04

E   |     |  

 දිනය: 2015-11-03   පිළිතුර ලබා දී ඇත 

0016/2015: දිවි නැගුම අරමුදල අවභාවිතය: විමර්ශනය

16/’15

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— සමාජ සවිබලගැන්වීම් සහ සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)      දිවිනැගුම අරමුදල සතු රුපියල් මිලියන 3000ක් 2015 ජනාධිපතිවරණය පාදක කරගනිමින් 2014 නොවැම්බර් 02 දින සිට 2014 නොවැම්බර් 09 දක්වා දින 07ක් තුළදී අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(ii) ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා තිබේද; සහ

   (iii) මෙතෙක් නඩු පවරා නොමැතිනම්, එම විමර්ශනයේ වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙමගින් දිවිනැගුම අරමුදලට අහිමි වූ රුපියල් මිලියන 3000ක මුදල සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; සහ

(ii) රජය සතු විවිධ අරමුදල් මේ අයුරින් විෂයභාර අමාත්‍යවරුන්ට කිසිදු අමාත්‍ය මණ්ඩල තීරණයක් නොමැතිව සිය අභිමතය පරිදි විනාශ කිරීමට ඉඩ ලැබීම අයහපත් පූර්වාදර්ශයක් බැවින් අනාගතයේදී එවැනි දෑ වැළැක්වීමට විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) මෙවැනි මූල්‍ය අපරාධ විමර්ශනයන් සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට හෙළිකරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2015-11-03

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2014 නොවැම්බර් 02වන දින සිට 2014 නොවැම්බර් 09වන දින දක්වා දින හතක් තුළදී දිවි නැගුම අරමුදල සතු කිසිදු මුදලක් අවභාවිත කර නැත. 2014 නොවැම්බර් 09වන දිනට අරමුදල සතුව තිබූ මුළු වටිනාකම වන්නේ, රුපියල් මිලියන 1,207ක් පමණි.

              (ii)       මූල්‍ය අවභාවිත කිරීමක් සිදු වී නොමැති බැවින් නඩු පැවරීමේ අවශ්‍යතාවක් නොමැත.

(iii)  දිවිනැගුම අරමුදල සතු රුපියල් මිලියන 3,000ක් අවභාවිත කර නොමැති හෙයින් ඒ සම්බන්ධ විමර්ශනයක් නොපැවැත්වේ.

(ආ) (i) දිවිනැගුම අරමුදලට අහිමි වූ මුදලක් නොමැති බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට අවශ්‍ය වී ‍නොමැත.

      (ii) අනාගත‍යේදී රජය සතු විවිධ අරමුදල් භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු නීති රීතිවලට අනුව කටයුතු කරන බව ප්‍රකාශ කරමි.

(ඇ) මූල්‍ය අපරාධයක් සිදු වී නොමැති බැවින් විමර්ශනයක් සිදු කිරීම හෝ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම අවශ්‍ය වී නොමැත.

(ඈ) ඒ සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් විමසිය යුතුය.

පිළිතුරු දුන් දිනය

2015-11-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks