01

E   |     |  

 දිනය: 2025-11-13   පිළිතුර ලබා දී ඇත 

1354/2025: 2020 වර්ෂයේ සිට විශ්‍රාම වැටුප් ගෙවීම: වෙන් කළ මුදල

1354/2025

ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින විශ්‍රාම වැටුප්ලාභීන් සංඛ්‍යාව කොපමණද;

              (ii)       2020 වර්ෂයේ සිට මේ දක්වා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පවුල් ඒකකයක් ලෙස සැලකීමේදී විශ්‍රාමිකයෙකුගේ විශ්‍රාම වැටුප, පුද්ගල ප්‍රතිලාභයකට වඩා  පොදු ප්‍රතිලාභයක් ලෙස සලකනු ලබන බව පිළිගන්නේද;

(ii) ඒ අනුව, විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයෙක් මිය යාමෙන් පසු ඔහුගේ/ඇයගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

අසන ලද දිනය

2025-11-13

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      735,110ක් පමණ වේ.

                        සෑම මසකම විශ්‍රාමිකයන් 2,500ක් පමණ එකතු වේ.

              (ii)     

 

වර්ෂය

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනය (රු.මිලියන)

2020

263,279

2021

273,272

2022

318,720

2023

374,555

2024

397,487

2025

441,300

(ආ)         (i)      පිළිගනිමි.

                        කෙසේ වෙතත්, ඔහු ජීවත් වන පවුල් ඒකකයේ ආර්ථික මට්ටම අනුව විශ්‍රාමිකයා වෙත හිමිගන්වන විශ්‍රාම වැටුප භාවිත කරන ආකාරය රඳා පවතින බව සඳහන් කරමි.

(ii)             ·           විශ්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවයේ හෝ සන්නද්ධ හමුදා සේවයේ විශ්‍රාමිකයෙකු මිය යෑමෙන් පසුව එම විශ්‍රාමිකයා වෙත විශ්‍රාම වැටුප් ගෙවීමට පදනම් කර ගත් වැටුප අනුව ගණනය කරන අඩු නොකළ වැටුප, එම විශ්‍රාමිකයාගේ කලත්‍රයා වෙත වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ලෙස හිමිගැන්වීම සිදු කරනු ලැබේ.

විශ්‍රාමිකයා මිය යන අවස්ථාවේදී ඔහුගේ/ ඇයගේ කලත්‍රයා මියගොස් ඇත්නම් සහ ඒ වන විට අවුරුදු 26ට අඩු රැකියාවක් නොකරන දරුවන් සිටී නම් එම දරුවන්ට වයස අවුරුදු 26 වීම හෝ රැකියාවක් ලබා ගැනීම යන දෙකෙන් කලින් එළඹෙන අවස්ථාව දක්වා අනත්දරු විශ්‍රාම වැටුප හිමිගැන්වීම සිදු කරනු ලැබේ. විශ්‍රාමිකයා වෙත විශ්‍රාම වැටුප් ගෙවීමට පදනම් කරගත් වැටුප අනුව ගණනය කරන අඩු නොකළ වැටුප අනත්දරු විශ්‍රාම වැටුප වශයෙන් හිමිගැන්වීම සිදු කෙරේ.

  • විශ්‍රාමිකයා යෙදී සිටි සේවය අනුව වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් හිමිගැන්වීමේදී අදාළ කර ගත යුතු විධිවිධාන ඇතුළත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන පහත පරිදි වේ.

§ 1898 අංක 01 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනත හා එහි සංශෝධන

§ 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් පනත හා එහි සංශෝධන

§ 1970 අංක 18 දරන වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රම (සන්නද්ධ බල සේනා) පනත හා එහි සංශෝධන

§ 1998 අංක 60 දරන වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා) පනත

§ 1953 අංක 44 දරන පාසල් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත

§ 2008 අංක 32 දරන පාසල් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත

§ 1974 අංක 16 දරන පළාත් පාලන සේවා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-11-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks