01

E   |     |  

 දිනය: 2013-12-18   පිළිතුර ලබා දී ඇත 

4077/2013: කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වී වගා හානි : සහනාධාර

4077/’13

 

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2012 වර්ෂයේ යල කන්නයේදී ඇති වූ නියඟය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වී වගාවට සිදු වූ හානිය කොපමණද;

             (ii)      වී වගාවට සිදු වූ ඉහත හානි වෙනුවෙන්  මෙතෙක් ගොවීන්ට සහනාධාර ලබා නොදීමට හේතු කවරේද;

(iii) 2012-2013 වකවානුව තුළ මහ කන්නයේදී  ගංවතුර හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හානියට පත් වූ කුඹුරු ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

(iv) එම ගංවතුර නිසා ගොවීන්ට සිදුවූ  හානිය කොපමණද;

(v) එම ගොවි ජනතාවගේ වී වගාවන්ට සිදු වූ ඉහත හානිය වෙනුවෙන් මෙතෙක් සහනාධාර ලබා නොදීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-12-18

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

(අ)    (i)   2012 වර්ෂයේ යල කන්නයේ ඇති වූ නියඟය හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වගා කරන ලද කුඹුරු අක්කර 12,899න් සියයට 76-100ත් අතර හානි වූ කුඹුරු අක්කර ප්‍රමාණය - 1,267.75කි. සියයට 50-75ත් අතර හානි වූ කුඹුරු අක්කර ප්‍රමාණය - 2,638කි.

                (ii)      මෙම නියඟයෙන් වගා හානි වූ ගොවීන් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් නොමිලයේ බිත්තර වී බෙදා දීමක් ද සිදු කරන ලදී. ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් අක්කරයට රුපියල් 2,000ක් වැනි සහන ගාස්තුවක් යටතේ හානි වූ කුඹුරු නැවත සැකසීමේ කටයුතු සඳහා අවශ්‍ය ට්‍රැක්ටර් ගොවීන් වෙත ලබා දීමට කටයුතු කරන ලදී.

        (iii) 2012/2013 මහ කන්නයේ ඇති වූ ගංවතුර හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වගා කරන ලද කුඹුරු අක්කර 56,193.11න් සියයට 76-100ත් අතර හානි වූ කුඹුරු අක්කර ප්‍රමාණය - 26,639.85කි. සියයට 50-75ත් අතර හානි වූ කුඹුරු අක්කර ප්‍රමාණය 1,211.5කි.

         (iv) 2012/2013 මහ කන්නයේ අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 81,566.60ක් වුවත් ලැබුණු අස්වැන්න 70,803.3ක් වන අතර මෙට්‍රික් ටොන් 10,763.28කින් අස්වැන්න අඩු විය.

          (v) කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් හානියට ලක් වූ කිලිනොච්චි ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් කුඹුරු අක්කර 140කට හා පූනකරී ගොවිජන බල ප්‍රදේශයට අයත් කුඹුරු අක්කර 25ක් සඳහා වන්දි ලබා දීමට කටයුතු කරන ලදී.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ රුපියල් 2,000ක් වැනි සහන ගාස්තුවක් යටතේ වගා හානි වූ කුඹුරු නැවත සැකසීමේ කටයුතු සඳහා අවශ්‍ය ට්‍රැක්ටර් ගොවීන් වෙත ලබා දීමට කටයුතු කරන ලදී.

(ආ)    අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-12-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks