01

E   |     |  

 දිනය: 2025-11-13   පිළිතුර ලබා දී ඇත 

1434/2025: සේවායෝජකයින් විසින් EPF සඳහා දායක මුදල් නොගෙවීම: අධිභාර නිවේදන නිකුත් කිරීම

1434/2025

ගරු ඔෂානි උමංගා මහත්මිය,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සේවක අර්ථසාධක අරමුදලට අදාළ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන්  2024 ඔක්තෝබර් මස සිට සේවා යෝජකයන්ට දැනුම් දීමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේද;

(ii) සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් අධිභාර පැනවීමේ නිවේදන නිකුත් කර ඇති කාල සීමාව කොපමණද;

‍(iii) දීර්ඝ කාලයක සිට අධිභාර අය කර ගැනීම ප්‍රමාදවී තිබේ නම්, ඊට හේතු කවරේද;

(iv) 2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය හේතුවෙන් අභියෝගයට ලක්වූ ව්‍යාපාරවලට අධිභාර පැනවීමේදී සහන ලබා දීමට කටයුතු කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-13

අසන ලද්දේ

ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කම්කරු නිලධාරීන් විසින් නිතිපතා සිදුකෙරෙන ක්ෂේත්‍ර පරීක්ෂණ හෝ පැමිණිලි පරීක්ෂණ මත පදනම්ව හිඟ දායක මුදල් හා අධිභාර අයකර ගැනීම සඳහා සේවායෝජකයන් වෙත නිවේදන නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව, 2024 ඔක්තෝබර් මස සිට ද ඊට පෙර සිදු කළ අයුරින් දෛනිකව මෙම කාර්යය අඛණ්ඩව ඉදිරියටත් කරගෙන යනවා.

(ii) සේවක අර්ථසාධක අරමුදල් පනත අනුව දායක මුදල් නොගෙවීම තහවුරු වූ පසු දායක මුදල් නොගෙවූ මුළු කාලය සඳහා හිඟ දායක මුදල් හා අධිභාර අයකර ගැනීම සඳහා නිවේදන නිකුත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.

(iii) ඉහත (i) හි සඳහන් පරිදි හඳුනා ගන්නා ලද දායක මුදල් නොගෙවීම් සඳහා අධිභාර අයකර ගැනීම්වලට අමතරව සේවායෝජක විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නියමිත දායක මුදල් ප්‍රමාදව ගෙවන අවස්ථාවලදී ප්‍රමාද කාලය මත පදනම්ව ගණනය කරන අධිභාරය සඳහා නිවේදන ද කම්කරු දෙපාර්තමේන්තුව විසින් යොමු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවීම් කිරීමේදී ඇති වූ ප්‍රමාදයන් හඳුනාගැනීම සඳහා කාල පමාවක් ගත වන අතර, එක් එක් ආයතනය සඳහා වෙන වෙනම නිවේදන දත්ත පද්ධතිය මඟින් ජනනය කළ යුතු වේ. ශ්‍රී ලංකා මහ බැංකුවට සේවාදායකයන් තම ගෙවීම් සමඟ යොමු කරන ලැයිස්තුවේ පවත්නා සේවක තොරතුරු දත්ත පද්ධතිය හා නොසැසඳෙන අවස්ථාවලදී එම තොරතුරු සැසඳීම් කර නිසි පරිදි හඳුනා ගැනීමෙන් පසු දත්ත පද්ධතියට ඇතුළත් කෙරේ. එවැනි අවස්ථාවලදී සිදු වන ප්‍රමාදවීම් දත්ත පද්ධතිය මඟින් හඳුනා ගැනීම සඳහා යම් කාලයක් ගතවන බැවින් අයකර ගැනීම්වලට අදාළ නිවේදන නිකුත් කිරීම් ප්‍රමාද වී ඇත. ඊට අමතරව කම්කරු දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින සේවක පුරප්පාඩු සහ දත්ත පද්ධතියට පිවිසීම සඳහා ප්‍රමාණවත් පරිගණක හා උපාංගවල පැවති හිඟකමද ප්‍රමාදවීම් සඳහා හේතු වී ඇත.

(iv) පාස්කු ප්‍රහාරය සඳහා අධිභාර සහන ලබා දී නොමැති අතර, කොවිඩ් 19 වසංගතය හා 2022 ආර්ථික අර්බුදය පැවති කාලය සඳහා සේවක අර්ථසාධක අරමුදල් දායක මුදල් ගෙවීමට සහන කාලයක් ලබා දී ඇත. තවද, එම සහන කාලය තුළ ගෙවීම් කර ඇති ආයතන සඳහා අධිභාර සහන ලබා දීමට ද කටයුතු කර ඇත. ඒ යටතේ මේ දක්වා ආයතන 291ක් සඳහා රුපියල් 109,800,657ක් අධිභාර නිදහස් කිරීම් සහන ලබා දී ඇත.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-11-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks