01

E   |     |  

 දිනය: 2017-07-25   පිළිතුර ලබා දී ඇත 

1152/2017: මීගහතැන්න, කුම්බදූව ප්‍රදේශයේ ගල් කොරි : පරිසර හානි

1152/’16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගහතැන්න, කුම්බදූව ප්‍රදේශයේ ගල් කොරි 02ක් ක්‍රියාත්මක වන බවත්;

            (ii)      එමඟින් දැඩි පරිසර හානියක් සිදුවී ඇති බවත්;

(iii) එම ගල් කොරි නිසා අවට නිවාස විශාල ප්‍රමාණයකට හානි වී ඇති බවත් ;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම ගල්‍ කොරි අයිතිකරුවන් විසින් යාබද කුඹුරු ගොඩකර ඇති බව වාර්තාවී තිබේද;

(ii) ප්‍රදේශවාසීන් දිගින් දිගටම පැමිණිලි කර තිබියදීත්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම ගල් කොරි දෙකේ බලපත්‍ර අහෝසි නොකරන්නේ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-25

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුම්බදූව ප්‍රදේශයේ කළුගල් වලවල් දෙකක් පිහිටා ඇත.  එයින්,          

                         කේ.ඒ.ඩී. වීරසිංහ මහතාට අයත් කළුගල් වල දැනට ක්‍රියාත්මක තත්ත්වයේ නොමැත.

                         පී.කේ. විමල් නානායක්කාර මහතාට අයත් කළුගල් වල ක්‍රියාත්මක තත්ත්වයේ ඇත.

(ii) කළු ගල් කර්මාන්තය හේතුවෙන් සිදු විය හැකි පරිසර බලපෑම් අවම කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් නිකුත් කළ කැණීම් බලපත්‍රයෙන් හා මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කළ පරිසර ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි මඟින් කටයුතු යොදා ඇත.

(iii) නිවාස කිහිපයකට හානි සිදු වී ඇති බවට පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබී ඇත.

(ආ) (i) කුඹුරු ගොඩකර ඇති බව වාර්තා වී නොමැත.

එහෙත්, කේ.ඩී.ඒ. වීරසිංහ මහතාට අයත් ගල් වළ හේතුවෙන් වර්ෂා ජලය මඟින් මඩ, පස් කුඹුරට සේදී යන බව වාර්තා වී ඇති බැවින්, ඒ සඳහා මඩ රැඳවුම් (silt trap) සකස් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර්මාන්තකරුට දන්වා ඇත.

(ii) කේ.ඩී.ඒ. වීරසිංහ මහතාට අයත් කළු ගල් වළ දැනට ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති අතර, පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත අයදුම්කර නොමැත.

පී.කේ. විමල් නානායක්කාර මහතාට අයත් කළු ගල් වළ ක්‍රියාත්මක තත්ත්වයේ ඇති නමුත්, කොන්දේසි සහිත බලපත්‍රයක් පවතී. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඒ සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට නියමිතය.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-07-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks