පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
985/’16
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015.12.31 දිනට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදන ධාරිතාවය කොපමණද;
(ii) පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කරනු ලබන විදුලිබලය, සම්පූර්ණ විදුලිබල උත්පාදන ධාරිතාවයෙහි ප්‍රතිශතයක් වශයෙන් කවරේද;
(iii) ලෝකයේ විදුලිබල උත්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයන් භාවිතා කරනු ලබන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමි ස්ථානය කවරේද;
(iv) සූර්ය බලය, සුළං බලය සහ ජෛව ස්කන්ධ බලශක්ති ප්‍රභවයන් ඇසුරින් විදුලිය උත්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජය හෝ රජයට සම්බන්ධ ආයතන විසින් පසුගිය වසර 10 තුළ සිදුකර ඇති ආයෝජනය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) සුළං බලය, සූර්ය බලය සහ ජෛව ස්කන්ධ බලය ඇසුරින් විදුලිය උත්පාදනය කිරීමට අදාළව රජය විසින් කරනු ලබන ආයෝජනය අවම වීමට හේතුව කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-25
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පෞද්ගලික විදුලි නිෂ්පාදකයන්ද ඇතුළුව 2015.12.31 දිනට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදන ධාරිතාව මෙගාවොට් 3,847ක් වේ. ඒ කියන්නේ, අපට එච්චර installed capacity එකක් තිබෙනවා.
(ii) පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් උත්පාදනය කරනු ලබන විදුලි බලය සම්පූර්ණ විදුලිබල උත්පාදන ධාරිතාවයේ ප්‍රතිශතයක් ලෙස සියයට 48ක් පමණ වේ. එසේ සියයට 48ක් වෙන්නේ, මහා පරිමාණ ජල විදුලි බලාගාරවල විදුලිය නිෂ්පාදනයන් එකතු කිරීම හරහායි.
(iii) ලෝකයේ විදුලිබල උත්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයන් භාවිතා කරනු ලබන රටවල් අතර ශ්‍රී ලංකාව 39වන ස්ථානයේ පවතී. ඒක හොඳ තත්ත්වයක්. හැබැයි, ඒ තත්ත්වය උදාවෙලා තිබෙන්නේ සූර්ය බලය හෝ සුළං බලය නිසා නොවෙයි, ජල විදුලි ක්ෂේත්‍රයෙන් අප ලබා තිබෙන ඵෙතිහාසික ජයග්‍රහණ නිසා බව කියන්න අවශ්‍යයි. ඒ ස්ථානය දිගින් දිගටම පහළ යමින් තිබෙනවා.
(iv) පසු ගිය අවුරුදු 10 තුළ විදුලිබල උත්පාදනයට සූර්ය බලය, සුළං බලය සහ ජෛව ස්කන්ධ බලශක්ති ප්‍රභව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ආයෝජනය කර නොමැත.
"පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රවල විදුලිය නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට පැවරිය යුතුයි, පෞද්ගලික අංශය වෙතින් නිසි ක්‍රමවේදයක් අනුව මිලදී ගත යුතුයි" කියා අපේ ප්‍රතිපත්තියක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. අප තරගකාරී මිලට - competitive bidding හරහා - මෙම මිලදී ගැනීම් කිරීමට කටයුතු කරනවා.
පළමුවැනි සුළං විදුලි බලාගාරය සඳහා ටෙන්ඩරය ගිය අවුරුද්දේ මැයි මාසයේ අප ඉදිරිපත් කළා. එය සාර්ථක වුණා. රුපියල් 19, රුපියල් 12.29ක් වුණා. දැන් මේ මොහොතේ තිබෙනවා, සූර්ය බලය සඳහා පළමුවැනි තරගකාරී ටෙන්ඩරය. දැනට තිබෙන රුපියල් 23.10ක මිල රුපියල් 15ට, 16ට අඩු වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. දැනට මෙගා වොට් 60ක් ටෙන්ඩර් කර තිබෙනවා. එම නිසා රජය ආයෝජනය කර නැහැ, ගරු මන්ත්‍රීතුමනි. නමුත්, පෞද්ගලික ආයෝජකයන්ට තරගකාරී ලෙස විවෘතභාවයෙන් ආයෝජනය කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා.
(ආ) රජයේ අරමුණ වනුයේ හැකි උපරිම ආකාරයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් විදුලි බලය ජනනය කර පද්ධතියට එක් කර ගැනීමයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී රජයේ ප්‍රතිපත්තිය වනුයේ හැකිතාක් දුරට පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට හැකිවන ලෙස පහසුකම් සැපයීමයි. මේ තත්ත්වය තුළ පෞද්ගලික ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළ ඔවුන්ගේ ප්‍රාග්ධන වියදම් අඩු කර විශේෂයෙන්ම සම්ප්‍රේෂණ මාර්ග සහ ග්‍රීඩ් උපපොළ පහසුකම් ඉදිකිරීම හා සම්ප්‍රේෂණ රැහැන් මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන අරමුදල්/ආයෝජන රජය මඟින් යෙදවීමයි. මෙහිදී විශාල පරිමාණ පුනර්ජනනීය බලශක්ති බලාගාර බොහොමයක් ක්‍රියාත්මක කිරීමට රජයේ ආයෝජන යොදවන අතර, (මන්නාරම මෙගා වොට් 100 සුළං විදුලි බලාගාරය වැනි) එම බලාගාර හැරුණු කොට කුඩා පරිමාණයේ හා මධ්‍යම පරිමාණයේ පුනර්ජනනීය බලශක්ති බලාගාර පෞද්ගලික අංශයේ ආයෝජකයන් සඳහා විවෘත කරදී ඇත.
එමෙන්ම පසු ගිය සැප්තැම්බර් මස 06 වන දින සිට ක්‍රියාත්මක වන සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ සූර්ය බලයෙන් විදුලි ජනනය සිදු කරන පාරිභෝගිකයන්හට අඩු පොලී ණය ලබාදීම සඳහා රජයේ ආයෝජන යෙදවීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇත. සුළං බලය, සූර්ය බලය හා ජෛව ස්කන්ධ බලය මඟින් නිපදවන විදුලිය සඳහා වන තාක්ෂණ විශේෂ පිරිවැය පාදක ගාස්තු ක්‍රමවේදය - Technology Specific Cost-Basad Tariff - යටතේ පුනර්ජනනීය බලශක්ති බලාගාරවලට පෞද්ගලික අංශයෙන් සිදු කරන ආයෝජනයන් සඳහා සාධාරණ ප්‍රතිලාභ ලබාගැනීමට හැකි වන පරිදි මෙම ගාස්තු ක්‍රම නිර්ණය කර ඇත. ඒ අනුව සුළං බලය, සූර්ය බලය, ජෛව ස්කන්ධ බලය ඇසුරෙන් විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳ ක්ෂේත්‍රවලට අදාළව රජය විසින් කරනු ලබන ආයෝජන අවම බව ප්‍රකාශ කිරීම නිවැරදි නොවේ.
ගරු මන්ත්‍රීතුමනි, පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට රජය අයෝජනය කර නැති වුණාට, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කරන තැන සිට ජාතික පද්ධතියට එකතු කිරීම සඳහා අපේ transmission සහ substations දියුණු කිරීම සඳහා අපේ රජය විශාල මුදලක් අඛණ්ඩව වැය කර තිබෙනවා. ඉදිරියේදීත් එහෙම කරනවා. ඉදිරියේ දී අපේ රටේ විශාල වශයෙන් පුනර්ජනනීය බලශක්තිය එකතු කරන්න අප බලාපොරොත්තු වෙනවා.
රජය ආයෝජනය කරන එක ව්‍යාපෘතියක් තිබෙනවා. ඒක තමයි, මන්නාරමේ මෙගා වොට් 100 සුළං විදුලි බලාගාරය. ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ලබාගෙන විදුලිබල මණ්ඩලය මඟින් එය කරනවා. ඒ හැරෙන්න, උත්පාදනය වෙනුවෙන් වෙන කිසිම දෙයකට ආයෝජනය කිරීමේ බලාපොරොත්තුවක් රජයේ නැහැ. හැබැයි, transmission අපේ විදුලිබල මණ්ඩලයේ වැඩක්. ඒක අප පෞද්ගලික අංශයට දෙන්නේ නැහැ. සම්ප්‍රේෂණ වගකීම සහ බෙදා හැරීමේ වගකීම තහවුරු කරන්නත්, පුනර්ජනනීය බලශක්තිය එකතු කිරීම නිසා පද්ධතිය මත ඇතිවන ගැටලු, කාර්මික ඉංජිනේරුමය ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳීම සඳහාත් දැනටමත් සැලකිය යුතු ආයෝජනයක් කරනවා. අනාගතයේදීත් අප ඒ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-03-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks