01

E   |     |  

 දිනය: 2016-11-24   පිළිතුර ලබා දී ඇත 

0938/2016: ඉන්දු - ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය : අපේක්ෂිත අරමුණ

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ඉන්දු - ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය මඟින් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණ කවරේද;

             (ii)      එම ව්‍යාපෘතිය 2020 වසරේදී අවසන් කිරීමට හැකියාව තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම ව්‍යාපෘතිය සඳහා,

(i) ඇස්තමේන්තුගත සම්පූර්ණ මුදල කොපමණද;

(ii) ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන වියදම කවරේද;

(iii) ඉන්දීය රජය විසින් මුදල් ආ‍යෝජනයක් කරන්නේ නම්, එම මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-24

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඉන්දු - ශ්‍රී ලංකා විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතියේ අරමුණු පහත පරිදි වේ.

                        ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලිබලය හුවමාරු කර ගැනීම. ඒ අනුව ආරම්භයේදී මෙ.වො. 500 (500MW) ක්ද, පසුව තව මෙ.වො. 500ක් එකතු කිරීමෙන් එය මෙ.වො. 1,000 (1,000MW) දක්වා ද ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා.

                        ඒ තුළින් දෙරට විදුලිබලය හුවමාරු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. අපට අඩු වෙලාවට ඉන්දියාවෙනුත්, ඉන්දියාවට අවශ්‍ය වෙලාවට අපෙනුත් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වාගේම, මේ පද්ධති දෙකේ ස්ථායිථාව ආරක්ෂා කිරීමට  -grid stability-  මෙය ඉතාම වැදගත් වෙනවා.

* ආර්ථිකයේ අනෙකුත් අංශ වර්ධනය කිරීමට උපකාර කෙරෙන ලෙස විදුලි සැපයුමේ ආරක්ෂාව සහ විශ්වසනීයත්වය එමඟින් වැඩි වෙනවා.

* පුරෝකථනය නොකරන ලද බලශක්ති ඉල්ලුම සාක්ෂාත් කර ගැනීම සඳහා නම්‍යශීලි ප්‍රවේශයක් ලබා ගැනීමට හැකි ඉතා වැදගත් ක්‍රමවේදයක් හැටියට ඉංජිනේරුවන් විසින් වෘත්තීමය වශයෙන් මෙම ක්‍රියාවලිය අගය කර තිබෙනවා. ඒ වාගේම, පුනර්ජනනීය බලශක්තිය, විශේෂයෙන්ම සූර්ය බලය සහ සුළං බලය වැඩි වශයෙන් ශ්‍රී ලංකාව තුළ සහ ශ්‍රී ලංකාව අවට මුහුදෙන් උකහා ගැනීමටත්, එම බලශක්තිය ඉන්දියාවට විකුණා එයින් ආදායමක් ලබා ගැනීමටත් ඇති හැකියාව ඉතා පැහැදිලිව පෙනෙනවා.

* දීර්ඝ කාලීන අරමුණු වාගේම දැනට මතු වෙලා තිබෙන අර්බුදවලටත් මෙම ඉන්දු-ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් ව්‍යාපෘතිය මඟින් විශේෂ ප්‍රයෝජනයක් ලැබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.

(ii) 2020දී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකියාවක් නැහැ.

දැනට අපේ රටේ තිබෙන මූල්‍යමය තත්ත්වය අනුව සහ සුදුසු ආයෝජකයන්ඉදිරිපත් වෙලා නැති නිසා මේ ව්‍යාපෘතිය ආරම්භ වන නිශ්චිත දින වකවානුවක් නැහැ. ඒ නිසා මේ ව්‍යාපෘතිය 2020දී අවසන් කරන්න පුළුවන් වන්නේ නැහැ. නමුත් මෙම ව්‍යාපෘතිය කරන ආකෘතිය පිළිබඳව - ව්‍යාපාරික ආකෘතිය පිළිබඳව- සාකච්ඡා කිරීම සුදුසුයි. මාස කිහිපයකට කලිනුත් අපි මේ පිළිබඳව සාකච්ඡා කළා.

(ආ) (i)  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලිබල අන්තර් සබඳතාවේ ශක්‍යතා අධ්‍යයනය පිළිබඳ අවබෝධතා ගිවිසුම 2010.06.09 වැනි දා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ Power Grid Corporation අතර අත්සන් කළා. ආර්ථික සහ මූල්‍ය අධ්‍යයනයට අනුව මෙම සමුද්‍ර විදුලි රැහැන් ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 554ක් වෙනවා.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියේ වියදම දළ වශයෙන් ඇමෙරිකානු ‍ඩොලර් මිලියන 372.2ක් පමණ විය යුතුයි කියා අප විශ්වාස කරනවා. ඊට වඩා වැඩි වුණොත් අපට මෙහි ඇති ලාභදායීකම අඩු වෙනවා. නමුත්, රටක් විධියට අපේ බලශක්තිය හුවමාරු කර ගැනීම පිළිබඳව සහ මුළු කලාපය සමඟ බලශක්තිමය වශයෙන්  සම්බන්ධවීම පිළිබඳ අපේ ප්‍රතිපත්ති අනුව වැඩි මුදලක් ආයෝජනය කරලා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට අපට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම දැඩි නියං තත්ත්ව  තුළ සහ වෙනත් බරපතළ ආපදා  සිද්ධ වුණු වේලාවක අපේ විදුලි පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවැටීම වළක්වා ගැනීමට මෙවැනි සබඳතාවක් ඉවහල් වෙනවා.

(ii) මෙම ව්‍යාපෘතිය සඳහා සියයට 50ක් ශ්‍රී ලංකා රජය විසිනුත්, ඉතිරි සියයට 50 ඉන්දියාව විසිනුත් දැරීම තමයි මූලික ප්‍රතිපත්තිය.

මෙය 50ට, 50 ප්‍රතිපත්තියක්. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ දෙරටටම වාසිදායක වන කොන්දේසි මතයි.

(iii) ඉන්දියානු රජය මඟින් ව්‍යාපෘතියේ මුළු වියදමින් සියයට 50ක් දැරිය යුතුය.

‍(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks