පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1352/2025
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල තහනම් පන්න ක්‍රම සහ අනවසර ධීවර යාත්‍රා භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතු සිදු කරන බව දන්නේද;
(ii) එසේ නම්, ඒවා මැඩලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) ඒ සඳහා නිරීක්ෂණ සහ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීමට ඉදිරියේදී ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත නීති විරෝධී ධීවර කටයුතු —
(i) හේතුවෙන් මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදනයට ඇතිවූ බලපෑම කවරේද;
(ii) හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ධීවරයන්ගේ ආර්ථිකට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර තිබේද;
(iii) හේතුවෙන් පීඩාවට පත්වූ සාමාන්‍ය ධීවරයන්ගේ ජීවනෝපාය මාර්ග සහ ඔවුන්ගේ ආදායම් සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iv) මැඩලීමට ප්‍රමාණවත් පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;
(v) මැඩලීම සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-13
අසන ලද්දේ
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර, ජලජ සහ සාගර සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත, 1979 අංක 59 දරන (විදේශීය ධීවර බෝට්ටු) විධිමත් කිරීමේ පනත සහ 2017 අංක 11 දරන ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනත මෙන්ම එම පනත් යටතේ ක්‍රියාත්මක වන රෙගුලාසි 104ක ප්‍රමාණයකින් ලංකාවේ ධීවර කර්මාන්තය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ලබා දී ඇත.
අංක 948/25 දරන 1996 ධීවර මෙහෙයුම් නියෝග මඟින් ප්‍රකාශ කර ඇති පරිදි දේශීය ධීවර කර්මාන්තය සඳහා භාවිත කළ හැකි අනුමත පන්න ක්‍රම 17කි. ඒ සඳහා ද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයුම් බලපත්‍ර ලබා ගත යුතුය. විධිමත් මෙහෙයුම් බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව යම්කිසි තැනැත්තෙකු ධීවර කටයුත්තක නිරත වන්නේ නම් එවන් ධීවර කටයුතු සියල්ල නීති විරෝධී වේ.
ඒ අනුව මුලතිව් හා මන්නාරම පමණක් නොව, දිවයිනේ ධීවර දිස්ත්‍රික්ක 15 තුළ යම් යම් මට්ටම්වලින් නීති විරෝධී ධීවර කටයුතු ඉතා සුළු ධීවරයින් පිරිසක් විසින් සිදු කරනු ලබයි.
(ii) මෙම නීති විරෝධී ධීවර කටයුතු සිදු කිරීම ආරම්භ වූයේ මෑතකදී නොවන අතර, පසුගිය දශක කිහිපය පුරාම විවිධාකාරයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදු කර ඇත.
මත්ස්‍ය සම්පතට හානිවන තිරසාර ධීවර කර්මාන්තයට බලපෑම් ඇති කරන ආකාරයේ මසුන් ඇල්ලීමේ කටයුතු තහනම් කිරීම සඳහා විවිධ කාලවල නීති රෙගුලාසි පැනවීම සිදු කර ඇත. ඒ අනුව නීති විරෝධී ධීවර කටයුතු මැඬ පැවැත්වීම සඳහා ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය කරුණ වනුයේ නීති පද්ධතිය ශක්තිමත් කිරීමයි.
ඒ නිසාවෙන්ම අපේ රජය බලයට පත් වූ වහාම ධීවර සහ ජලජ සම්පත් පනත පරිච්ඡින්න කර නව පනතක් හඳුන්වා දීම සඳහා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල වන ආකාරයට සංශෝධනය කරන ලද නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන දැනට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදකගේ එකඟතාව ලද පසු පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කර අනුමත කර ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා ගරු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව අපේක්ෂා කරන බවත් මම ගරු මන්ත්‍රීතුමාට සඳහන් කරන්න ඕනෑ.
ගරු කථානායකතුමනි, ඊට අමතරව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර පරීක්ෂක වරුන්ගේ සහ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ හිඟයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපි 2025 ඔක්තෝබර් මාසයේ 19වැනි දා අමාත්‍යාංශ මට්ටමින් තරග විභාගයක් පැවැත්වූවා. එම තරග විභාගයට අනුව අපි සහකාර අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් නිලධාරින් බඳවා ගැනීමට නියමිතයි. ඒ අය බඳවා ගැනීමෙන් පසුව අපට මේ කටයුත්ත වඩාත් වේගත්ව කරගෙන යන්න පුළුවන්.
ඊට අමතරව, ධීවර සහ ජලජ සම්පත් පනත යටතේම බලයලත් නිලධාරින් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය යන ආයතනවල නිලධාරින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමඟ නීති විරෝධී ධීවර කටයුතු මැඬ පැවැත්වීම සඳහා අපි ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මුහුදේ සිදු කරන වැටලීම්, අත්අඩංගුවට ගැනීම් ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කරන්න ශ්‍රී ලංකා නාවික හමුදාවත්, ශ්‍රී ලංකා පොලීසියත්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක අපට හැකියාව ලැබුණා.
විශේෂයෙන්ම පුපුරණ ද්‍රව්‍ය භාවිත කරලා මසුන් මැරීම ඉතාම අහිතකර සහ නීති විරෝධී ධීවර කටයුත්තක් නිසා එම කාර්යය මැඬ පැවැත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයත්, පොලීසියත් සමඟ අපි ඒකාබද්ධ උත්සාහයක නිරත වෙනවා. පුපුරණ ද්‍රව්‍ය ධීවරයින් අතට පත්වීම වැළැක්වීම සඳහාත්, ඊට පූර්ව ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් අපි මැදිහත් වීමක් කරලා තිබෙනවා. ඒ කටයුත්ත අඛණ්ඩව සිද්ධ වෙනවා. ආරක්ෂක අංශ සමඟ අඛණ්ඩව සිදු කරන මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් වැඩි කාලයක් යාමට ප්‍රථම සියලු නීති විරෝධී ක්‍රියා නතර කිරීමට කටයුතු කළ හැකි බව මම මේ මොහොතේදී ගරු මන්ත්‍රීතුමාට ප්‍රකාශ කරනවා.
(iii) නීති විරෝධී ධීවර කටයුතු මැඬ පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග, වැඩසටහන් දැනටමත් ආරම්භ කර තිබෙනවා. මා කලින් සඳහන් කළ ආකාරයට නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් පසු ඒ යටතේ අවශ්‍ය නව රෙගුලාසි පැනවීමට අප කටයුතු කරනවා. එම නව රෙගුලාසි කෙටුම්පත් කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා. ඒ ආකාරයට නෛතික රාමුව ශක්තිමත් කිරීම සිදුකර, ඒ ඔස්සේ නීති විරෝධී ධීවර කටයුතු සිදු කරන තැනැත්තන්ට උපරිම දඬුවම් ලබා දීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අපගේ අමාත්‍යාංශය මැදිහත් වෙනවා.
ඊට අමතරව, ධීවර දෙපාර්තමේන්තුවේ වැටලීම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා ආරක්ෂක සේවාවක් ලබා ගැනීමට තීරණය කර ඇති අතර, හැකි සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වය ලබා ගැනීම අප අඛණ්ඩව සිදු කරනු ලබනවා.
ගරු කථානායකතුමනි, ඊට අමතරව අපි දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු පවත්වනවා. මේ වනවිටත් දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු විසි පහෙන්, විස්සක් අපි කැඳවා තිබෙනවා. තව පහයි කැඳවන්න තිබෙන්නේ. විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමා සඳහන් කළ උතුරු සහ නැඟෙනහිර සියලුම දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු කැඳවා අවසන්. ඒවා කැඳවීම තුළ අපි විශේෂයෙන්ම මේ තිබෙන සියලු ගැටලු සම්බන්ධව ඉතා ගැඹුරින් සාකච්ඡා කර විසඳුම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඒවායේ කිසියම් සාර්ථකභාවයක් ඇති බවට ගරු මන්ත්‍රීතුමා විශ්වාස කරනු ඇතැයි අපි හිතනවා.
(ආ) (i) මෙම දිස්ත්‍රික්කවල වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය පහත පරිදි වේ.
|
වර්ෂය |
වාර්ෂික නිෂ්පාදනය (මෙට්‍රික් ටොන්) |
|
|
මුලතිව් |
මන්නාරම |
|
|
2024 |
13,980 |
22,015 |
|
2023 |
11,080 |
24,400 |
|
2022 |
7,730 |
21,045 |
|
2021 |
14,500 |
18,035 |
|
2020 |
8,670 |
20,320 |
නීති විරෝධී ධීවර කටයුතු ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදනයට ඍජුවම බලපෑම් ඇති කරනවා. පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලා ගනු ලබන මසුන් කල් තබා ගත නොහැකි ආකාරයට පත්වීම සිදු වෙනවා. එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය යොදා සිදු කරනු ලබන පිපුරුම් මඟින් සියලු ජීවීන් බලපෑමට ලක් වනවා මෙන්ම මත්ස්‍යයන්ගේ බිත්තර හා පරිසර පද්ධතිය ද විනාශ වීම සිදු වෙනවා. එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය යොදා සිදු කරනු ලබන පිපිරුම් මඟින් මියයන මසුන්ගෙන් අල්ලා ගැනීමට හැකි වනුයේ යම් ප්‍රතිශතයක් පමණයි. ඒ ප්‍රතිශතය නැවත වතාවක් වෙනම තැන්පත් කරන්න අපි කටයුතු කරනවා.
මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි සිදුවන ප්‍රධානතම නීති විරෝධී ධීවර කටයුතු දෙක වනුයේ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම සහ විදුලි ආලෝකය යොදා මසුන් ආකර්ෂණය කර - light coarse - මසුන් ඇල්ලීමයි.
ඩයිනමයිට් වැනි පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීමේදී මසුන්ගේ ගුණාත්මක තත්ත්වයට හානි සිදු වෙනවා. පිපිරීමේදී ඇතිවන කම්පනය මඟින් මසුන් මියයාම නිසා මසුන්ගේ අභ්‍යන්තර අවයව පුපුරා ගොස් රුධිර වහනයක් සිදු වෙනවා. මසුන්ට අභ්‍යන්තර මෙන්ම බාහිරව ද විශාල ලෙස හානි සිදුවීම නිසා ගුණාත්මක තත්ත්වය රඳවා ගැනීමට ඉතා අපහසුයි. එවිට මසුන් ඉතා ඉක්මනින් නරක් වීම සහ ගුණාත්මක තත්ත්වය හීනවීම සිදු වෙනවා.
තවද, අනීතිකව වට කරන ලද දැල්වලින් මසුන් විශාල වශයෙන් ඇල්ලීමේදී මසුන් එකට තද වී ගුණාත්මකභාවයට හානි වෙනවා. තංගුස් දැල් මඟින් මසුන්ගේ ඉතා කුඩා අවධි අවස්ථා අල්ලා ගැනීම මඟින් එහි ගුණාත්මකභාවයට ද හානි සිදු වෙනවා.
පසුගිය වසර කිහිපය තුළ මත්ස්‍ය නිෂ්පාදනය පහළ යාමට තහනම් පන්න ක්‍රම භාවිත කිරීම මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය තුළ රැකියාවට යාමට නොහැකි වීම, ධීවරයන් සඳහා අවශ්‍ය ඉන්ධන නිසි ලෙස නොලැබී යාම, ඉන්ධන මිල ඉහළ යාම යන කරුණු ද මෙයට ප්‍රධාන වශයෙන් බලපාන ලදී.
(ii) සමීක්ෂණයක් සිදු කර නොමැත. නීති විරෝධී ධීවර කටයුතු සිදු කරනු ලබන්නේ ඉතාම සුළු ධීවරයන් පිරිසක් විසිනි. එසේ කිරීමට හේතු වනුයේ නීති විරෝධී ධීවර කටයුතු මඟින් විශාල ලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් මෙම තත්ත්වය ධීවරයන් අතිවිශාල පිරිසකගේ දෛනික ජීවන වෘත්තියට අහිතකර ලෙස බලපාන අතර, ප්‍රමාණවත් මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීමද මේ නිසා සිදු වෙයි.
(iii) මෙම නීති විරෝධී ධීවර කටයුතු මඟින් ඍජුව නිශ්චිතව යම් ධීවරයෙකුට අගතියක් සිදු වීම හඳුනාගත නොහැකිය. දිස්ත්‍රික්කයක් තුළ ධීවරයින් විශාල පිරිසක් රැකියාවේ නිරතව සිටීම නිසා නිශ්චිතව බලපෑම් සිදු වන ධීවරයා කවුද යන්න තීරණය කළ නොහැකිය. නමුත් නීති විරෝධී ධීවර කටයුතු නිසා සමුද්‍රීය පරිසර පද්ධතියටම පොදුවේ අහිතකර තත්ත්වයක් ඇති වන නිසා මෙය සමස්ත ධීවර ප්‍රජාවටම බලපාන කරුණක් වශයෙන් අර්ථ දැක්විය හැකිය. මේ නිසා සිදු කළ යුත්තේ, නීති විරෝධී ධීවර කටයුතු නිසා පීඩාවට පත් වන ධීවරයන් කවුද යන්න සොයා බලා ඔවුන්ට සහන සැලසීම නොව ධීවර සම්පතට සහ සමුද්‍රීය පරිසරයට අහිතකර ලෙස බලපාන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීමයි. නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම තුළින් මත්ස්‍ය සම්පත ආරක්ෂා වන අතර, සියලු ධීවරයන්ට ඔවුන්ගේ ආදායම සුරක්ෂිත කර ගත හැකිය.
ඒ අනුව නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා උපරිම ආකාරයෙන් කටයුතු කරනු ලැබේ.
(iv) නීතිය ක්‍රියාත්මක නොකරනවාය යන්න සම්බන්ධයෙන් එකඟ විය නොහැකිය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් සහ වැටලීම් සිදු කරනු ලබයි. ඒ අනුව නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූවන් අධිකරණයට ඉදිරිපත් කර නීති මඟින් කටයුතු කරනු ලබයි. මුලතිව්, මන්නාරම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පසුගිය වසර තුනෙහි පවරන ලද නඩු ප්‍රමාණය පහත පරිදිය.
|
දිස්ත්‍රික්කය |
පවරන ලද නඩු ප්‍රමාණය |
||
|
2023 |
2024 |
2025 |
|
|
මුලතිව් |
49 |
55 |
103 |
|
මන්නාරම |
57 |
71 |
41 |
|
ත්‍රිකුණාමලය |
151 |
152 |
97 |
ඉදිරියේදී මෙම තත්ත්වය තවත් වැඩි කිරීම සඳහා අවශ්‍ය සම්පත් ලබා දීමට කටයුතු කරන අතර, ඒ මඟින් තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.
නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව නීති විරෝධී ධීවර කටයුතු සම්බන්ධයෙන් ඇති වන බලපෑම පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීමේ වැඩසටහන් ද නිරන්තරයෙන්ම සිදු කරනු ලබයි. මෙහි අරමුණ වනුයේ නීති විරෝධී ධීවර කටයුතු සිදු නොකිරීම සඳහා ධීවර ප්‍රජාව පෙලඹවීමයි.
(v) නීති විරෝධී ධීවර කටයුතු මැඬලීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව සමඟ මින් පෙර කිසිදු දිනක සිදු නොවූ ආකාරයේ මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට දැනටමත් කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය - NARA - සහ දිස්ත්‍රික් ධීවර කාර්යාලවල නිලධාරින්ගේ ද සහභාගිත්වයෙන් මේ පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කිරීම් සිදු කරනු ලබයි. එහිදී එක් එක් දිස්ත්‍රික්කවල සිදු වන නීති විරෝධී කටයුතු කවරේද යන්න වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන එම තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් මාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් 2025.08.22 දිනත්, 2025.10.16 දිනත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා, අතිරේක ලේකම් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන් සහ ධීවර අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම ක්‍රියාදාමය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු සිදු කෙරේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රත්න ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks