01

E   |     |  

 දිනය: 2017-08-23   පිළිතුර ලබා දී ඇත 

1415/2017: කොටස් වෙළඳ පොළෙහි ලැයිස්තුගත සමාගම්: විදේශ ආයෝජන

1415/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 අයවැය යෝජනා අංක 199ට අනුව, විදේශීය සමාගම් ලැයිස්තුගත කොටස්වල ආයෝජනයෙන් ලැබෙන ලාභාංශ යනාදිය ආදායම් බද්දෙන් නිදහස් කළ බැවින්, 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සමාගම්වල විදේශ ආයෝජන ප්‍රමාණය කොපමණද;

(ii) වර්ෂ 2009 යුදගැටුම් අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ඇති වූ උපනතීන් පිළිබඳ (සම්මත දර්ශකයන්ට අනුව) වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(iii) 2015 සහ 2016 වර්ෂවල විදේශිකයන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙන් ඉවත් කරගත් ආයෝජන ප්‍රමාණයන් කවරේද;

(iv) ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි පුනර්ජීවනය සඳහා යෝජිත වෙනස්කම් සහ රාජ්‍ය මූල්‍ය සහ බදු සානුබලයන් කවරේද;

(v) 2016 අයවැයෙන් යෝජිත ප්‍රාග්ධන ලාභ බද්ද අනාගතයේදී කොටස් හුවමාරුවටද හඳුන්වාදීමේ අදහසක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       වසර 2016 දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සමාගම්වල විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 74.5කි.

                         ගරු මන්ත්‍රීතුමනි, ඒ විදේශීය මිලදී ගැනීම්.

              (ii)       වසර 2009දී යුද ගැටුම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළේ ඇති වූ උපනතීන් සම්මත දර්ශකයන්ට අනුව:

 

 

වසර

සමස්ත මිල දර්ශකයෙහි වර්ධනය (%)

2010

96.0

2011

සෘණ 8.5

2012

සෘණ 7.1

2013

 4.8

2014

23.4

2015

සෘණ 5.5

2016

සෘණ 9.7

2017 (අගෝස්තු 11 දක්වා)

4.2

 

(iii) වසර 2015දී විදේශ ආයෝජකයන් රුපියල් බිලියන 5.3ක වටිනාකමක මුදල් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත. එහෙත්, 2016 වර්ෂයේදී විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 383ක වටිනාකමක් ශුද්ධ වශයෙන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ඇත. එය රට තුළට මුදල් ගලා ඒමකි.

ගරු කථානායකතුමනි, මා ඉතාම සන්තෝෂයෙන් ඔබතුමාට දැනුම් දෙන්න කැමැතියි, 2017 අගෝස්තු 11වන දින වන විට විදේශ ආයෝජකයන් විසින් ශුද්ධ වශයෙන් රට තුළට ගෙනැවිත් ඇති ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 26.7ක් බව. එය කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වසරක් තුළ වාර්තා වී ඇති දෙවන ඉහළම ශුද්ධ විදේශීය ගලා ඒමේ ප්‍රමාණයයි.

(iv) ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළෙහි පුනර්ජීවය සඳහා යෝජිත ප්‍රධාන වෙනස්කම් වන්නේ,

ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියාමනය යාවත්කාලීන කිරීම උදෙසා වසර 2017 තුළදී නව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත සම්මත කර ගැනීම.

අපි එය තව මාස එකහමාරකින්-දෙකකින් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.

ඉහළ කාර්යක්ෂමතාවක් උදෙසා කොටස් වෙළෙඳ පොළ අසාමූහීකරණය කිරීම. That is to demutualize  the Stock Exchange.

අවදානම් කළමනාකරණය උදෙසා DVP ක්‍රමය හඳුන්වා දී (කොටස් නිෂ්කාශනය/ මුදල් ගෙවීම සහ ගනුදෙනු එකවර සිදු කිරීම) ඉන් පසුව මධ්‍යම ප්‍රතිපාර්ශ්ව ආයතනයක් පිහිටුවීම. That is to create a central counterparty.

රජය සතු හඳුනාගත් සමහර සමාගම් කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීම තුළින් කොටස් වෙළෙඳ පොළේ විශාලත්වය සහ ද්‍රවශීලතාව ඉහළ නැංවීම. That is to increase liquidity.

සුළු පරිමාණ ආයෝජකයින් අතර ඒකක භාර ආයෝජන ප්‍රචලිත කිරීම - Unit trust.

ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳව මහජනයා, ආයෝජකයන්, පාසල් සිසුන්, ගුරු භවතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සියලුම පාර්ශ්ව තුළ ඇති දැනුවත්භාවය ඉහළ දැමීම.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියාමනය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා පවත්නා නීති රීති (ලැයිස්තුගත කිරීමේ නීති, කොටස් තැරැව්කාර නීති, ගනුදෙනු පද්ධති නීති ඇතුළු සියල්ල) යාවත්කාලීන කිරීම.

(v) 2016 අය වැයෙන් යෝජිත ප්‍රාග්ධන ලාභ බද්ද අනාගතයේදී කොටස් හුවමාරුවට හඳුන්වා දීමේ අදහසක් නැත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks