01

E   |     |  

 දිනය: 2015-03-04   පිළිතුර ලබා දී ඇත 

5093/2015: මාලදිවයින් රජය වෙත ලබා දී තිබෙන ආධාර : මූල්‍ය වටිනාකම

5093/’14

 

ගරු අනුර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      පසුගිය වර්ෂ 5 තුළ දී,  ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයින් රජය වෙත යම් මූල්‍යමය ආධාර කිරීමක් හෝ ව්‍යාපෘති සඳහා ආධාර කිරීමක් සිදුකර තිබේද;

(ii) එසේ නම්, එම ආධාරවල මූල්‍ය වටිනාකම කොපමණද;

(iii) එම රට වෙත යම් ඉදිකිරීම් ව්‍යාපෘතියක් ලබා දී තිබේ නම්, එම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගනු ලැබූ ආකාරය කවරේද;

(iv) එම මූල්‍යමය ආධාර හෝ ව්‍යාපෘති ආධාර ලබා දීමේ අරමුණ කවරේද;

(v) ශ්‍රී ලංකා රජය විශාල විදේශ ණය ප්‍රමාණයක් ගෙවීමට තිබියදී, ඉහත පරිදි වෙනත් රටකට ආධාර ලබා දීම නිශ්ඵල ක්‍රියා මාර්ගයක් නොවන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-04

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      සිදු කර තිබේ.

(ii) සහ (iii)       මෙම  ප්‍රශ්නවලට එක විධියට කරුණු ටික ඉදිරිපත් කරන්නම්. 

                         2011 නොවැම්බර් මාසයේ මාලදිවයිනේ පැවැති සාර්ක් සමුළුව සඳහා සූදානම් වෙමින් සිටි මාලදිවයින ජනරජයේ ආණ්ඩුව "Sunset Bridge" වෙතින් ආරම්භ වී අඩ්ඩු දූපතෙහි මරඩු සහ ෆේඩු හරහා දිවෙන කිලෝමීටර් 4. 8ක් දිගැති asphalt කොන්ක්‍රිට් මාර්ගය ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලන ලදී. ඒ අනුව එම සහාය ලබා දෙන්නටත්, අවශ්‍ය ඉදි කිරීම් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ සිට මාලදිවයින වෙත ප්‍රවාහනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබා දීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයට බලය පැවරීම සහ සෘජු කොන්ත්‍රාත් ලබා දීමේ ක්‍රමය භාවිතා කරමින් එම කාලයේ මාලදිවයිනෙහි සේවයේ නියුතුව සිටි                   ශ්‍රී ලංකාවේ International Construction Consortium (Pvt.) Limited වෙතින් සහාය ලබා ගැනීම මඟින්  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට බලය පැවරීම.

සහාය ලබා දීම කියන්නේ මොකක්ද කියලා මට හරියටම පැහැදිලි නැහැ.

ඒ අනුව මේ සමාගම ඇමෙරිකන් ඩොලර් 10,293,272.85කට  මේ කාර්යය තක්සේරු කර තිබෙනවා. පසුව සාකච්ඡාවකින් පස්සේ මේ කොන්ත්‍රාත් මුදල ඇමෙරිකන් ඩොලර් 9,900,000.00 දක්වා අඩු කර තිබෙනවා. මේ ICC සමාගම  ගිය ආණ්ඩුව සමඟ හුඟක් ළඟින් වැඩ කටයුතු කරලා විවෘත ටෙන්ඩර් නැතිව කොන්ත්‍රාත් ලබා ගත්ත සමාගමක්.

(iv) මාලදිවයින් රජය විසින් කරන ලද ඉල්ලීමක් අනුව.

1. ජාතීන් අතර අන්‍යෝන්‍ය අව‍‍‍බෝධය සහ ද්වීපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හා අනාගතයේදී දෙරට අතර වෙළෙඳ හා අළෙවි අවස්ථා වැඩිදියුණු කර ගැනීම.

2. දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ ධාරිතාව  ඉහළ නංවාලීමට ලැබෙන අවස්ථාවද සැලකිල්ලට ගෙන ඇත. මාලදිවයිනෙහි සේවයෙහි නියුක්ත ශ්‍රී ලාංකික කොන්ත්‍රාත්කරුවෙකු වෙත මෙම ව්‍යාපෘතිය ලබා දී ඇත.

(v) දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ද්වීපාර්ශ්වික සම්බන්ධතා‍ව ඉහළ නැංවීම මඟින් අනාගතයේදී  මාලදිවයින තුළ ශ්‍රී ලංකාව සඳහා වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීම තුළින් ආර්ථික ප්‍රතිලාභ ළඟා කරගැනීම රජයේ අරමුණ වී ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks