01

E   |     |  

 දිනය: 2025-11-14   පිළිතුර ලබා දී ඇත 

1463/2025: කැපූ මල් සහ පැළ ආනයනය: විස්තර

1463/2025

ගරු අම්බිකා සාමිවෙල් මෙනෙවිය,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කැපූ මල් වර්ග හා පැල වර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

 

              (ii)      එම එක් එක් මල් වර්ගයෙන් වාර්ෂිකව ආනයනය කරනු ලබන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  එම මල් වර්ග ආනයනය කිරීම සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල කොපමණද;

  (iv)  ආනයනය කරනු ලබන මල් වර්ග ශ්‍රී ලංකාවේ වගා කිරීමට හැකියාවක් තිබේද;

  (v)  එසේ නම්, ඒ සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-14

අසන ලද්දේ

ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)    (i), (ii)        මෙම කැපූ මල් වර්ග හා පැළ වර්ග සහ වාර්ෂිකව ආනයනය කරනු ලබන සංඛ්‍යාව පිළිබඳව තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන අංශයෙන් ලබා ගන්නා ලද අතර, ඔවුන් විසින් ඉල්ලීම් කරනු ලබන කැපූ මල් වර්ග ආනයනය සඳහා පමණක් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් ‍නිර්දේශ ලබා දෙනු ලැබේ. 

පරිසර අමාත්‍යාංශය යටතේ තමයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව තිබෙන්නේ. එමඟින් කරන්නේ ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන එක.

එසේම ශ්‍රී ලංකා රේගුව මඟින් ලබා ගන්නා ලද දත්තවල සඳහන් පරිදි වාර්ෂිකව ආනයනය කරනු ලබන සංඛ්‍යාව ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත.

  (iii) ශ්‍රී ලංකා රේගුව මඟින් ලබා ගන්නා ලද දත්ත මූලාශ්‍රවල සඳහන් පරිදි මල් වර්ග ආනයනය සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල් ප්‍රමාණය ඇමුණුම අංක 01හි සටහන් වෙලා තිබෙනවා. දළ වශයෙන් රුපියල් මිලියන 746ක් ඒ සඳහා වැය වනවා.

  (iv) ගරු කථානායකතුමනි, ආනයනය කරන මල් වර්ග අතුරින් පහත සඳහන් මල් වර්ග ශ්‍රී ලංකාව තුළ වගා කළ හැක.

● රෝස ● සූරියකාන්ත

● කානේෂන් ● ඇ(ල්)ස්ට්‍රොමේරියා

● ලිමෝනියම් ● ජිප්සොපිලා

● ජර්බෙරා ● ඕකිඩ්

● හයිඩ්‍රැන්ජියා ● පිලෝඩෙන්ඩ්‍රන්

● කපුරු ● ලිලී වර්ග

● ඇන්තූරියම්

  (v) දැනට බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක තුළ කැපූ මල් වගාවන්හි නිරත වන සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් සිටින අතර, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව "සුවහස් මල්" ව්‍යාපෘතියේ සංගම් 16ක් මඟින් ඔවුන් වෙත අවශ්‍ය තාක්ෂණය, ද්‍රව්‍යමය ආධාර සහ වෙළෙඳ පොළ පහසුකම් සපයනු ලබයි. තවද, එම ව්‍යාපෘතිය යටතේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සුවහස් මල් සංගම් 214ක් මඟින් ඉහත සඳහන් කටයුතු සිදු කරනු ලබයි.

මීට අමතරව එම කැපූ මල් වර්ග මහා පරිමාණ ලෙස වගා කිරීම සඳහා වන යෝජනාවක් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද "මල් වගා අංශයේ සංවර්ධනය සඳහා උපාය මාර්ගික සැලැස්ම" - Strategic Plan For Floriculture Sector Development - යන යෝජනාවලියේ පහත පරිදි අන්තර්ගත කර ඇත. එම යෝජනාවලිය ඇමුණුම අංක 02 මඟින් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනාවලිය ප්‍රධාන අරමුණු 5ක් යටතේ සකස් කර ඇති අතර, දේශීය කැපූ මල් කර්මාන්තය දියුණු කිරීමද එහි ප්‍රධාන අරමුණක් ලෙස දක්වා ඇත.

මෙහිදී දේශීය මල් වගාව දියුණු කිරීම යටතේ කැපූ මල් වගාකරුවන් හඳුනා ගෙන ඔවුන්ගේ වගාවන් දියුණු කිරීම සඳහා තාක්ෂණික හා මූල්‍ය සහාය ලබා දීම‍ අරමුණු කරගෙන ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත.

දැනට මෙම වගාකරුවන් සුළු හා මධ්‍ය පරිමාණ ලෙස වගා කරගෙන යන අතර, ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් හඳුන්වා දීමෙන් වගාවන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය අරමුණු කරගෙන ඇත. ඊට අමතරව වගාකරුවන් සියලුදෙනා රැස් කර වගාකරුවන්ගේ සමුපකාරයක් - co-operative එකක් - පිහිටුවීමටත්, එමඟින් සියලු ඉල්ලීම් සහ සැපයීම් විධිමත් ලෙස කළමනාකරණය කර ගැනීමත් අරමුණු කරගෙන ඇත.

ඉහත දක්වා ඇති වගාකරුවන්ගේ සමුපකාරයට අමතරව මල් වගාව සඳහා ජාතික කවුන්සලයක් නිර්මාණය කර එමඟින් රට තුළ මල් වගා නිෂ්පාදන හා අවශ්‍යතා නියාමනය කිරීමට බලාපොරොත්තු වේ.

මීට අමතරව නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කය තුළ මල් වගා ආදර්ශ උද්‍යාන ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. එම උද්‍යාන තුළ මහා පරිමාණයෙන් මල් වගා කිරීම සඳහා භූමි, මල් වගාව පිළිබඳ ප්‍රදර්ශන භූමි, පර්යේෂණාගාර මෙන්ම දේශීය මල් නිෂ්පාදන වැඩිදියුණු කිරීමටද යෝජනා සකස් කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-01-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks