01

E   |     |  

 දිනය: 2015-12-05   පිළිතුර ලබා දී ඇත 

0162/2015: මහවැලි කලාපවල පදිංචි කළ ගොවි පවුල් : ඉඩම් ලබාදීම

162/’15

2.

ගරු චන්දිම ගමගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මහවැලි කලාපවල පදිංචි කළ මුල් ගොවි පවුල් මේ වනවිට සිය තුන්වන පරම්පරාව දක්වා විහිදී ඇති බවත්;

             (ii)      ඔවුන් මේ වනවිට තම පියාට හෝ සහෝදරයින්ට අයත් අක්කර 2 1/2ක වගා භූමිය හවුලේ වගා කරමින් උපයාගන්නා සුළු ආදායමින් මහත් අසීරුවෙන් ජීවත්වන බවත්;

(iii) මුල් පදිංචිකරුවන්ට පදිංචිය සඳහා ලබාදුන් අක්කර 1/2 ක භූමි ප්‍රමාණය තුළ මෙම පරම්පරා තුනම කුඩා නිවාස සාදාගෙන දැඩි අසීරුවෙන් ජීවත්වන බවත්;

         එතුමා දන්නෙහිද?

(iv) නොඑසේ නම්, ඒ මන්ද?

 (ආ) (i) මෙම පවුල් සඳහා අලුතින් වගා භූමි හා පදිංචියට ඉඩම් ලබාදීමේ සැලසුමක් තිබේද;

(ii) එසේ නම්, එම සැලසුම් ක්‍රියාත්මක වන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මහවැලි ව්‍යාපාරය තුළ තිබෙන මෙතෙක් පරිහරණයට නොගත් ඉඩම් ප්‍රමාණය කොපමණද;

(ii) එම රක්ෂිත කවරේද;

(iii) යම් විශේෂ අවසරයක් මත, එම රක්ෂිතවලින් බාහිර පාර්ශ්වයන්ට බලපත්‍ර මත හෝ බදු පදනම් මත ඉඩම් ලබා දී තිබේද;

(iv) එසේ නම්, එම ඉඩම් ප්‍රමාණය කොපමණද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2015-12-05

අසන ලද්දේ

ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      පිළිගත හැකියි.

             (iii)      මුල් පදිංචිකරුවන් වෙත පදිංචිය සඳහා ලබා දුන් අක්කර 1/2ක ගොඩ ඉඩම් ප්‍රමාණය තුළ සමහර පවුල් ආශ්‍රිතව එක් එක් පරම්පරාවලට අයත් පවුල් අනු පවුල් ලෙස මුල් පදිංචිකරු සමඟ ජීවත් වන අතර, පසු අවස්ථාවලදී අනු පවුල්වලට ද අනවසර නියමානුකූල කිරීම් යටතේ සහ ඉඩම් කච්චේරි යටතේ පදිංචිය සහ වගාව සඳහා ඉඩම් ලබා දී ඇති අවස්ථා ද ඇත.

(iv) අදාළ නොවේ.

(ආ) (i) මෙම අනු පවුල් ඒකක සඳහා වාරි ඉඩම් ලබා දීමට අදාළ බල ප්‍රදේශවල ඉඩකඩ නොමැති බැවින් පදිංචිය සඳහා පමණක් ඉඩම් ලබා දීමට ඉඩම් සංවර්ධන ආඥාපනතේ විධිවිධාන යටතේ ඉඩම් කච්චේරි පැවැත්වීමට විටින් විට කටයුතු කරනු ලැබේ. දැනටමත් මහවැලි "සී" හා "බී" කලාපවල ඉඩම් කච්චේරි පවත්වා අවසන් කර ඇති අතර, ඉදිරි මාස 06ක කාලය තුළ අදාළ ඉඩම්  විධිමත්ව භාර දීමට සැලසුම් කර ඇත.

(ii) වලව කලාපයේ ඉඩම් කච්චේරිය 2016 වර්ෂයේ පළමු කාර්තුවේදී පවත්වනු ලැබේ.

(ඇ) (i) මහවැලි ව්‍යාපාරය තුළ ඇති රක්ෂිත ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 67,713.93ක් වේ.

(ii) ඉහළ ගංගාධාර ජලාශ, වැව්, ගංගා, ඇළ, දොළ සඳහා වූ රක්ෂිත වේ.

(iii) එම රක්ෂිතවලින් විශේෂ අවසරයක් මත බාහිර පාර්ශ්වයන්ට වාර්ෂික බලපත්‍ර මත ඉඩම් ලබා දීමට ඉඩකඩක් නොමැති අතර, වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති මීටර් 100 සීමාව තුළ පමණක් පෞද්ගලික ඉඩම් හිමියන් හට සීමාවන්ට යටත්ව පරිහරණය කිරීම සඳහා ඉඩකඩ සලසා දී ඇත. අනවසර අල්ලා ගැනීම් ආශ්‍රිතව අධිකරණ නියෝග හරහා නෙරපීම් නියෝග නිකුත් කර ඇත.

(iv) වික්ටෝරියා ජලාශ ආශ්‍රිතව පමණක් අධිකරණ තීන්දුවක් ආශ්‍රිතව නීතිපති උපදෙස් මත හෙක්ටයාර 3.5ක ඉඩම් පමණක් විශේෂිත කොන්දේසිලට යටත්ව ලබා දී ඇත.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks