය: 2017-07-26   පිළිතුර ලබා දී ඇත 

1518/2017: ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් : මාතලේ දිස්ත්‍රික්කය

1518/’17

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධාන ප්‍රකාරව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි වගාව සහිත ඉඩම්වලින්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ගැසට් නිවේදන මඟින් පාලනය හා කළමනාකරණය සඳහා ලබා දී ඇති ඉඩම්වලින් ‍කොපමණ ප්‍රමාණයක් පාලනයකින් තොරව මුඩු බිම් සහ කුඹුරු ඉඩම් වශයෙන් පවතීද;

(ii) එම ඉඩම් මැන හඳුනාගෙන තිබේද;

(iii) එම ඉඩම් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා මේ වනවිට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

(iv) එම ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ඉඩම් ප්‍රකාශ කළ තැනැත්තන්ගේ නීතිමය බැඳීම් සඳහා ලබාදීමට සහ කෘෂිකාර්මික නොවන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට හැකියාවක් පවතීද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-26

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඉඩම් මැන හඳුනා ගැනීමක් කර නොමැති බැවින්, මුඩු බිම් හා කුඹුරු ඉඩම් ප්‍රමාණය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.

              (ii)      නොමැත.

             (iii)      මෙම ඉඩම්වල කළමනාකරණය වතු සමාගම් විසින් සිදු කරන බැවින්, ඒවා ඵලදායීව යොදා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සකස් කර නොමැත.

(iv) පවතී.

නිල වශයෙන් අවලංගු කිරීම කර ගැනීමෙන් පසුව නැවත ලබා දීමේ හැකියාව පවතී.

මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වූ වගාව සහිත ඉඩම් හෙක්ටෙයාර 7,687.29ක (හත්දහස් හයසියඅසූහතයි දශම දෙකයි නවයක) පමණ ප්‍රමාණයක් පාලනය හා කළමනාකරණය සඳහා ගැසට් පත්‍රයේ පළ කිරීම මගින් රාජ්‍ය වැවිලි සංස්ථාවට හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත ලබා දී ඇත. එම ආයතන විසින් මෙම ඉඩම් වතු සමාගම් වෙත ඍජු බදු හැටියට ලබා දී ඇත.

වර්තමානයේ මෙම ඉඩම් භුක්ති විඳිනු ලබන වතු සමාගම් විසින් අදාළ ඉඩම් මැන නිශ්චිතව හඳුනා ගැනීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ඉඩ නොදෙන බැවින්, එකී ඉඩම් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කිරීම දැනට අපහසු වෙලා තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා, ළඟදීම අදාළ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා එම කටයුත්ත කරන්න පුළුවන් තත්ත්වයක් හදා ගන්න.

ඊයේ වැවිලි කර්මාන්ත ඇමතිතුමාත්, වතු යටිතල පහසුකම් ඇමතිතුමාත්, මමත් එකතු වෙලා සාකච්ඡා කළා. එහිදී වතුවල පර්චස් හත වාගේ දෙන ඉඩම්වලටත් කඩිනමින් ඔප්පු දෙන්න අපි තුන්දෙනාම එකඟතාවකට ආවා.

(ආ) අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2017-07-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks