01

E   |     |  

 දිනය: 2025-11-12   පිළිතුර ලබා දී ඇත 

1347/2025: මඩුවන්වෙල වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම: විස්තර

1347/2025

ගරු උපුල් කිත්සිරි මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ‍ඓතිහාසික මඩුවන්වෙල වලව්ව ඉදිකර ඇති කාල වකවානුව කවරේද;

              (ii)      එහි ඓතිහාසික වටිනාකම කවරේද;

             (iii)      මඩුවන්වෙල වලව්ව පුරාවිද්‍යා දෙපාර්‌තමේන්තුවට නීත්‍යානුකූලව පවරා ගන්නා ලද දිනය කවරේද;

  (iv)  පවරා ගන්නා අවස්ථාව වනවිට එහි අයිතිකරු කවුරුන්ද;

  (v)  පවරා ගන්නා ලද භූමි ප්‍රමාණය කොපමණද;

  (vi)  ඒ සඳහා ගෙවන ලද තක්සේරු වටිනාකම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  මඩුවන්වෙල වලව්ව පුරාවිද්‍යා දෙපාර්‌තමේන්තුවට පවරා ගැනීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද මුල් ගැසට්‌ පත්‍රයේ අංකය හා දිනය කවරේද;

  (ii)  එම ගැසට්‌ පත්‍රය සංශෝධනය කරමින් දෙවන ගැසට්‌ පත්‍රයක් නිකුත් කර තිබේද;

  (iii)  එසේ නම්, එම ගැසට් පත්‍රයේ අංකය හා දිනය කවරේද;

  (iv)  දෙවන ගැසට් පත්‍රය අනුව පවරා ගන්නා ලද භූමි ප්‍රමාණය කොපමණද;

  (v)  එම ගැසට්‌ පත්‍රය අනුව ඉවත් කරන ලද භූමි ප්‍රමාණය කොපමණද;

  (vi)  මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-12

අසන ලද්දේ

ගරු උපුල් කිත්සිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වර්තමාන මඩුවන්වෙල වලව්ව එම පරපුරේ දීර්ඝ කාලීන ඉදිකිරීම් විකාශනයක ප්‍රතිඵලයකි. ක්‍රිස්තු වර්ෂ 1700ට පූර්වයේ කටු මැටි බිත්තියෙන් ඉදිකර තිබුණු මඩුවන්වෙල මුල්ම නිවහන ක්‍රිස්තු වර්ෂ 1700න් පසුව සුදු හුනු පිරියම් කර උළු සෙවිලි කරන ලද වලව්වක් බවට පත්වී ඇත. පසුව මෙම වලව්වේ වාසය කරන ලද මඩුවන්වෙල පරම්පරා  කිහිපයක ප්‍රධානීන් වරින් වර මෙම වලව්ව සංවර්ධනය කර තිබෙනවා. එම ඉදිකිරීම් 1905.01.01 දින අවසන් කර ඇත.

(ii) මඩුවන්වෙල වලව්ව නිර්මාණය කරන ලද පරපුරට හා මෙම වලව්ව‍ට 16වන සියවසේ සිට 20වන සියවසේ මුල් භාගය දක්වා දිවෙන ඉතිහාසයක් තිබේ. මෙම වලව්ව වාස්තු විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක, මොසෙයික් කලාව යන කරුණු මත මෙරට ඉතිහාසය තුළ සුවිශේෂී තත්ත්වයක් නිරූපණය කරනවා. ඒ අනුව මෙහි සන්දර්භය ඓතිහාසික වශයෙන් වැදගත් වෙනවා.

(iii) 1978.10.18වන දින මඩුවන්වෙල වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

(iv) එෆ්.පී. ඉලංගකෝන් මහතා සහ එල්.සී. සෙනෙවිරත්න මහතා යන අය තමයි අයිතිකරුවන් හැටියට ඉඳලා තිබෙන්නේ.

(v) 883 දරන ගම් සිතියම, 1699 දරන 1975.08.31 දරන මිනින්දෝරු සිතියමට අයත් අක්කර 13යි, රූඩ් 3යි, පර්චස් 13ක් වලව්ව සමඟ භාර දී තිබෙනවා.

(vi) රත්නපුර දිසාපති විසින් පුරාවිද්‍යා කොමසාරිස් අමතන ලද 1986.05.12වන දිනැති ලිපිය අනුව ඉඩමේ හිමිකරුවන්ට රු.85,500ක තක්සේරු මුදලක් ගෙවන ලද බව වාර්තා වනවා.

(ආ) (i) මෙම වලව්ව 1983.07.08 දින අංක 252/18 දරන අති විශේෂ ගැසට් පත්‍ර නිවේදනය මඟින් රජයට පවරාගෙන තිබෙනවා.

ඒ යටතේ අංක 883 දරන ගම් පිඹුරේ අංක 7 දරන උද්ධෘතයේ අංක 104 දරන බිම් කට්ටිය රජයට පවරාගෙන තිබෙනවා. 1999.12.31 දින අංක 1113 දරන ගැසට් පත්‍රය මඟින් මඩුවන්වෙල වලව්ව ගොඩනැඟිල්ලට යාර 400ක ආරක්ෂණ ප්‍රේරණ කලාපය ද වෙන්කර තිබෙනවා.

මඩුවන්වෙල වලව්ව සහ එම පරිශ්‍රය -ග.පි. 883 අතිරේක පත්‍ර අංක 4 දරන පිඹුරේ කැබලි අංක 104 පෙන්නුම් කොට ඇති කොටස- අක්කර 7යි, රූඩ් 0යි. පර්චස් 23ක විශාලත්වයෙන් යුතුව 2006.07.21 දින අංක 1455 දරන ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් විය යුතු බවට නිවේදනය කර තිබෙනවා.

 

(ii) රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හෝ පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන ගැසට් නිවේදන නැවත සං‍ශෝධනය කර නැහැ.

(iii) ගැසට් පත්‍රයේ අංකය හා දිනය මා කලින් සඳහන් කළා.

  (iv) ගරු මන්ත්‍රීතුමනි, මෙන්න මෙතැනින් තමයි මේ ගැටලුව මුණ ගැහෙන්නේ.

මෙහිදී දෙවන ගැසට් පත්‍රයක් ලෙස අදහස් කරනුයේ, පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද 2006.07.21 දින අංක 1455 දරන ගැසට් පත්‍රය නම් එහිදී -ග.පි. 883 අතිරේක පත්‍ර අංක 4 දරන පිඹුරේ කැබලි අංක 104 පෙන්නුම් කොට ඇති කොටස- අක්කර 7යි, රූඩ් 0යි, පර්චස් 23ක විශාලත්වයෙන් යුතු වලව්ව සහිත ඉඩම තමයි මේ අදහස් කරන්නේ.

(v) 1978.10.18වන දින 883 දරන ගම් සිතියම, 1699 දරන 1975.08.31 දිනැති මිනින්දෝරු සිතියමට අයත් අක්කර 13යි, රූඩ් 3යි, පර්චස් 13ක වලව්ව සමඟ පුරාවිද්‍යා දෙපා‍ර්තමේන්තුවට භාර දීලා තිබෙනවා.

නමුදු 2006.07.21 දින අංක 1455 දරන ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ අක්කර 7යි, රූඩ් 0යි, පර්චස් 23ක භූමියකි. එය මා කලින් සඳහන් කළා, ඒ අනුව භාර දෙන ලද හා පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති භූමි ප්‍රමාණයේ වෙනස වන්නේ අක්කර 6යි, රූඩ් 2යි, පර්චස් 30කි.

(vi) මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය -එවකට පැවති අමාත්‍යාංශය- අවස්ථා රාශියකදී ලිපි හුවමාරු කර ගැනීම්, ඒකාබද්ධ රැස්වීම් පැවැත්වීම් සිදු කර ඇත. නමුදු, අවසන් තීරණයක් කරා එළඹ නැහැ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-01-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks