පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
304/’15
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගෝලීය දෙමළ සංසදයේ සභාපති එස්.ජේ. එමානුවෙල් පියනමට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට ජනාධිපතිතුමා විසින් ආරාධනා කර තිබේද;
(ii) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1373 දරන යෝජනා සම්මුතිය යටතේ ත්‍රස්තවාදින්ට සහාය දක්වන සංවිධානයක් ලෙස නම් කර, තහනම් කර තිබෙන ගෝලීය දෙමළ සංසදයේ එකී තහනම ආණ්ඩුව විසින් ඉවත් කර තිබේද;
(iii) එසේ තහනම ඉවත් කිරීමට බලපෑ හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ගෝලීය දෙමළ සංසදය, කොටි ත්‍රස්තවාදයට සහය දැක්වීම පිළිබඳ කණගාටුව පළ කිරීමක් හෝ අනාගතයේ දී ත්‍රස්තවාදයට සහාය නොදක්වන බවට ප්‍රතිඥාවක් ලබා දී තිබේද;
(ii) දෙමළ ඊළම නමින් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් එස්.ජේ. එමානුවෙල් පියනම ප්‍රකාශිතව ඉවත් වී තිබේද;
(iii) ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට සෘජුව හෝ වක්‍රව, ආධාර හෝ අනුබල සැපයීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ. ව්‍යවස්ථාව උල්ලංඝණය වන දඬුවම් ලැබිය යුතු වරදක් බව පිළිගන්නේද;
(iv) එවැනි වරදක් කරන පුද්ගලයෙකුට අනුබල දීමත් වරදක් බව පිළිගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-12
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විදේශ රටවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට සහභාගි වන ලෙස ආරාධනා කරමින් අතිගරු ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා රජය දැනටමත් ප්‍රසිද්ධ නිවේදනයක් කර තිබේ.
(ii) ඔව්.
ශක්නුවත් බලධාරියා විසින් සමාලෝචනය කරනු ලැබීමෙන් අනතුරුව, සියලුම පාර්ශ්වකරුවන් විසින් පිළිගනු ලබන උපමානවලට අනුකූලව ගෝලීය දමිළ සංසදය, තවත් සංවිධාන 7ක් සමඟ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදී.
(iii) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2010 මැයි 15වැනි දින පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව - LLRC - මෙසේ ප්‍රකාශ කරයි:
"ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වය දැන් නිමා වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පුරවැසිභාවයෙහි ඵල සමානව සියලු ශ්‍රී ලාංකිකයන්ට භුක්ති විඳිය හැකි වන පරිදි තිරසාර සාමය හා ආරක්ෂාවත්, සංහිඳියාවත් ගොඩ නැඟීම සඳහා අවශ්‍ය කාලය හා අවකාශය දැන් නිර්මාණය වී ඇත. ඒ සඳහා යන ගමනේදී, සන්නද්ධ අරගළය නිමා කිරීමෙන් ලද සාර්ථකත්වය, සියලු පාර්ශ්වයන් සහභාගි වන්නා වූ සංවාදාත්මක දේශපාලන ක්‍රියාවලියක් දක්වා මෙහෙය විය යුතු අතර, එය එසේ සිදු වුවහොත් වෙනත් ආකාරවලින් පවත්නා ගැටුමද නිමාවනු ඇත."
ගරු කථානායකතුමනි, විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සංවර්ධනය සඳහා දායක වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා විස්තීර්ණ ප්‍රවේශයක් සැකසිය යුතු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශයයි. මෙම කොමිෂන් සභාව මෙවැනි ප්‍රවේශයක තිබිය යුතු ප්‍රධාන අංගයක් මෙසේ දක්වාලයි:
“…the Government must also be proactive in encouraging and supporting the work of the expatriates who do not advocate the discarded LTTE ideology of violence and separation and who espouse the democratic principles of ethnic harmony and consensual politics.”
ගරු කථානායකතුමනි, වැදගත් කාරණාව මෙයයි:
"රජය විසින් එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදය සහ හිංසනය පිටු දකින, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සමගිය සහ විවිධ දේශපාලන මතවලට ගරු කරන විදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධ වීම හා ඔවුන්ට ආධාර සහ අනුබල දීම කළ යුතුය."
ප්‍රතිසන්ධානය හා ඩයස්පෝරාව සමඟ සිදු කරන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා නව රජයේ ප්‍රතිපත්තිවලට අනුව, පසු ගිය වසර තුන පුරා ශ්‍රී ලංකාවේදී හෝ විදේශ රටකදී හෝ යම් අපරාධයක්/ත්‍රස්තවාදයට අරමුදල් රැස් කිරීමේ කටයුත්තක් සිදුකර තිබීම සම්බන්ධයෙන් සාක්ෂි නොමැති හෙයින් මෙම කණ්ඩායම්, ආස්ථිතීන් හා තනි පුද්ගලයන්ට පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව සලකා බැලීම සඳහා ඉහත සඳහන් කර ඇති පරිදි මෙම ලැයිස්තුව පිළිබඳව සමාලෝචනයක් සිදු කරන ලදි.
(ආ) (i) පැන නොනඟී.
(ii) 2015 ජනවාරි මස නව රජය තේරී පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලාංකික දමිළ ජනතාවට අදාළ වන ගැටලුවලට විසඳුම් සෙවීමේදී ගෝලීය දමිළ සංසදය ශ්‍රී ලංකා රජයට සිය සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දුන් අතර, දමිළ ජනතාවට සාමයෙන් හා සමඟියෙන් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ගෙන ඇති පියවර පැසසුමට ලක් කළේය.
(iii) ඔව්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) වගන්තියේ දක්වා ඇති අර්ථකථනවලට අනුකූලව එය වරදක් වන්නේය.
(iv) ඔව්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (3) වගන්තියේ දක්වා ඇති අර්ථකථනවලට අනුකූලව එය වරදක් වන්නේය.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-02-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks