බලන්න

02

E   |     |  

 දිනය: 2017-03-09   පිළිතුර ලබා දී ඇත 

0855/2017: ජා-ඇළ, ඉහළගම, පොල්ගහ වැව නීති විරෝධී ලෙස ගොඩ කිරීම : පියවර

855/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, 181F කැටගෙවත්ත ග්‍රාම නිලධාරි වසමෙහි, ඉහළගම ග්‍රාමයෙහි පිහිටා තිබෙන පොල්ගහ වැව (ඉහළගම) නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් විනාශ වීමේ අවදානමක් ඇති බවත්;

(ii) ඇතැම් සංවිධානාත්මක පිරිස් වැව ගොඩ කිරීමට හා ‍වැවට අයත් රක්ෂිත ඉඩම් අත්කර ගැනීමට කටයුතු කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහළගම වැව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

(iii) වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2016 අයවැයෙන් මුදල් වෙන්කර තිබුනේද;

(iv) එසේ නම්, එම ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) නීතිවිරෝධී ලෙස වැව ගොඩ කිරීම හා වැවට අයත් ඉඩම් අත්කර ගැනීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබේද;

(ii) එසේ නම්, එම නීතිවිරෝධී ක්‍රියාවන්ට දායකවූ පිරිසගේ නම් කවරේද;

(iii) ඔවුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග කවරේද;

(iv) වැවේ ඇතැම් ස්ථාන ගොඩකර කොහිල වගා කර ඇති ප්‍රදේශ නැවත අත්කර ගැනීමට කටයුතු කරන්නේද;

(v) එලෙස කොහිල වගා කළ අයට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-09

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       වැවේ රළ පණාව යොදා වැව් බැම්ම පිළිසකර කිරීම, රොන් මඩ ඉවත් කර ජල ධාරිතාව ඉහළ නැංවීම, වැවට එන සහ බැස යන ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය වැනි නඩත්තු කටයුතු සිදු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇත.

              (ii)       වැවට අයත් ඉඩම් අනවසරෙන් අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා මැනුම් කටයුතු සිදු කර මායිම් සලකුණු කිරීමට පියවර ගෙන ඇත.

(ආ) (i) පළමු අදියර යටතේ වැවේ රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සිදු කර අවසන් කර ඇත.

(ii) 2016.10.20 දින ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සමඟ ගිවිසුම්ගතව 2016.12.28 දින වන විට වැඩ අවසන් කර ඇත.

(iii) කෘෂිකර්ම අමාත්‍යාංශයේ 2016 විශේෂ ව්‍යාපෘති යටතේ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් කළ ප්‍රතිපාදන මත මුදල් වෙන් කරන ලදී.

(iv) රුපියල් මිලියන 2යි.

(ඇ) (i) ඔව්.

වැවේ මැනුම් කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් අදියර දෙකක් යටතේ සිදු කර මායිම් ගල් දමා සලකුණු කර ඇත. අදාළ මායිම් විවෘත කර මායිම් පිළිගන්නා බවට විරෝධතා පරීක්ෂණයක් ද සිදු කර ඇත.

(ii) පී. ජයතිස්ස, පී. අරුණ ශාන්ත, ආර්. අමිලා උදයංගනී, ආර්. අචිනි උමයංගනී, බී. හේවගේ, සී. මාලී දීපානි මොරායස්, ටී. පියසේන ප්‍රනාන්දු, එච්.ඩී. චම්පා ප්‍රියානි.

(iii) අනවසරයෙන් ඉඩම් අත්පත් කරගෙන පදිංචි වී විරෝධතා දැක්වූවන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතයි.

(iv) වැවේ මැනුම් සිදු කළ මායිම් සීමාව තුළට කොහිල වගාව අයත් ප්‍රදේශ ඇතුළත් නොවන අතර එම ප්‍රදේශය වැවේ රක්ෂිත සීමාව තුළට අයත් වේ. නැවත මැනීම් කිරීමක් මඟින් එම ප්‍රදේශ ඇතළත් කර ගැනීමට අපේක්ෂා ‍කෙරේ.

(v) නැවත මැනුම් කටයුතු සිදු කිරීමෙන් පසු එම කොටස තුළ වගා කළ අය සම්බන්ධයෙන් ඉදිරි පියවරක් ගැනීමට හැකියාවක් ඇත.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks