01

E   |     |  

 දිනය: 2015-02-06   පිළිතුර ලබා දී ඇත 

5656/2015: රාමසාමි ප්‍රභාකරන්: පැහැර ගෙන යෑම

5656/’14

 

ගරු සිවශක්ති ආනන්දන් මහතා,— මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      බම්බලපිටිය, මැජෙස්ටික් සිටි හි, තුන්වැනි මහලේ, අංක 3-26 සහ 27 යන ස්ථානයන්හි පිහිටි “පැනමා ට්‍රේඩර්ස්” වෙළඳ ආයතනයේ හිමිකරු වූ රාමසාමි ප්‍රභාකරන් යන අය මාස 28ක කාලයක් අත්අඩංගුවේ තබා සිටිය දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව නිදහස් කළ අයෙකු බවත්;

(ii) නිදහස ලැබීමෙන් පසු මොහු විසින් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ රාජ්‍ය විමර්ශණ ඒකකයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන යන අයට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක්  ගොනු කර  තිබූ බවත්;

(iii) ඊට අදාළ නඩු විභාගය 2012 පෙබරවාරි 13 ‍වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ බවත්;

(iv) 2012 පෙබරවාරි 11 වැනිදා ප. ව. 3.30ට පමණ සුදු වෑන් රථයක පැමිණි පිරිසක් විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ දී මොහු පැහැරගෙන ගොස් ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) 2012 පෙබරවාරි මස 11 ‍වැනි දින අතුරුදන් වූ රාමසාමි ප්‍රභාකරන් මේ වනවිට සිටින ස්ථානය කවරේද;

(ii) ඔහුගේ තත්ත්වය කෙසේද;

  (iii) ඉහත කී පැහැර ගැනීමට සම්බන්ධ වූ අය හෝ අදාළ සැකකරුවන් කවුරුන්ද;

 

(iv) ඔවුන්ගේ  නම් හෙළි කිරීමට නොහැකි නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-02-06

අසන ලද්දේ

ගරු අන්නාමලෙයි නඩේසු සිවශක්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       ඔව්. රාමසාමි ප්‍රභාකරන් යන අය 2009 දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු රැගෙන ඒමට අධාර අනුබල දීම සම්බන්ධයෙන් 2009.05.22 වන දින අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග මත රඳවා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කර ඇති අතර, නීතිපති උපදෙස් මත ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් 2011.09.16 දිනැතිව ඔහු නිදහස් කර ඇත.

(ii) නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ අයදුම් පත් අංක 963/2009 යටතේ ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබූ බවට රාමසාන් ප්‍රභාකරන් යන අයගේ බිරිඳ වන ශිරෝමනී නාරායනන් විසින් වැල්ලවත්ත පොලිස් ස්ථානයට කර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත.

(iii) එම නඩු විභාගය 2012.02.13 දිනට පැවැත්වීමට නියමිතව තිබී ඇති බවට ඉහත පැමිණිලිකාරිය විසින් වැල්ලවත්ත පොලිස් ස්ථානයට කර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත.

(iv) වැල්ලවත්ත, කැනල් බෑන්ක් පාර, අංක 153/01/01 දරන තම නිවස ඉදිරිපිටදී 2012.02.11 දින සවස 03.30ට පමණ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැර ගෙන ගිය බවට ඔහුගේ බිරිඳ වන ශිරෝමනී නාරායනන් නැමැත්තිය විසින් වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත බල අපරාධ ලේඛන අංක 36/2012 යටතේ 2012.02.11 වන දින කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත.

(ආ) (i) මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී නොමැත.

(ii) මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී නොමැත.

(iii) විමර්ශනයේදී සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

(iv) විමර්ශනයේදී සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks