04

E   |     |  

 දිනය: 2017-02-23   පිළිතුර ලබා දී ඇත 

1349/2017: පාසල් දරුවන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය : පියවර

1349/’16

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සාමාන්‍යයෙන් වෘත්තීය පුහුණුවීම් සඳහා යොමුවීමට අධෛර්යමත් වන බවත්;

             (ii)       වර්තමානයේ ශ්‍රී ලංකාවේ ශ්‍රමික වෙළඳපොල ඉල්ලුම සපුරාලීමේදී තරුණ ප්‍රජාව සතු නිපුණතාවයන්ගේ නොගැලපීමක් පවතින බවත්;

(iii) දරුවන් විවිධ කුසලතාවයන් සඳහා පුහුණු කර, නව වෘත්තීය මාර්ගයන් කරා යොමු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ප්‍රාථමික මට්ටමේ සිට තෘතීයික මට්ටම දක්වා පාසල් දරුවන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමට පිටිවහලක් ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයද ඇතිව පාසල් විෂය මාලාවෙහි වෙනසක් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-23

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(i)         නැත.

                        නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට ලැබෙන අයදුම්පත් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සාමාන්‍යයෙන් වෘත්තීය පුහුණුවීම් සඳහා යොමුවීම ක්‍රමිකව වැඩි වී ඇත. මෙය පැහැදිලි කර ගැනීම සඳහා පහත දැක්වෙන උදාහරණ ගෙන හැර දැක්විය හැකිය.

                 එනම්;

 

 

ආයතනය

2014

2015

2016

එකතුව

1

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

22,863

19,864

26,591

69,318

2

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය

3,285

4,222

4,485

11,992

3

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

28,784

28,745

31,537

89,066

4

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය

21,364

22,878

31,812

75,054

5

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය

716

622

1,010

2,348

6

ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය

864

895

902

2,661

 

එකතුව

77,876

77,226

96,337

251,439

 

(ii)  ඔව්. වර්තමානයේ ශ්‍රමික වෙළෙඳ පොළ ඉල්ලුම සපුරාලීමේදී තරුණ ප්‍රජාව සතු නිපුණතාවන් සඳහා නව තාක්ෂණික දැනුම ලබාදීමේදී විවිධ අවස්ථාවල නොගැළපීම් ඇතත්, කර්මාන්තයේ පවතින ඉල්ලුමට ගැළපීම් කටයුතු කිරීම සඳහා ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහන යටතේ ආරම්භ කර ඇති Industrial Sector Skills Council (ISSC)   මඟින් එම නොගැළපීම් හා අඩුපාඩුකම් හඳුනාගෙන, ඒ සඳහා නව පාඨමාලා (කෙටිකාලීන/ දිගුකාලීන/පූර්ණ කාලීන පාඨමාලා යනාදී වශයෙන්) හඳුන්වාදීමට කටයුතු කරමින් පවතී.

(iii) ඔව්.

දරුවන්ගේ විවිධ කුසලතා වැඩිදියුණු කර නව වෘත්තීය මාර්ග කරා යොමු කිරීම පිණිස අප අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මඟින් නව පාඨමාලා හඳුන්වා දී ඇති අතර, පාඨමාලා ප්‍රතීතනය කර දැනටමත් නව පාඨමාලා ආරම්භ කර ඇත.

උදාහරණ:

• තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් 2016 වර්ෂයේ සිට පොදු ළමා රැකවරණය, වැඩිහිටි රැකවරණය සැපයීමේ සහකාර, කාර්යාලයක වැඩ ඉටුකිරීමට හඳුන්වා දීම, භාණ්ඩ සැපයුම් සහකාර/ සහකාර ගබඩා භාරකරු, වාහන රෝද එකෙලි කිරීමේ ශිල්පී යනාදී පා‍ඨමාලා ආරම්භ කර ඇත. එමෙන්ම ජාතික නිපුණතා සම්මත පාඨමාලා ආරම්භ කිරීම හා නව පාඨමාලා රැසක් 2016 වර්ෂයේදී ආරම්භ කර ඇත. (ඇමුණුම 01 බලන්න*)

• ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය මඟින් "මෙකාට්‍රොනික්ස් ශිල්පය" යන නව පාඨමාලාව සහ "වාහන වායුසමීකරණ ශිල්පය" යන පාඨමාලා ආරම්භ කර ඇත.

• ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ විද්‍යුත් පාලන පද්ධතීන්, දෙමුහුන් තාක්ෂණය, විද්‍යුත් ක්‍රියාකාරී වාහන (ඉලෙක්ට්‍රික් කාර්) පිළිබඳ තාක්ෂණය සහ නවීන වාහනවල භාවිත වන සම්ප්‍රේෂණ, ඉන්ධන, අවලම්බන පද්ධතීන් පිළිබඳ පුහුණුව ආරම්භ කර ඇත.

(ආ) (i) ඔව්.

      (ii) • පාසල් විෂය මාලාවෙහි වෙනසක් ඇතිකරලීම අධ්‍යාපන අමාත්‍යාංශය සතු වගකීමකි. එසේ වුවත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් සඳහා වෘත්තීය විෂයයන් හඳුන්වාදීම අරමුණු කරගෙන ජාතික අධ්‍යාපන ආයතනය විසින් හඳුනා ගත් වෘත්තීමය විෂයයන් 26ක් සඳහා විෂයමාලා කෙටුම්පත් කර ඇති අතර මුදල් අමාත්‍යාංශයේ දායකත්වයෙන් ඒවා යාවත්කාලීන කිරීමට කටයුතු කෙරෙමින් පවතී.

• දැනටමත් හඳුන්වා දී ඇති තාක්ෂණවේදය විෂය ධාරාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් විෂය මාලාවට ඇතුළත් කර ඇත. එමෙන්ම ආරම්භයේ සිටම අප අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව අප අමාත්‍යාංශය යටතේ පවතින පහත සඳහන් ආයතන මඟින් උපදේශකවරුන්ගේ සහාය ලබාදී න්‍යායික හා ප්‍රායෝගික කටයුතු කරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දී ඇත.

‍1. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET)

2. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA)

3. ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය (CGTTI)

4. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA)

තවද,

• වෘත්තීය පුහුණුවට නැඹුරු කිරීම සඳහා අධ්‍යාපන සුදුසුකම් සමඟ ජාතික වෘත්තීය සුදුසුකමේ සහතික ගැළපීමට කටයුතු කර ඇත. එනම්, අදාළ වන විෂය ක්ෂේත්‍ර සඳහා සුදුසුකම් ගැළපීමේදී,

NVQ 3 = GCE (O/L)

NVQ 4 = GCE (A/L)

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks