01

E   |     |  

 දිනය: 2025-11-14   පිළිතුර ලබා දී ඇත 

1451/2025: විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම: ප්‍රමාදය

1451/2025

ගරු කේ. ඉලංකුමාරන් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දැඩි ප්‍රමාදයක් පැවතීමට හේතු කවරේද;

              (ii)      ඒ හේතුවෙන් ඔවුන්ට හදිසි අවශ්‍යතා සඳහා ගුවන් ගමන්වල නිරත වීමට නොහැකිවී ඇති බව දන්නේද;

  (iii)  එම ප්‍රමාදය හේතුවෙන් අගතියට පත්වූ අයදුම්කරුවන්ට වන්දි හෝ ප්‍රමුඛතාවය ලබා දෙන්නේද;

  (iv)  එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලිය කඩිනම් සහ පහසු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

  (v)  ප්‍රමාදය අවම කිරීම සඳහා ඩිජිටල් හෝ ජෛවමිතික ක්‍රම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේද;

  (vi)  කඩිනම් සේවයක් ලබා දීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ විදේශ තානාපති කාර්යාල අතර පවතින සහයෝගීතාවය කවරේද;

  (vii)    ශ්‍රී ලාංකිකයන් බහුලව ජීවත්වන රටවල ජංගම සේවා හෝ ස්ථානීය සේවා හඳුන්වා දෙන්නේද:

  යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  හදිසි නඩු කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලවල විශේෂ ඒකක ස්ථාපිත කරන්නේද;

   (ii)  විදෙස් රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශස්ත සේවයක් සැපයීම සඳහා වන ඉදිරි වැඩපිළිවෙළ කවරේද;

  යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-14

අසන ලද්දේ

ගරු කේ. ඉලංකුමාරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      මේ වන විට ප්‍රමාදයක් නොපවතී.

              (ii)      හදිසි අවශ්‍යතා සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ඇත.

              (iii)      වන්දි ලබා දීමේ අවශ්‍යතාවක් පැන නොනඟී.

              (iv)      ගමන් බලපත්‍රය කල් ඉකුත් වීමට මාස 06කට පෙර අයදුම් කරන අයදුම්කරුවන් සඳහා, අයදුම්පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබෙන අනුපිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර සකස් කරනු ලැබේ.

               (v)      මාර්ගගත අයදුම් කිරීමේ ක්‍රියාවලිය 2026 වර්ෂය තුළ රටවල් 20 කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මකවීමට නියමිතයි.

(vi) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශය විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ  කොන්සියුලර් අංශය සමඟ අන්‍යෝන්‍ය සහයෝගයෙන් කඩිනම් ක්‍රියාවලියක් සඳහා දායකත්වය සපයනු ලැබේ.

(vii) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල ජාලය හරහා, විදේශයන්හි වෙසෙන සියලු  ශ්‍රී ලාංකිකයන්ට, අත්‍යවශ්‍ය කොන්සියුලර් සේවා සඳහා පහසු ප්‍රවේශයක් ඇති බව සහතික කිරීමට දැඩි ලෙස කැප වී සිටී.

ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් කාර්තුමය වශයෙන් හෝ සමහර අවස්ථාවල මාසිකව කොන්සියුලර් ජංගම සේවා නිතිපතා පවත්වනු ලබන අතර, එය අදාළ දූත මණ්ඩල විසින් හඳුනා ගන්නා ලද ඉල්ලීම් සහ අවශ්‍යතා මත රඳා පවතී. දුර බැහැර ප්‍රදේශ හෝ වෙනත් සීමා  හේතුවෙන් තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් කාර්යාලයට පෞද්ගලිකව පැමිණීමට නොහැකි විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට මෙම ජංගම සේවා බෙහෙවින් ප්‍රයෝජනවත් වී ඇත.

මෙම ජංගම සේවා හරහා, උපත්, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම, ද්විත්ව පුරවැසි අයදුම්පත් සැකසීම,ලේඛන සත්‍යාපනය කිරීම, නව විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම, ජීවන සහතික නිකුත් කිරීම සහ අනෙකුත් අදාළ කොන්සියුලර් කටයුතු ඇතුළු පුළුල් පරාසයක කොන්සියුලර් කාර්යයන් සඳහා දූත මණ්ඩල පහසුකම් සපයයි.

කොන්සියුලර් ජංගම සේවා විධිමත් කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා, විදේශයන්හි පිහිටි සියලුි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය කොන්සියුලර් ජංගම සේවා පිළිබඳ පුළුල් මාර්ගෝපදේශ (යොමු MFA/CONS/MIS/Mobile/2023, පිටපත අමුණා ඇත) නිකුත් කර ඇත. මෙම මාර්ගෝපදේශ, විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් වාසය කරන සහ දුර හෝ පිරිවැය හේතුවෙන් දූත මණ්ඩල මූලස්ථානයට ගමන් කිරීම දුෂ්කර වන රටවල හෝ කලාපවල කොන්සියුලර් ජංගම හෝ ස්ථානීය සේවා සංවිධානය කිරීම සඳහා ව්‍යුහගත රාමුවක් සපයයි.

මෙම මාර්ගෝපදේශයන්ට අනුව:

● දූත මණ්ඩල ඔවුන්ගේ වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්වලට කොන්සියුලර් ජංගම හෝ ස්ථානීය සේවා ඇතුළත් කිරීමට දිරිමත් කරනු ලැබේ;

● ශක්‍යතා වාර්තාවක ඇතුළත් වන ලෙස අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර;

● ජංගම හෝ ස්ථානීය සේවා ස්ථාන සාමාන්‍යයෙන් දූත මණ්ඩලයේ/ කාර්යාලයේ සිට අවම වශයෙන් කිලෝමීටර් 300ක් දුරින් විය යුතු අතර;

සැපයුම් විධිවිධාන සහ සම්බන්ධීකරණය සඳහා සහාය වන පරිදි ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධාන සහ ආගමික ආයතන සමඟ සහයෝගයෙන් සේවා පැවැත්විය යුතුය.

මෙම සාමාන්‍ය මාර්ගෝපදේශවලට අමතරව, ඇතැම් දූත මණ්ඩල විශේෂ තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වන බවත්, එහිදී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් කොන්සියුලර් සහාය සඳහා ඇති ඉල්ලුම සුවිශේෂී ලෙස ඉහළ බවත් අමාත්‍යාංශය පිළිගනී.

ඒ අනුව, විශේෂිත අවස්ථාවන්හීදී, අමාත්‍යාංශය උපරිම ප්‍රමුඛතාව ලබා දෙන අතර, එවැනි කලාපවල මාසික කොන්සියුලර් ජංගම සේවා පැවැත්වීම සඳහා අනුමතිය ලබා දෙයි. අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව මාසිකව පවත්වනු ලබන සෞදි අරාබියේ දම්මාම් කොන්සියුලර් ජංගම සේවය කැපී පෙනෙන උදාහරණ සපයයි. සෞදි අරාබියේ නැ‍ඟෙනහිර ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දහස් ගණනකට අඛණ්ඩ, ප්‍රවේශ විය හැකි සහ ප්‍රජා පාදක කොන්සියුලර් සහාය  ලබා දීමේදී මෙම මුලපිරීම ඉතා ඵලදායී බව තහවුරු වී ඇත.

මෙම විශේෂ අවස්ථාවල සාර්ථකත්වය අමාත්‍යාංශය අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, ශ්‍රී ලාංකික ප්‍රජාව සැලකිය යුතු ලෙස විශාල වන සහ නිතිපතා ස්ථානීය හෝ ජංගම සේවා අවශ්‍ය වන අනෙකුත් රටවලට හෝ කලාපවලට සමාන විධිවිධාන ව්‍යාප්ත කිරීම සලකා බලනු ඇත.

විදේශගත කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ඔවුන්ගේ ස්ථානය කුමක් වුවත්, කාලෝචිත හා කාර්යක්ෂම කොන්සියුලර් සහාය අහිමි නොවන බව සහතික කිරීම අමාත්‍යාංශයේ සමස්ත අරමුණයි.

(ආ) (i) වර්තමානයේදී, ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල, කොන්සල් අංශ මඟින් නීතිමය කරුණු සම්බන්ධයෙන් සහාය ලබා දෙයි. එම සහාය, නඩු කැඳවීම (summons) යැවීම වැනි කටයුතු ඇතුළත් වන අතර, ඒ සඳහා ඔවුන් අදාළ රටවල විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා ස්ථානික අධිකාරින් සහ නීතිමය වෘත්තිකයන් සමඟ සමීපව කටයුතු කරති.

ඉහළ ප්‍රමුඛතාවය ඇති රටවල, විශේෂයෙන්ම ශ්‍රී ලංකා සංක්‍රමණික කම්කරුවන් වැඩි වශයෙන් වාසය කරන රටවල පිහිටි තෝරාගත් දූත මණ්ඩලවල, නීතිමය සහාය වැඩිදියුණු කිරීමේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් හඳුනාගත් අවස්ථාවකදී, විශේෂිත සම්බන්ධතා ස්ථාන හෝ විශේෂ ඒකක ස්ථාපිත කිරීම පිළිබඳව අමාත්‍යාංශය විසින් කටයුතු කරගෙන යනු ලැබේ.

(ii) විදේශගතව ජීවත් වන ශ්‍රී ලාංකිකයෙන්ට කාර්යක්ෂම කොන්සල් සේවා  සැපයීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා ලබා ගැනීමට දූත මණ්ඩල සවිබල ගැන්වීම සඳහා ගරු අමාත්‍යතුමා විසින් අරමුදල් වෙන්  කිරීමේ කටයුතු සිදු කරමින් පවතියි.

මෙම පසුබිම යටතේ, විදේශගතව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට උචිත සේවා  සැපයීම සඳහා පහත පියවර  ක්‍රියාවට නැංවීමට හඳුනා ගෙන ඇත:

● කොන්සල් සේවා ඩිජිටල් කිරීම උදාහරණයක් ලෙස: පැමිණිලි කළමනාකරණය සඳහා ජංගම යෙදුමක් සංවර්ධනය කිරීම, එමඟින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට සහ ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමට හැකිවීම.

● දූත මණ්ඩලවල කොන්සල් ‍අංශ ශක්තිමත් කිරීම
කාර්ය මණ්ඩල ධාරිතාව වැඩි කිරීම සහ අර්බුද කළමනාකරණය, කම්කරු ගැටලු සහ නීතිමය සහාය සම්බන්ධයෙන් විහේෂ පුහුණුව ලබා දීම. තෝරාගත් දූත මණ්ඩලවල දිගු සේවා වේලාවන් සහ සති අන්ත කොන්සල් සේවාවන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව.

● ආරාධිත රටවල් සමඟ සම්බන්ධතා වැඩිදියුණු කිරීම
විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම සඳහා ස්ථානික අධිකාරින්, රැකියා දායකයන් සහ ප්‍රජා සංවිධාන සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා දූත මණ්ඩල ප්‍රධානීන් කටයුතු කිරීම. කම්කරු විවාද, අත්අඩංගුවට ගැනීම්, මළ දේහ ආපසු ගෙන ඒම සහ අනෙකුත් හදිසි අවස්ථාවන්ට ඉක්මන් ප්‍රතිචාර ලබා දීම සඳහා දූත මණ්ඩල ප්‍රධානීන් කටයුතු කිරීම.

● මහජන සම්බන්ධතා සහ සන්නිවේදනය වැඩිදියුණු කිරීම

- විදේශ ප්‍රජා ජාල හරහා නිතිපතා අවබෝධතා වඩසටහන් පැවැත්වීම සඳහා දූත මණ්ඩල ප්‍රධානීන් කටයුතු කිරීම.

- යාවත්කාලීන කොන්සල් මාර්ගෝපදේශ සහ හදිසි සම්බන්ධතා තොරතුරු ප්‍රකාශයට පත් කරන බව තහවුරු කිරීම.

ඉහත පියවර  විදේශගතව ජීවත් වන සහ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රිත කොන්සල් සේවා  තහවුරු කිරිම අරමුණු කරගෙන සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-01-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks