02

E   |     |  

 දිනය: 2016-07-22   පිළිතුර ලබා දී ඇත 

0384/2016: ලංකා විදුලිබල මණ්ඩලයට ට්‍රාන්ස්ෆෝමර් ලබා ගැනීම : ටෙන්ඩර් පටිපාටිය

ගරු බුද්ධික පතිරණ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් ලබා ගැනීමේදී ටෙන්ඩර් කැඳවීමක් කරන්නේද;  

             (ii)       එසේ නම්, පසුගිය වසර පහ තුළ ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වූ ආයතන එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම ආයතනවලින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එම ආයතන අතරින් තෝරාගත් ආයතන එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) දැනට ලංකා විදුලිබල මණ්ඩලයට ට්‍රාන්ස්ෆෝමර් සපයන ආයතනය කුමක්ද;

(ii) එම ආයතනයේ හිමිකරු/ හිමිකරුවන් හා/හෝ අධ්‍යක්‍ෂ මණ්ඩල කවුරුන්ද;

(iii) ඔවුන් ලංකා විදුලිබල මණ්ඩලය තුළ දරන තනතුරු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ට්‍රාන්ස්ෆෝමර් ලබා ගැනීම සඳහා නැවත ටෙන්ඩර් කැඳවන දිනය කවරේද;

(ii) එහිදී අනෙකුත් ටෙන්ඩර්කරුවන්ට සිදුවිය හැකි අපහසුතා අවම කිරීමට  ගන්නා පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

                        එහෙත් ධාරිතාවය 100 KVA සිට 1MVA දක්වා වන 33KV/LV සහ 11KV/LV ට්‍රාන්ස්ෆෝර්මර් (distribution transformers)  ද ධාරිතාවය 1MVA සිට 3MVA දක්වා වන 33KV/11KV ට්‍රාන්ස්ෆෝර්මර් (power transformers) ද එකඟ වී ඇති මිල ගණන් යටතේ විධිමත් කාර්ය පටිපාටියක් යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට බහුතර අයිතිය ඇති Lanka Transformers (Private) Limited යන ආයතනයෙන් මිල දී ගනී.

ඉහත සඳහන් ධාරිතාවන්ට අයත් නොවන සියලුම ට්‍රාන්ස්ෆෝර්මර් මිල දී ගැනීමේදී තරගකාරි, විවෘත, නියමිත ටෙන්ඩර් කැඳවීම් හරහා එම මිලදී ගැනීම් සිදු කරනු ලබයි.

(ii) ඇමුණුමෙහි සඳහන් කර ඇත.

(iii) ඇමුණුමෙහි සඳහන් කර ඇත.

(iv)  ඇමුණුමෙහි සඳහන් කර ඇත.

(ආ) (i) ආයතන එකක් නොව කිහිපයක් වන බැවින් එක් ආයතනයක් ලෙස නම් කළ නොහැකිය.

      (ii), (iii) ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයට අමතරව එක් එක් ටෙන්ඩරය අනුව ඒ සැපයුම්කරු ‍වෙනස් වෙනවා. ඒ අනුව එක් එක් ආයතනවල අයිතිකරුවන් සඳහන් කිරීමට හැකියාවක් නැහැ. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය සම්බන්ධව පමණක් තොරතුරු ලබාදෙන්න පුළුවන්. එය අපට බහුතර අයිතිය තිබෙන ආයතනයක්.

(ඇ) (i) ට්‍රාන්ස්ෆෝමර් ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවන නිශ්චිත දිනයක් නැහැ. විදුලිබල මණ්ඩලයට සහ ලෙකෝ ආයතනයට අවශ්‍ය අවස්ථාවලදී එම ටෙන්ඩර් නැවත නැවත කැඳවනු ලබනවා.

(ii) එම ටෙන්ඩර් නිකුත් කිරීමේදී සියලුදෙනාගේම දැනගැනීම සඳහා එම ටෙන්ඩර් දැන්වීම් භාෂා තුනෙන්ම පුවත් පත්වල පළ කරනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ලෙකෝ ආයතනයේ නිල වෙබ් අඩවිවල එය පළ කරනවා. මේ පිළිබඳව දේශීය සහ විදේශීය සමාගම්වල නියෝජිතයන් දැනුවත්ව සිටිනවා. ඒ හරහා තමයි ඔවුන් දැනුවත්වීම සිදු වන්නේ. එම නිසා මා මුලින් සඳහන් කළ ‍ට්‍රාන්ස්ෆෝමර් හැරෙන්නට, මේ සියලු දේවල් ටෙන්ඩර් කාර්ය පටිපාටිය අනුවයි සිද්ධ වන්නේ.

(ඈ)   අදාළ නොවේ.

 

ඇමුණුම සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2017-02-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks