01

E   |     |  

 දිනය: 2025-12-05   පිළිතුර ලබා දී ඇත 

1506/2025: ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින්: ස්ථාන මාරුවීම්

1506/2025

ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත්   පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා පරිපාලන සේවයේ බොහෝ නිලධාරින් වසර දහයකට අධික කාලයක් ස්ථාන මාරුවීම් නොමැතිව සිටින බව දන්නේද;

             (ii)      එසේ නම්, එම නිලධාරින් සඳහා ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර කවරේද;

(iii) නිසි ස්ථාන මාරුවීම් නොමැතිවීම හේතුවෙන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පරිපාලන අකාර්යක්ෂමතාව සහ පක්ෂග්‍රාහීත්වය වැනි ගැටලු මතුවී ඇති බව දන්නේද;

(iv) එසේ නම්, ඒවා විසඳීම සඳහා ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) නිර්දේශිත ස්ථාන මාරුවීම් කාලය ඉක්මවා සිටින නිලධාරින් හඳුනාගැනීම‍ට විනිවිදභාවයෙන් යුතු, ස්ථිර වැඩපිළිවෙළක් තිබෙන්නේද;

(ii) නොඑසේ නම්, ස්ථාන මාරුවීම් ක්‍රියාවලියේ සාධාරණත්වය සහ වගකීම්සහගතභාවය සහතික කිරීමේ ක්‍රමවේදයක් ඇති කරන්නේද;

(iii) චක්‍රීය ක්‍රමයෙන් යුතු පත්කිරීම් වැනි ප්‍රතිසංස්කරණ යොදා ගැනීමේ හැකියාව කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් සඳහා වන ස්ථාන මාරු ප්‍රතිපත්තිය, නවීන පරිපාලන ප්‍රමිතීන්ට අනුකූලව සංශෝධනය කරන්නේද;

       (ii) නොඑසේ නම්, එම ස්ථාන මාරුවීම් විධිමත් කිරීමට ගන්නා පියවර කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-12-05

අසන ලද්දේ

ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     එවැනි නිලධරයන් සිටින බව නිරීක්ෂණය වී ඇත. 

              (ii)       රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති අනුව වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින අතර, ඒ අනුව අනුප්‍රාප්තික නිලධරයන් ගැළපීමේ හැකියාව සැලකිල්ලට ගෙන සෑම වර්ෂයකම ස්ථාන මාරුවීම් සිදු කරන අතර, ඊට අමතරව නිලධාරින් බඳවා ගැනීම සිදු කරන අවස්ථාවලදී එකම සේවා ස්ථානයක උපරිම සේවා කාලයක් සේවය කර, ස්ථාන මාරු අ‍පේක්ෂාවෙන් පසුවන නිලධරයන්හට ස්ථාන මාරුවීම් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ. තවද, යම් නිලධරයකු විසින් වාර්ෂික ස්ථාන මාරු යටතේ ඉල්ලුම් කරන ලද තනතුරෙහි සිටින වත්මන් නිලධරයා එම අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, පළාත් සභාව තුළ වසර 12ට වැඩි නම් ඔහු හෝ ඇය එම තනතු‍රින් ස්ථාන මාරු කර අනුයුක්ත නිලධරයාගේ සේවා ස්ථානයට අනුයුක්ත කරනු ලැබේ.

  (iii)  හැකි සෑම අවස්ථාවකදීම වාර්ෂික ස්ථාන මාරු ලබා දීමට කටයුතු කරන අතර, වාර්ෂික ස්ථාන මාරුවලට අමතරව සුහද ස්ථාන මාරු හෝ නිලධරයාගේ ඉල්ලීම මත කෙරෙන ස්ථාන මාරු සිදු කෙරේ. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ සිටින රජයේ නිලධරයන් පවතින නීති රීති රාමුව තුළ හිඳිමින් තම රාජකාරි කටයුතු ඉටු කරන අතර, එක් එක් නිලධාරියා සහ එම නිලධරයාගේ සහාය කාර්ය මණ්ඩලයේ ධාරිතාව හා කැපවීම අනුව යම් යම් කාර්යයන් ඉටු කර අවසන් කිරීම සඳහා වෙනස් වූ කාලයන් ගත විය හැක.

  (iv)   එවැනි ගැටලුවක් මතු වී ඇති විට මෙම අමාත්‍යාංශයේ දිස්ත්‍රික් පරිපාලනය භාරව ක්‍රියා කරන ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් විසින් අදාළ ගැටලුව පිළිබඳව සොයා බලා ඉදිරිපත් කරනු ලබන නිරීක්ෂණ හා නිර්දේශ සැලකිල්ලට ගෙන එම නිලධරයන් සම්බන්ධයෙන් අවශ්‍ය වේ නම් සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමටත් පත් කිරීම් බලධරයා වන රාජ්‍ය සේවා  කොමිෂන් සභාව හෝ පරිපාලන බලධරයා වන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් කටයුතු කරනු ලැබේ.

(ආ)   (i)  නිලධරයන්ට ස්ථාන මාරු ලබා දීමෙන් පසු එම ස්ථාන මාරුවීම අනුව නිලධරයන් සේවයට වාර්තා කිරීම සම්බන්ධව පසු විපරම් කිරීම සිදු කරන අතර, ඒ සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත වාර්තා කිරීමට සිදු වේ. ඒ අනුව මෙම අමාත්‍යාංශය තුළ සකස් කරනු ලබන දත්ත පද්ධතිය මඟින් වාර්ෂික ස්ථාන මාරු සැලසුම් කිරීමේදී ඒ ඒ නිලධරයා අදාළ සේවා ස්ථානය තුළ සේවය කළ කාලය සලකා බලා කටයුතු කරනු ලැබේ.

  (ii)     තවදුරටත් මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කර ගැනීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගනිමින් පවතින අතර, ඒ අනුව මෙවැනි නිලධාරින් හඳුනා ගැනීමට හා එම නිලධාරින් සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පහසු වනු ඇත. කෙසේ වුවද, වාර්ෂික ස්ථාන මාරුවීම් සිදු කළ හැක්කේ සෑම විටම අනුප්‍රාප්තිකයෙකු සහිතව වන බැවින් දීර්ඝ කාලයක් එකම තනතුරක සිටියද ඉන් ඉවත් කිරීම අපහසු වී ඇත.

  (iii)   ඉතා ඵලදායී ක්‍රමවේදයක් යෝජනා කර ඇති අතර, නිසි ඉහළ තනතුරු දරන නිලධරයන් සඳහා සේවා ස්ථාන ඛණ්ඩ කිරීමෙන් පසු මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම වඩාත් සඵලදායී වේ.

    අධ්‍යයනයකින් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සඳහා කටයුතු කරනු ලැබේ.

(ඇ)  (i), (ii)  ඉහත පරිදි නිසි අධ්‍යයනයකින් පසු ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ, ස්ථාන මාරු ප්‍රතිපත්තිය අනුමත කරනු ලබන නිලධරයා වශයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර තීරණයක් ලබා ගත යුතුව ඇත.

(ඈ)  අදාළ ‍නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks