01

E   |     |  

 දිනය: 2015-03-03   පිළිතුර ලබා දී ඇත 

5091/2015: පලස්තීන රජයට මූල්‍යමය ආධාර: විස්තර

5091/’14

 

ගරු අනුර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පසුගිය වර්ෂ 5 තුළ දී  ශ්‍රී ලංකා රජය විසින් පලස්තීන රජය වෙත යම් මූල්‍යමය ආධාර කිරීමක් හෝ ව්‍යාපෘති සඳහා ආධාර කිරීමක් සිදුකර තිබේද;

(ii) එසේ නම්, එම ආධාරවල මූල්‍ය වටිනාකම කොපමණද;

(iii) එම රට වෙත යම් ඉදිකිරීම් ව්‍යාපෘතියක් ලබා දී තිබේ නම්, එම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගනු ලැබූ ආකාරය කවරේද;

(iv) එම මූල්‍ය ආධාර හෝ ව්‍යාපෘති ආධාර ලබා දීමේ අරමුණ කවරේද;

(v) ශ්‍රී ලංකා රජය විශාල වි‍දේශ ණය ප්‍රමාණයක් ගෙවීමට තිබිය දී ඉහත පරිදි වෙනත් රටකට ආධාර ලබා දීම නිශ්ඵල ක්‍රියා මාර්ගයක් නොවන්නේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-03

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ගාසා තීරයේ මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියනයක චෙක් පතක් ප්‍රදානය කර ඇත.

             (iii)      ඉදිකිරීමේ ව්‍යාපෘතියකට එළඹී නැත.

             (iv)      මහින්ද රාජපක්ෂ නමින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ගාසා තීරයේ ඇති කිරීම.

              (v)      මට ලැබෙන වාර්තා අනුව නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නම ගාසා තීරයේ ඉතාම ජනප්‍රිය නමක්. [බාධා කිරීමක්] ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි, ඔබතුමා හිනා වෙන්නේ ඇයි?   ගරු මන්ත්‍රීතුමනි, මේවා විතරක් නොවෙයි. විදේශ ණය අරගත්තේ තවත් බර දමන්න නේ. ඒ විදේශ ණයවලින් මාළිගා හදන කොට මෙහෙත් ගිහින් සල්ලි දමන එක පුදුමයක්ද? යාපනයේ තරු හතක මාළිගාවක් තිබෙනවා. පානම හදන්න ගිය මාළිගාවේ කාමර 57ක් තිබුණා.

විශේෂයෙන්ම ප්‍රභූවරුන්ගේ නිවාඩු නිකේතන -VIP නිවාඩු නිකේතන- 3ක් පිහිනුම් තටාක තුනක් සමඟ දැනට හදලා තිබෙනවා. අඩි 100ක් දුර ගියොත් මුහුදට පනින්න පුළුවන්. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට වඩා විශාල සම්මන්ත්‍රණ ශාලාවක් අරලියගහ මන්දිරයේ හදා ගෙන යනවා. මේවායින් ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ සම්පූර්ණයෙන්ම ඔබතුමන්ලාට, රටේ ජනතාවට  බර දමන්නයි. ඔය නාස්තිය නැවැත්වූ නිසා අඩු ගණනේ දැන් සහනයක් දෙන්න හැකි වෙලා තිබෙනවා. මේ ණය මුදල් ගෙවන්නේ කොහොමද කියන එක තව ප්‍රශ්නයක්.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks