බලන්න

02

E   |     |  

 දිනය: 2016-10-07   පිළිතුර ලබා දී ඇත 

0864/2016: චන්දන පැල්පිට මහතා : මූල්‍ය වංචා

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      සීමාසහිත ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස චන්දන පැල්පිට මහතා සේවය කරන්නේද;

             (ii)      එසේ නම්, ඔහුගේ වැටුප, දීමනා සහ ලබාදී ඇති වාහන සඳහා මාසික කුලිය වෙන් වෙන් වශයෙන් කවරේද;

           (iii)      ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 2015 නොවැම්බර් 06 දාතමින් පෙත්සම් අංක PCI/52/2015 යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් එවා තිබේද;

(iv) එම ලිපියේ සඳහන් ආකාරයට චන්දන පැල්පිට මහතා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළ අවධියේ සිදුකර ඇති බරපතල මූල්‍ය වංචා කවරේද;

(v) එම මූල්‍ය වංචාවන් සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ කවරේද;

(vi) එම නිර්දේශ ක්‍රියාත්මක කළ දිනය කවරේද;

(vii) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශයන් ක්‍රියාත්මක නොකළේ නම්, ඒ සඳහා හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-10-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       සේවය කර ඇත.

              (ii)       මාසික වැටුප රු. 75,000/-ක් වේ. වාහනය සඳහා මාසික කුලිය වශයෙන් කි.මී.3000ක් ධාවනයට රු.95,000/-ක්ද, ඊට අමතරව කි.මී.1ක් සඳහා රු.30 බැගින්ද ගෙවීම් කර ඇත.

             (iii)       ඔව්.

             (iv)      ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් විසින් ලංකා ධීවර වරායේ නීතිගත සංස්ථාවේ නිලධාරින් විසින් සිදු කරන ලද බරපතළ වංචාව පිළිබඳව පෙත්සම් අංක PIC /52/2015 ට අදාළ වාර්තාව 2015.11.06 දින කෘෂිකර්ම ලේකම් වෙත ඉදිරිපත් කර ඇත.

එම ලිපියේ චන්දන පැල්පිට මහතා ලංකා ධීවර නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ අවධියේ පහත සඳහන් මූල්‍ය වංචා සිදු කළ බවට සඳහන් කර ඇති බව සඳහන් වේ.

1. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ මුදල් රුපියල් 8,950,000ක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වියදම් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියක් 2014.12.30 වන දින මීගමුව නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වීම;

2. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ මුදල් රුපියල් 175,000ක් වියදම් කොට මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම සඳහා භාවිතා කිරීමට LED තිර සහිත රූපවාහිනී යන්ත්‍ර යෙදවීම;

3. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ රුපියල් 1,255,000ක මුදලක් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව වියදම් කර මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්නා ලද ටී ෂර්ට්, කැප් තොප්පි  මිලදී ගැනීම;

4. මීගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට කලපුව අසල සාදා තිබූ සමරු ඵලකය සඳහා රුපියල් 1,848,000ක මුදලක් කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව වියදම් කිරීම;

5. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව 2015 වසර සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ රුපියල් 1,090,000ක මුදලක් වියදම් කොට දින පොත් මුද්‍රණය කිරීම.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අනුව ඉහත 1 සිට 5 දක්වා වූ වැරැදි ක්‍රියා සඳහා පහත සඳහන් නිලධාරින් වගකිව යුත්තන් බව සාක්ෂිවලින් පැහැදිලි වන බව දැක්වේ.

(1) චන්දන පැල්පිට, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි.

(2) ගලපිට ගෙදර පියල් අබේසේකර, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි.

(3) සරත් කුමාර ගුණරත්න, හිටපු වැඩ බලන ධීවර අමාත්‍ය.

(4) උපාලි චමින්ද පෙරේරා කුමාරසිංහ, හිටපු වැඩ බලන ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ පෞද්ගලික ලේකම්.

(5) ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා.

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චන්දන පැල්පිට යන අය මේ වන විට රජයට අනුබද්ධ සී/ස ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය කරනු ලබයි. එම නිලධාරියාද ඉහත වැරැදිවලට වගකිව යුතු නිසා ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කරන බැවින් ලංකා පොහොර සමාගමේ දැනට දරන තනතුරින් ඔහු වහාම ඉවත් කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නියෝග කර ඇත.

(v) චන්දන පැල්පිට මහතා සී/ස ලංකා පොහොර සමාගමේ දරන තනතුරෙන් වහාම ඉවත් කිරීම.

(vi) 2016.12.31 දින සිට ඉල්ලා අස්වී ඇත.

(vii) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks